ඕනෑම ජනපති අපේක්ෂකයෙකුට කියවීම පිණිසය
අනුන්ගේ ළමයින්ට උප්පැන්න හදන දේශපාලන පොරපිටිය
තෙල් ගෑස් පෝලිම් ඉවරයි…පාස්පෝට්, වී ටික විකුණගන්න පෝලිම්
උද්ධමනය, බැංකු පොලිය අඩුවෙයි
පාරිභෝගික මිල දර්ශකය 106% ඉහළට
කර්මාන්ත දෙලක්ෂ හැටදාහක් වැසී යයි…හාර ලක්ෂයකට රැකියා අහිමිවෙයි
මන්දපෝෂණය ඉහළට
ලොව බොහෝ රටවල කාලයෙන් කාලයට ආර්ථික අර්බුද හට ගැනීම සාමාන්‍ය කරුණක්. ඒ ධනේශ්වර ආර්ථික ක්‍රමයක උච්ඡාවචනයන් සිදු වන බැවින්. එක කාලයකදී ඉහළටම යන රටක ආර්ථිකයක් තවත් කාලයකදී පතුලටම කඩා වැටෙනවා. මේ ක්‍රියාවලියට බලපාන්නේ බාහිර සහ අභ්‍යන්තර කම්පනයන්. මේ කම්පනයන් ඉල්ලුම් පාර්ශ්වයේ කම්පනයන් වගේම සැපයුම් පාර්ශ්වයේ කම්පනයන් වෙන්නත් පුළුවන්.” මහාචාර්ය වසන්ත අතුකෝරල පසුගිය දවසක මෙරට ආර්ථික අර්බුදය පිළිබඳව එලෙස ප්‍රකාශ කොට තිබිණි.
රටක් සංවර්ධනයට ඉවහල් වන ප්‍රධාන සාධකයක් වන්නේ ස්ථාවර ප්‍රතිපත්තියක් පැවතීමයි. නමුත් මෙරට ආර්ථිකය දෙස විමසා බැලීමේදී පෙනී යන්නේ කලින් කලට පාලකයාගෙන් පාලකයාට වෙනස් වන ප්‍රතිපත්ති හේතුවෙන් මෙරට ආර්ථිකය කඩා වැටී ඇති බවයි. මේ පිළිබඳ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ, ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා කදිම පැහැදිලි කිරීමක් කළේය.
“ලංකාවේ සිදු වූ කම්පනයන් දෙස බැලීමේදී පෙනී යන්නේ ඒ සඳහා ප්‍රධාන වශයෙන්ම බලපානු ලැබුවේ දිගුකාලීන ප්‍රතිපත්තිවල පැවැති අසමත් වීම. එය ධනේශ්වර ආර්ථික ක්‍රමයක ඇතිවන ස්වාභාවික කම්පනයකට වඩා වෙනස් ආකාරයක ආර්ථික කම්පනයක්. 2020 -21 වන කාලය වන විට ලෝක ආර්ථිකයත් කොරෝනා අර්බුදය, යුදමය වාතාවරණය කාරණා නිසා විවිධ උච්ඡාවචනයන්ට ලක්වුණා. මෙම ක්‍රියාවලිය තුළ 2021 වසර වන විට ආසියානු කලාපයේ රටවල් වන සිංගප්පූරුව, මැලේසියාව, චීනය, තායිලන්තය, ඉන්දුනීසියාව, පාකිස්ථානය, ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය කියන රටවල් දහය ගත්තහම ඒ අතරින් අප හිටියේ හත්වෙන ස්ථානයට. තායිලන්තයේ ඉන්දුනීසියාවේ මැලේසියාවේ වැනි රටවල්වල ආර්ථික වර්ධනය අපට වඩා පහළ මට්ටමකයි පැවතුනේ. නමුත් 2022 වසර වන විට එම සියලුම රටවලට වඩා අපේ ආර්ථිකය පහළ මට්ටමක් කරා ගමන් කරා. අපේ රටේ ආර්ථික වර්ධනය සෘණ 7.35ක්. 2023 වර්ෂය වන විට අප එම රටවල් අතර 10 ස්ථානය දක්වා පසුබැස තිබුණා. ඒ වගේම අනෙක් සියලුම රටවල් කොවිඩ් වසංගතය යුදමය වාතාවරණය වැනි කාරණා පැවැතියත් ධන ආර්ථික වර්ධනයක් හිමි කරගනිද්දී අපට හිමි වුණේ සෘණ ආර්ථික වර්ධනයක්. 2022 වර්ෂය වන විට අපේ ආර්ථිකයේ පදනම හැකිලෙමින් පැවතුණා. එම පදනම ගණනය කරනු ලබන්නේ නාමික දළ දේශීය නිෂ්පාදිතයෙන් මූර්ත දළ දේශීය නිෂ්පාදිතය බෙදීමෙන් අනතුරුව. එම බෙදීමෙන් එන අනුපාතය එකට ආසන්නව පවතිනවා නම් එම රටේ ආර්ථිකය හොඳ මට්ටමක පවතිනවා. අපේ රටේ ආර්ථිකය ගත්විට 2018 වන විට එය පැවතුණේ දශම 86 (.86)ක් ලෙස. 2019 එය දශම 83 (.83) දක්වාත් 2020 වන විට එය දශම 81 (.81) දක්වාත් 2021 වන විට එය දශම 75 (.75) දක්වාත් 2022 වන විට එය දශම 51 (.51) දක්වාත් 2023 වන විට එය දශම 43 (.43) දක්වාත් පහළ ගොස් 50% පමණ විශාල පරතරයක් දකින්නට ලැබුණා.”
2022 වසර වන විට මෙරට තුළ ඇතිවුණේ අමුතුම ආකාරයේ පරිවර්තනයකි. දින ගණන් ජනතාව තෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල කල්ගත කරන ආකාරය දක්නට ලැබිණි. විදුලිය නැතිව පැය අට දහය කරුවලේ සිටින්නට සිදු විය. කිසිදා පෝලිම් යුගයක් දැක නොතිබූ අලුත් පරම්පරාවට පෝලිම් සංස්කෘතියක ආස්වාදය අත්විඳින්නට සිදුවිණි. කෙසේ නමුත් මේ වන විට එම පෝලිම් සංස්කෘතිය නැතිව ගොස් රට යම් කිසි තරමකට සාමාන්‍ය තත්ත්වයට පත්වී තිබේ. මේ පිළිබඳව මහාචාර්ය අතුකෝරල මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
“මිනිස්සු පෝලිම් කිව්වම අදටත් අවධානය යොමු කරන්නේ ගෑස් පෝලිම්, තෙල් පෝලිම් වගේ දේවල් වලට. නමුත් අදටත් රට තුළ මොනතරම් පෝලිම් ප්‍රමාණයක් තියෙනවද. වී ගොවීන්ට වී ටික විකුණා ගන්න බැරිව මොන තරම් පෝලිම්වල ඉන්නවද. පාස්පෝර්ට් පෝලිම්, අයිඩෙන්ටි පෝලිම්, රියදුරු බලපත්‍රයක් ගන්න ගියහම තියෙන පෝලිම් ඒවා අදටත් කිසි අඩුවක් නැතුව තියෙනවා. මිනිස්සු ඒ ගැන අවධානය යොමු කරන්නේ නෑ. මිනිස්සු හිතන්නේ ඒ වෙලාවේ ඇතිවුණු පෝලිම් ටික නැති කරා කියලා විතරයි. ඒක විශාල ජයග්‍රහණයක් හැටියට දකින පිරිසක් ඉන්නවා. නමුත් නැති කරන්න ඕන පෝලිම් ටික තවම එහෙමමයි.
ඉහළ ගිය උද්ධමනය මේ වනවිට 2.5% වැනි මට්ටමට අඩුවෙලා. 30% දක්වා ඉහළ ගිය පොලිය 9-10% දක්වා අඩුවෙලා. ඒ වගේම හවාලා උණ්ඩියල් වගේ මුදල් හුවමාරු ක්‍රම නතර වෙලා තිබෙනවා. රජයේ ආදායම පසුගිය වසරේ ජනවාරි – ජුනි අතර කාලය හා මේ වසරේ ජනවාරි – ජුනි අතර කාලය සමග සංසන්දනය කර බැලූ විට 41% කින් වැඩිවෙලා. එම කාලය තුළ අයවැය හිඟය රුපියල් බිලියන 1242ක් තිබුණා. එය මේ අවුරුද්දේ මාස හයට බිලියන 598 දක්වා පහළ ගිහින්.”
මේ ලොව පවතින කිසිම දෙයක් සර්ව සම්පූර්ණ නැත. හැමදේකම හොඳ වගේම නරකකුත් පිටට පෙනෙන දේට අමතරව එයට ඇතුළතින් නොපෙනෙන දේකුත් පවතී. මෙරට ආර්ථිකය දෙස බැලුව ද ඒ සත්‍යය ඒ ආකාරයෙන්ම පවතී. ඒ පිළිබඳව ද මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා අදහස් දැක්විය.
“මම කලින් කිව්වේ මේ කාලය තුළ රටේ ආර්ථිකයේ සිදුවුණු හොඳ දේවල්. ඒ වගේම පිටට පෙනෙන දේවල්. නමුත් මේ කාලය තුළ ආර්ථිකය තුළ නොපෙනෙන කාරණා කිහිපයකුත් පවතිනවා. ඒවා තමයි 2021 සිට 2024 ජුනි දක්වා කාලය තුළ ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මිල මට්ටම වැඩිවීම 106ක්. ඒ තුළ ආහාර මිල ගණන් 134% කිනුත් ආහාර නොවන කාණ්ඩයේ මිල වැඩිවීම 89%ක්. සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තවලින් 20% ක් වැසී ගිහින්. ඒ තුළ වැසී ගිය කර්මාන්ත ප්‍රමාණය 260000 ක්. පවුල්වලින් 60% කට වඩා වැඩි ප්‍රමාණයක ආදායම පහළ ගිහින්. 22% ණයගැති භාවයට පත්වෙලා. 2022 පළමු කාර්තුවේ සිට 2024 පළමු කාර්තුව දක්වා කාලය තුළ පුද්ගලයන් 486838 දෙනකුට රැකියා අහිමි වී තිබෙනවා. 66% වැනි ප්‍රමාණයක් සතියකට පැය හතළිහට වඩා වැඩ කරන තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. රටේ මන්දපෝෂණය වැඩිවෙලා. ලෝක බැංකුව පවසන ආකාරයට ලංකාවේ දරිද්‍රතාව වැඩිවෙලා. එම ප්‍රමාණය ලක්ෂ 58ක්. මේ වන විට මෙරට ජනතාව මේ තත්ත්වයට හුරුවී ඇති ආකාරයක් දක්නට ලැබෙනවා. ඒක නිසා මේවා කිසි කෙනෙක් අර්බුද හැටියට සලකන්නේ නැහැ.
අර්බුදයේ ආරම්භය
රට තුළ ආර්ථික අර්බුදයක් ඇතිවීමට මෙන්ම ඒ සඳහා බලපෑ හේතු කාරණා විස්තර කළ මහාචාර්ය අතුකෝරළ මහතා,
මෙම ආර්ථික අර්බුදය ඇතිවීමට ප්‍රධානම හේතුව වන්නේ විදේශ විනිමය නොමැතිකම. ඒ හේතුවෙන් ගෑස්, ගල් අඟුරු, ඉන්ධන වැනි දේවල් ආනයනය කිරීමට නොහැකි තත්ත්වයක් මතු වෙනවා. ඒත් සමගින් ජනතාව ඒවා ඉල්ලා පාරට බහින තත්ත්වයක් ඇතිවුණා. කිරිපිටි, බෙහෙත්, ඉන්ධන වැනි හැම දෙයක්ම හිඟ වෙන්නේ ඩොලර් නොමැතිකම හේතුවෙන්. 2018 වසර වන විට භාණ්ඩ ගිණුමේ ශේෂය පවතින්නේ සෘණ අගයක. එය ඍණ ඩොලර් බිලියන 10.34 ක්. 2019 වන විට ඩොලර් බිලියන 08ක් වශයෙනුත් 2020 ඩොලර් බිලියන 6.01 වශයෙනුත් 2021 වන විට ඩොලර් බිලියන 8.14 වශයෙනුත් 2022 වන විට ඩොලර් බිලියන 5.18 වශයෙනුත් 2023 වන විට ඩොලර් බිලියන 4.9 වශයෙනුත් සෘණ අගයක තමයි පැවතුණේ. ඒ වගේම 2024 ජුනි මාසය වන විටත් ඩොලර් බිලියන 2.14 සෘණ අගයක තමයි වෙළෙඳ ගිණුම පවතින්නේ.
2018 වසරේ සිටම වෙළෙඳ ගිණුමේ හිඟයක් පැවතුණත් විදේශ ප්‍රේෂණ සහ සංචාරක ව්‍යාපාරය තුළින් එම හිඟය පියවා ගැනීමට අවස්ථාව ලැබුණා. 2018 වන විට විදේශ ප්‍රේෂණ සහ සංචාරක යන ක්ෂේත්‍ර දෙකෙන් ලැබුණු මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 11.4ක්. 2019 වසරේදී ඩොලර් බිලියන 10.3 කුත් 2020 වසරේදී ඩොලර් බිලියන 7.8 කුත් 2021 දී ඩොලර් බිලියන 6 කුත් 2022 දී ඩොලර් බිලියන 4.9 කුත් 2023දී ඩොලර් බිලියන 8.04ක් සහ 2024 ජුනි මාසය වන විට ඩොලර් බිලියන 4.7 වශයෙන් සටහන් වෙනවා.
මීට පෙර විදේශ ප්‍රේෂණ සහ සංචාරක ව්‍යාපාරය මගින් ලැබුණු මුදල්වලින් වෙළෙඳ ශේෂ පියවා ගත්තත් මෑත කාලයේ අඩුම විදේශ ප්‍රේෂණ සහ සංචාරක ඉපැයීම් ප්‍රමාණයක් ලැබුණු වසර සටහන් වන්නේ 2022 වසර. මේ නිසා වෙළෙඳ ගිණුමේ ඇති වූ හිඩස පියවා ගැනීමට මේ තුළින් නොහැකි තත්ත්වයක් මතු වෙනවා.
2018 වසරේ වෙළඳ ශේෂය පියවූ පසු ඩොලර් බිලියන 1.05 ක ඉතිරියකුත් 2019 ඩොලර් බිලියන 2.33ක් ඉතිරියකුත් 2020 වසර වන විට ඩොලර් බිලියන 1.78 ක ඉතිරියකුත් වාර්තා වුණත් 2021 වන විට ඩොලර් බිලියන 2.14 හිඟයක් ඇතිවෙනවා. අර්බුදයේ මූලාරම්භය එතන. 2022 වනවිට ඍණ දශම 26 වාර්තාවන අතර නැවතත් 2023 වන විට බිලියන 3.14 ලෙස ධන අගයක් ගනිමින් යථා තත්ත්වයට පත්වන ආකාරයක් දකින්නට පුළුවන්.
සමහර වර්ෂවල මේ තුළ ධන අගයක් පැවතුණත් විශාල වශයෙන් ණය ගෙවීමට ඇති නිසා එම මුදල් ණය ගෙවීම සඳහා යෙද වීමට සිදුවෙනවා. 2018 ණය ගෙවීම්වලට ඇමෙරිකන් ඩොලර් බිලියන 3.25 වැයකර ඇති අතර 2019 වසරේදී ඇමරිකන් ඩොලර් බිලියන 4.61 කුත් 2020 දී ඩොලර් බිලියන 4.06 කුත් 2021 දී ඩොලර් බිලියන 3.94කුත් 2022දී ඩොලර් බිලියන 4.48 ගෙවීමට නියමිතව තිබුණත් ණය ගෙවීම තාවකාලිකව නවතා දැමීම නිසා එම ණය මුදල් ගෙව්වේ නැහැ. 2023 වසරේ මෙන්ම 2024 වසරේත් ගෙවීමට ඇති ණය මුදල් ගෙව්වේ නැහැ.
ඒ වගේම 2018-2019 වසර වන විට විදේශ වෙළඳපොළෙන් විශාල වශයෙන් විදේශ විනිමය මිලට ගැනීම සිදු කරනවා. 2018 වසරේදී අන්තර්ජාතික වෙළඳපොළෙන් ස්වෛරී බැඳුම්කර මගින් ඩොලර් බිලියන 2.5 කුත් 2019 වසරේදී ඩොලර් බිලියන 4.4 මිලට ගන්නා අතර එයින් පසුව ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වල පහළට වැටීම හේතුවෙන් ණය ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවැති මුදල් හේතුවෙන් මෙරට ආර්ථිකය යම්කිසි කාලයකට පවත්වාගෙන යා හැකි තත්ත්වයක් නිර්මාණය වී තිබුණා. 2018 ඩොලර් බිලියන 6.92 කුත් 2019 වන විට ඩොලර් බිලියන 7.64 කුත් 2020 වන විට ඩොලර් බිලියන 5.66කුත් 2021 වන විට ඩොලර් බිලියන 3.14 කුත් 2022 වන විට ඩොලර් බිලියන 1.9 කුත් 2023 වන විට ඩොලර් බිලියන 4.4 කුත් 2024 ජුනි මාසය වන විට ඩොලර් බිලියන 5.65 දක්වා වැඩි වී තිබෙනවා.”
රටේ ආර්ථිකය පසුගිය කාලයේ ගලා ගියේ ඔය ආකාරයෙනි. රටට අවශ්‍ය ආනයන සිදුකිරීමට විදේශ ප්‍රේෂණ මෙන්ම සංචාරක ඉපයීම්වලින් ලද මුදල් ක්‍රමක්‍රමයෙන් පහළ යන අවස්ථාවලදී ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවැති මුදල් සංචිත ඒ වෙනුවෙන් වැය කළ අතර අවසානයේ භාණ්ඩාගාරයත් බින්දුවටම හිඳුණු තැන ආණ්ඩුවට කරකියා ගත දෙයක් නොහැකි විය. අවසානයේ රට තුළ අවුල් වියවුල් රැසක් ඇතිවී ආණ්ඩු මාරුවී නව ජනාධිපතිවරයකු පත්වී රට තුළ වෙනස්කම් රාශියක් ඇති විය. ශ්‍රී ලංකා රජය දේශීය මෙන්ම විදේශීය වශයෙන් ගෙවීමට ඇති ණය ගෙවීම නතර වී මේ වන විට වසර දෙකකට ආසන්න කාලයක් ගත වී ඇත. ජනතාවට පෙනෙන්නේ දැන් රට තුළ කිසිදු අවුලක් නැති බවයි. නමුත් සැබවින්ම රට තුළ එවැනි සුබදායක තත්ත්වයක් ඇතිවී තිබේදැයි මහාචාර්යවරයා විස්තර කළේ මේ ආකාරයෙනි.
“අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමත් සමග විවිධ කොන්දේසි මත ණය ගෙවීම නතර කිරීම හේතුවෙන් අපේ රටෙන් විදේශීය රටවලට යන මුදල් ප්‍රමාණය අඩුවී තිබෙනවා. 2022 වසරේදී ගෙවීමට තිබූ ඇමරිකන් ඩොලර් බිලියන 2.5 පමණ මුදල් ප්‍රමාණය නොගෙවූ නිසා රට තුළින් ඉවතට විදෙස් මුදල් ගලා ගියේ නැහැ. 2023 වසරත් එහෙමයි. මේ මුදල් ගෙවීම පැහැර හැරීම නිසා යම් විදේශ මුදල් ප්‍රමාණයක් රට තුළ ඉතිරි වෙනවා. මේ ඉතිරි වෙන මුදල් ප්‍රමාණය රටට අවශ්‍ය තෙල්, ගෑස්, ගල් අඟුරු බෙහෙත් ආදිය ආනයනය සඳහා යොදාගෙන තිබෙනවා.
ඒ වගේම රට ආර්ථික අර්බුදයට යෑමත් සමග ඉන්දියාව, චීනය, ආසියානු සංවර්ධන බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එවැනි ආයතන රැසකින් රට තුළට යම් මුදල් ප්‍රමාණයක් ගලා ඒම දැකගන්න පුළුවන්. රටට මුදල් ඒම වගේම ණය ගෙවීම පැහැර හැරීම නිසා රට තුළ මුදල් ඉතිරි වීම රට සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යෑමට හැකියාව ලැබී තිබෙනවා. මේ තුළ කිසිදු පුද්ගලයකු හෝ පක්ෂයක් සංවිධානයක් කළ විජ්ජාවක් නැහැ. යම් කිසිවෙකුට තර්ක කළ හැකියි රට හොඳ තත්ත්වයකට පත් කර ඇති බවට. නමුත් සැබැවින්ම එවැනි තත්ත්වයක් නැහැ. කලින් තිබුණු අයවැය හිඟය විදේශ වෙළඳාමේ ගැටලු තවමත් එහෙමමයි. ආර්ථිකය ශක්තිමත් කිරීමට තරම් තවම පදනමක් ඇති වී නැහැ. මේ වසර තුළ වුණත් කොරෝනා වැනි ව්‍යසනයක් හෝ විශාල යුදමය තත්ත්වයක් ඇතිවී සංචාරක කර්මාන්තය කඩා වැටුණොත් විදේශ ප්‍රේෂණ ලැබීම නතර වුණොත් යළිත් පෙර පැවැති තත්ත්වයටම රට පත් වේවි.
එසේම පෙර පැවති අල්ලස, දූෂණය ඒ ආකාරයෙන්ම පවතිනවා. අල්ලස දූෂණය සංජානන දර්ශකයේ අපි 115 ස්ථානය දක්වා පසු බැස තිබෙනවා. දැන් රට තුළ සිදුවී තිබෙන්නේ ආර්ථිකය ස්වයං ස්ථායීකරණයකට ලක්වීම. එය කවුරුන්ගේ හෝ මහන්සියක ප්‍රතිඵලයක් හෝ විජ්ජාවක් නිසා සිදුවූවක් නොවේ. සිදු වී තිබෙන්නේ රජය ගත්ත ණයවල පොලිය ඉහළ යෑම පමණයි. රජයේ පොලී පිරිවැය 2022 වසරේ පැවතියේ රුපියල් බිලියන 1525යි. එය 2023 වසර වන විට 2193 දක්වාත් 2024 වන විට බිලියන 2651 දක්වා වර්ධනය වී තිබෙනවා. මේ තුළ විශාල බරක් රට තුළ ඇතිවී තිබෙනවා.
ඒ වගේම 2021 වසර වන විට දේශීය ණය බිලියන 11097යි. එය මේ වන විට ණය ප්‍රශස්තකරණයෙන් අනතුරුවත් බිලියන 17349 දක්වා වැඩි වී තිබෙනවා. ආර්ථිකය මත ඇති වූ පීඩනය සමථයකට පත් නොවුණත් ප්‍රතිපත්ති සම්පාදකයන්ට හැකි වී තිබෙනවා ජනතාවට ඒත්තු ගන්වන්න අපි දැන් ආර්ථිකය යථා තත්ත්වයට පත් කළා කියලා. නමුත් ආර්ථිකයේ ඇතුලාන්තයේ විශ්ලේෂණය කර බලනකොට එහෙම කිසිම දෙයක් පේන්න නැහැ.”
මේ දිනවල දේශපාලන වේදිකාවේ අනුන්ගේ ළමයින්ට උප්පැන්න දීමට දේශපාලනඥයෝ පොරකන ආකාරය දැකගත හැකිය. නමුත් මහාචාර්යවරයා පවසන ආකාරයට මේ සිදුව ඇත්තේ ඕපපාතික දරු උපතකි. එසේම තමන් බලයට පත් වුණොත් සුරංගනා ලෝකයක් මැවීමට බලාපොරොත්තු ලබා දේ. ඒ පිළිබඳව අදහස් පළ කළ මහාචාර්යවරයා පැවසුවේ මේ කිසිදු අපේක්ෂකයෙකුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක රට ගොඩ ගැනීමට ආර්ථිකය ශක්තිමත් කිරීමට විධිමත් වැඩපිළිවෙළක් නැති බවයි.
සමීර කන්නන්ගර