ගොත අසංකගේ අවි ගබඩාවක් බන්ධනාගාර නියාමකගේ නිවසේ

298

ගොත අසංකයි නියාමකයි කුඩා වියේ සිටම ගජ මිතුරන්
කුලී ඝාතනවලට ආයුධ සපයලා
බැංකු ගිණුම්වල කෝටි ගාණක්

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශ නිලධාරීන් විසින් රාජගිරියේ පිහිටි දෙමහල් නිවසක් වටලනු ලැබුවේ බන්ධනාගාර නියාමකයකු විසින් පවත්වාගෙන ගිය පාතාල කල්ලි නායක ‘ගොත අසංක’ නමැත්තාට අයත් අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය ගබඩාවක් බව පොලිස් විමර්ශනවලින් හෙළිවී තිබූ නිසාය.

බන්ධනාගාර මූලස්ථානයේ රාජකාරි කරන නියාමකවරයා විසින් පවත්වාගෙන ගිය මෙම අවි ගබඩාවේ තිබී ටී 56 අවියක්, මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල 2ක්, පිස්තෝල ගැබ් 01ක්, පතරොම් ගැබ් 01ක්, විවිධ වර්ගයේ ජීව උණ්ඩ 400ක්, හෙරොයින්, ගංජා, කුෂ් මත්ද්‍රව්‍ය ඇතුළු තවත් භාණ්ඩ කිහිපයක් සොයා ගැනීමට මත්ද්‍රව්‍ය නාශක අංශ නිලධාරීහු සමත් වූහ.

ගොත අසංකගේ අවි ගබඩාවක් බන්ධනාගාර නියාමකගේ නිවසේ

ඉන්දියාවේ සැඟවී සිටින ගොත අසංක නමැති පාතාල නායකයා විසින් සිදු කළ කොන්ත්‍රාත් මිනිස් ඝාතන සඳහා අවි ආයුධ සපයා ඇත්තේ මෙම බන්ධනාගාර නියාමකවරයා විසින් බවට තොරතුරු මේ වනවිට අනාවරණය වී තිබේ.

රාජගිරිය ප්‍රදේශයේ පිහිටි මෙම බන්ධනාගාර නියාමකවරයාට අයත් දෙමහල් නිවසක සිවිලිමේ මෙම අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය ගබඩාව පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි. කොන්ක්‍රීට් සහ ගඩොල් යොදාගෙන ඉතාම ආරක්‍ෂිත ආකාරයට සකස් කර තිබූ අවි ගබඩාවේ මෙම ආයුධ සඟවා තිබූ බවද පොලිසිය පවසයි.

මේ අතර අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයාගේ බැංකු ගිණුම් කිහිපයක් පරීක්ෂා කළ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් එහි රුපියල් කෝටි ගණනක මුදල් හුවමාරු වී ඇති බව හෙළි කරගෙන ඇත.

බන්ධනාගාර නියාමකවරයා ගොත අසංකගේ මත්ද්‍රව්‍ය ජාලය ද මෙහෙයවා ඇති අතර එහිදී සිදුවූ මුදල් ගනුදෙනු මෙම බැංකු ගිණුම් හරහා සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් විසින් මීට දින කීපයකට උඩදී කළ වැටලීමකදී ගොත අසංකගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ සැකකාරියක ඇතුළු සැකකරුවන් 07 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

වැඩිදුර විමර්ශන සඳහා මෙම සැකකරුවන් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදුන් අතර ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම බන්ධනාගාර නියාමකවරයා පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබිණි.

පසුව මත්ද්‍රව්‍ය නාශක අංශ නිලධාරීන් බන්ධනාගාර නියාමකවරයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී රාජගිරියේ පිහිටි ඔහුගේ නිවසේ තිබී මිලිමීටර 9 වර්ගයේ පිස්තෝලය මුලින් සොයා ගැනීමට හැකි විය.

තවදුරටත් ප්‍රශ්න කිරීමේදී එම නිවසේ උඩු මහලේ සිවිලිම තුළ සඟවා තිබූ අවි ගබඩාව පිළිබඳ තොරතුරු හෙළි කර ගැනීමට පොලිසිය සමත් වී තිබේ.

මෙම අවි ගබඩාවේ තිබී අත්අඩංගුවට ගත් ටී 56 අවිය සහ පිස්තෝල කුමන මිනිස් ඝාතන සඳහා යොදා ගත්තේද යන්න සොයා ඒවා රස පරීක්‍ෂක වෙත භාරදීමට මත්ද්‍රව්‍ය නාශක අංශය කටයුතු කර ඇත.

පසු ගිය කාලයේ බස්නාහිර සහ දකුණු පළාතේ සිදුවූ මිනිස් ඝාතනවලදී සොයාගත් හිස් පතරොම් කොපු මෙම ආයුධවලින් පිටවූ උණ්ඩදැයි සෙවීමට මෙම විමර්ශන සිදු කරන බවද මත්ද්‍රව්‍ය නාශක අංශය කියා සිටියි.

ගොත අසංක නමැති පාතාල නායකයා සහ මෙම සැකකාර බන්ධනාගාර නියාමකවරයා මාකොළ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මොවුන් දෙදෙනා කුඩා කල සිටම සමීප මිතුරන් බවද විමර්ශනවලින් හෙළිවී තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මකය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment