ගොවිතැනට නැතිවම බැරි ගොවි නැකත්

132

ශ්‍රී ලංකාව පෙරදිග ලෝකයේ ධාන්‍යාගාරය යැයි හැඳින් වූ කාලයක් තිබුණි. ඒ රට පුරාම බත බුලතින් අඩුවක් නැතිව තිබූ නිසාය. අපේ රටේ මිනිසුන්ගේ ප්‍රධාන ආහාරයවූ බත සඳහා ඕනෑ තරම් සහල් රට තුළම නිෂ්පාදනය විය. අමතර ආහාර වර්ග වූ කැඳ වර්ග, කැවුම්, කොකිස්, මුං අළුවා, අතිරස, ආස්මී ආදී විවිධ කැවිලි වර්ගද නිපද වූයේ සහල් පිටිවලින් මිස පිටරටින් ගෙන ආ තිරිඟු පිටිවලින් නොවේ.

 අද තත්ත්වය වෙනස්ය. සහල් හිඟය මග හැරවීම පිණිස පිටරටින් ගෙන්විය යුතුව තිබේ. අපේ අමතර ආහාර සියල්ලම වාගේ පාන් පිටිවලින් සාදනු ලැබේ. තිරිඟු පිටි, නැතහොත් පාන් පිටි නැති වෙළෙඳ සැලක් ගැන සිතීමටවත් නොහැකිය.

 මේ අතර වී නිෂ්පාදනය මෙන්ම එළවළු ආදී අනෙකුත් බව බෝග සියල්ලේම ඵලදාව පහළ බැස තිබේ. ආහාර හිඟයක් ගැනත් දිනපතා ඉහළ යන ආහාර මිල ගණන් ජනතාව භීතියට පත්ව සිටිති. වගා සංග්‍රාමයක් ගැනද නිරන්තරවම අසන්නට ලැබේ.

 පසුගිය කාලයේ වගා සංග්‍රාමයට අමතරව රසායනික පොහොර හා පළිබෝධ නැතිව තනිකරම කොම්පෝස්ට් පෝර පමණක් භාවිතා කළ යුතු යැයි කියනු ලැබීය. එහෙත් ඒවා සාර්ථක වූයේ නැත. සියලු වගාවන් අසාර්ථක වූ බව නොරහසකි.

 මේ තත්ත්වය මැනවින් දැන ගැනීමට අප විසින් ඉතිහාසය හැදෑරිය යුතුය. දුටුගැමුණු, පැරකුම් ආදී ජනතා හිතෛෂී රජදරුවන් ශ්‍රී ලංකාව පෙරදිග ලෝකයේ ධාන්‍යාගාරය යැයි හඳුන්වන තරමට ගොවිතැන දියුණු කළේ කෙසේ දැයි සොයා බැලිය යුතුවේ.

 මෙහිදී පෙනී යන එක් දෙයක් නම් පොහොර භාවිතය පමණක් ගොවිතැනට ප්‍රමාණවත් නොවන බවය. ගොවිතැනට අදාළ ඉතා වැදගත් අංශයන් වගකිවයුත්තන් විසින් අමතක කර තිබේ. එනම් සෑම කෘෂිකාර්මික කටයුත්තක්ම ඊට අදාළ නියමිත වේලාවේදීම ආරම්භ කළ යුතු බවයි.

 නියමිත වේලාව යනුවෙන් මෙහිදී අදහස් කරන්නේ සුබ නැකතයි. ලංකාව පමණක් නොව ඉන්දියාව ආදී රටවලද භාවිතයට ගත් ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ වැදගත් පරිච්ඡේදයක් වන එය ‘ගොවි නැකත්‘ වශයෙන් හඳුන්වනු ලැබේ. දියුණු රටවල්වල පවා රාජ්‍ය අනුග්‍රහයෙන් ගොවි නැකත් භාවිතා කරනු ලැබේ. ඉර හඳ මෙන්ම ග්‍රහ තාරකාවලද චලනයට අනුව වෙනස් වන කාලගුණය (හෙවත් සෘතු) ගොවිතැන් කටයුතුවලට මහත් බලපෑමක් ඇති කරන බව පැරැන්නෝ මනාව දැන සිටියහ. ජ්‍යොතිෂයේ ආරම්භයද වගා නැකත් ක්‍රමවල අවශ්‍යතාව මත බිහිවන්නට ඇතැයි නිගමනය කළ හැකිවේ.

 අප රටේ ලියැවුණු බොහෝ ජ්‍යොතිෂ ග්‍රන්ථවල කෘෂිකර්ම කටයුතු සඳහා උවමනා නැකත් ක්‍රම ගැන විස්තර වේ. පුරාණ ඵලදාවලිය හෝරාභරණය, මුහුර්ථ චින්තාමනි, දෛවඥ කාමධේනු, නාරද සංහිතා වැනි ග්‍රන්ථවල මෙවැනි කරුණු සවිස්තරව දැක්වේ.

 විශේෂ නැකතකට ගොවිතැන් කළ යුතුද? මෙය මිථ්‍යා මතයක්දැයි පළමුව විමසා බැලිය යුතු වෙයි. හිරුඑළිය ගැන පමණක් විමසා බලමු. උදෑසන හිරුඑළිය, මධ්‍යහ්නයේ චණ්ඩ හිරු රශ්මිය, සවස් කාලයේ හිරුඑළිය මෙන්ම හිරු නැති රාත්‍රියද සියලු ජීව අජීව වස්තුවලට බලපාන්නේ සතර ආකාරයකටය. මෙයින් උදෑසන හිරුඑළිය නිසා ශාකවල වර්ධනය ඇතිවේ. අනෙකුත් ග්‍රහ වස්තූන්වලද මෙවැනි විවිධ බලපෑම් ඇත. සූර්යා ඇතුළු සියලු ග්‍රහයන් අවුරුද්දේ විවිධ කෝණවලින් පෘථිවියට සිය කිරණ ශක්තිය එල්ල කරයි.

 සඳ මෝරන හෙවත් පුර පක්‍ෂයට ගස්වල දියර ගතිය ඉහළ නගින බවත් මේ නිසා ඒ කාලයට කපන ගස්වල කඳන් ගුල්ලන් ගසන බවත් කඳෙන් ප්‍රයෝජනය ගත යුතු ගස් අවපක්‍ෂයට කැපිය යුතු බවත් සත්‍යයි. ඒ හඳේ බලපෑමයි.

 මූල ග්‍රන්ථවලින් ලබාගත් නැකත් ක්‍රම කිහිපක් මෙතැන් සිට විස්තර කරනු ලැබේ. ජ්‍යොතිෂය පිළිබඳ මූලික දැකීමක් ඇති අයට මේ නැකත් යොදා ගැනීම දුෂ්කර නොවන අතර අන් අයට ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයකුගේ සහය ලබාගත හැක. උදේ සිට පසුදා පහන් වන තුරු පැය 24 තුළ ලග්න දොළහම උදාවෙයි. ඒ ඒ ලග්නවලින් ගොවිතැන් කිරීමේ ප්‍රතිඵලය පහත පරිදි වේ.

 මේෂ ලග්නයෙන් – ලාභ අඩුය

 වෘෂයෙන් – ලාභ ලැබේ

 මිථුනයෙන් – ඵලදාව වැඩිය

 කටකයෙන් – අස්වැන්න වැඩිවේ

 සිංහයෙන් – ලාභ නැත

 කන්‍යාවෙන් – තණකොළ වර්ග වැඩිවේ

 තුලාවෙන් – අස්වැන්න වැඩිවේ

 වෘශ්චිකයෙන් – පණුවන් බෝවේ

 ධනුවෙන් – සොරකම් කරති

 මකරයෙන් – අස්වැන්න වැඩියි

 කුම්භයෙන් – අවුල් වියවුල් ඇතිවේ

 මීන ලග්නය – අස්වැන්න වැඩිවේ

 මල් ඇට වර්ග සිටුවීම වෘෂභ හෝ තුලා ලග්නයකින් ද සිකුරාදා දිනයද සුබය. පලතුරු වර්ග සිටුවීම ධනු හෝ මීන ලග්නවලින් සුබය. අල වර්ග සවස් වරුවේ හෝ රාත්‍රි කාලයේද මල් පලතුරු එළවළු වර්ග උදේ වරුවේ සිටුවීමද සුබය. ඒ ඒ දිනවල ගොවිතැන් ආරම්භ කිරීම ගැනද, නිර්දේශ කර තිබේ. ඉරිදා, රවි ලග්නයේ තබා වී වැපිරීම සුබය. ශනිදා ශනි ලග්නයේ තබා මධ්‍යහ්නයේ කළු පාට ඇට වර්ග සිටුවීම සුබය. ගුරුදා බුලත් දලු සිටුවීම සුබය. වී වගාවෙන් විශිෂ්ට ප්‍රතිඵල දෙන ඉතා සුබ ග්‍රහ යෝග කිහිපයක් දැක්වේ.

 ඉරිදා අස්විද නැකත හා සතවක ද කුම්භ ලග්නයද යෙදුනු විට එක යාලට අමුණු පහයි. සඳුඳා උත්‍රපුටුප නැකත හා දොළොස්වක යෙදුන විට එක යාලට අමුණු නවයයි. කුජදා පුෂ නැකත පුෂ නැකත 11 වන යෙදුනු විට එක යාලට අමුණු එකොළහයි. බුධදා කැති නැකත හා සතවකට යාලට අමුණු හතයි. ගුරුදා රේවතී හා දියවකට එන යාලට අමුණු එකොළහයි. කිවිදා දෙනට හා දියවකද කුම්භ ලග්නයද යෙදුනු විට එක යාලට අමුණු පහළොවයි. ශනිදා සියාවස දොළොස්වක හා කුම්භ ලග්නය යෙදුනු විට එක යාලට අමුණු දොළහයි.

 නැකත් පුදුම සහගතය. නැකත යනු යම්කිසි ග්‍රහ යෝගයන් උදාවන වේලාවයි. සමහර නැකතක අරඹන ගොවිතැනට පණුවන්ගෙන් ද, සමහර නැකතක පක්‍ෂීන්ගෙන්ද, සමහර නැකතක සිව්පාවුන්ගෙන් ද හානි පැමිණේ. සමහර වේලාවල් වල් පැළ බෝ වෙයි. අලින් හා ඌරන් වැනි සතුන් ඇතුල් නොවන සේ වැට පිරීමට නැකත් තිබේ. මෙවැනි ලිපියකින් මේ සියල්ල හෙළි කළ නොහැකිය.

 මේ නිසා ගොවිතැන සශ්‍රීක වීමට පොහොර පමණක් අවශ්‍ය යැයි සිතීම සම්පූර්ණ සත්‍යයක් නොවේ. එදා රජදරුවන්ද, අද ප්‍රංශය වැනි දියුණු රටවල්ද භාවිතා කරන ගොවිනැකත් ක්‍රම ගැන සොයා බලා ඒවා යොදාගෙන නැවතත් ශ්‍රී ලංකාව පෙරදිග ලෝකයේ ධාන්‍යාගාරය බවට පත් කිරීමට සැවොම අධිෂ්ඨාන කර ගනිමු.

ගොවිතැනට නැතිවම බැරි ගොවි නැකත්

කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්
 දු.අංකය – 077-1234313

advertistmentadvertistment
advertistmentadvertistment