ගොවිතැනට නුසුදුසු පොහොර ගෙන්වන්නේ ඇයි?

239

රට කාබනික පොහොර නොහොත් චීනයෙන් මෙරටට කාබනික පොහොර ගෙන්වීම අර්බුදයක් බවට පත්ව තිබේ. ඒ, ඒ තුළ ක්ෂුද්‍රජීවීන් සිටින බවට තහවුරු වීම නිසාය. මේ තහවුරු කිරීම සිදුකර ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසිනි. වඩාත් පැහැදිලිව කියන්නේ නම්, පිට රටක සිට මෙරටට ගෙන එනු ලබන ජීව ද්‍රව්‍ය (බීජ, දඬු කැබලි, එළවළු, පලතුරු, හා අනෙකුත් කාබනික ද්‍රව්‍ය වැනි දෑ) සඳහා කටුනායක පිහිටි පැළෑටි නිරෝධායන සේවයේ අවසරය ලබාගත යුතු අතර, එහිදී එම ද්‍රව්‍ය සඳහා රසායනාගාර පරීක්ෂණ සිදුකරනු ලබයි. ඒ අනුව ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් 31.08.2021 දින අංක 288 හා 389 ලෙස ඔවුන් වෙත යොමු කරන ලද කාබනික පොහොර සාම්පල් දෙකකට අදාළව ජාතික පැළෑටි නිරෝධායන මධ්‍යස්ථානය මගින් සිදුකරන ලද සාම්පල පර්යේෂණයේදී මෙසේ මෙම කාබනික පොහොර තුළ ක්ෂුද්‍ර ජීවීන් ඇති බවට තහවුරු කර ඇත. ඔවුන් දක්වා ඇත්තේ මෙම පොහොර සාම්පල තුළ බැසිලස් ගණයේ (Bacillus spp) හා අර්වීනියා ගණයේ (Erwinia spp) බැක්ටීරියාවන් අඩංගු බවයි. එනම් ඔවුන් දක්වා ඇත්තේ හරියටම හඳුනාගත් බැක්ටීරියාවන් විශේෂය බැගින් නොව, එම ගණවල බැක්ටීරියාවන් සිටින බවය. මේ අනුව බැක්ටීරියාවන් විශේෂ විශාල ප‍්‍රමාණයක් වුවද මෙහි සිටිය හැකිය. ඒ සඳහා අයි. ටී. අයි. වැනි ආයතනයකින් සවිස්තරාත්මක පරීක්ෂණයක් සිදුකළ යුතුව ඇත. එනම්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැළෑටි නිරෝධායන මධ්‍යස්ථානය මගින් නිකුත් කර ඇති මෙම විද්‍යාත්මක නිගමනය ඉතා බරපතළ වූවකි. එසේම, මෙම සේවාව මගින් ඔවුන්ගේ විෂය පථයට අදාළව කළ හැකිව තිබෙන්නේ රට තුළට ගෙන එන යම් කාබනික ද්‍රව්‍යයක් තුළ සිටින ව්‍යධිජනකයින් සොයා බැලීම පමණි. එනම් අපේ රටේ කෘෂිකර්මාන්තයට, වගාවන්ට හා පරිසරයට බලපාන ව්‍යධිජනකයින් පිළිබඳව සොයා බැලීමයි. එම නිසා ඔවුන් විසින් ලබා දී ඇත්තේ ව්‍යාධිජනක කාණ්ඩයේ බැක්ටීරියාවන් පිළිබඳව පමණක් බව විශ්වාස කළ හැකිය.

මේ පිළිබඳව අදහස් දක්වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ජේ්‍යෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතාට අනුව ඔහු කියන්නේ මෙය බරපතළ තත්ත්වයක් බවයි. ‘‘බැසිලස් කාණ්ඩයේදී නම් හිතකර හා අහිතකර කාණ්ඩයේ බැක්ටීරියා විශේෂ දෙවර්ගයම සිටිනවා. නමුත්, අර්විනියා කාණ්ඩයේ සියලූම බැක්ටීරියාවන් ව්‍යාධිජනකයින්. ඔවුන් ලෙඩ රෝග හදනවා. බැසිලස් කාණ්ඩයේ සමහර බැක්ටීරියාවනුත් ලෙඩ රෝග හදනවා. ඒ නිසා මේ පොහොර රටට ගැලපෙන්නේ නෑ, විතරක් නොවේ අපේ ගොවි බිම්වලට ප‍්‍රශ්නයක් වේවි…..” ඔහු පවසයි.

‘‘විශේෂ නාමයන් කියන්නේ නැති නිසා මේ ගණ දෙකේ මොනතරම් බැක්ටීරියාවන් විශේෂ ඉන්නවද කියල අපි දන්නේ නෑ. ඒ සඳහා සවිස්තරාත්මක පරීක්ෂණ කරන්න ඕනෙ. එහෙම වුණොත් තත්ත්වය තවත් බරපතළ වෙන්න පුළුවන්” මහාචාර්ය මාරඹේ පවසයි.

මෙම පර්යේෂණ ප‍්‍රතිපල පිළිබඳව සෑහීමකට පත්වෙන්නට නොහැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ කතාවලින් අපට පැහැදිලිවේ. ඔහු කියන්නේ කුමන්ත‍්‍රණකාරීන් විසින් මෙම සාම්පල්වලට බැක්ටීරියාවන් එන්නත් කරන්නට ඇති වැනි කතාවකි. නමුත්, දැන් පැහැදිලිවී ඇති කාරණය නම්, රජයේ ප‍්‍රමිති ආයතනයේ අනුදැනුම ඇතිව ජාත්‍යන්තරව පිළිගත් විද්‍යාගාර සේවාවක් වන (Schutter) නම් සමාගම මගින් ද ශ‍්‍රී ලංකාවට ගෙන්වීමට යන මෙම පොහොරවලට අදාළව සිදුකර ඇති සාම්පල් පරීක්ෂාවේදීත් මේ තුළ ක්ෂුද්‍රජීවීන් යම් ප‍්‍රමාණයක් ඇති බවට හඳුනාගෙන තිබීමය.

එනම්, ඔවුන් විසින් 2021 සැප්තැම්බර් මස 14 දින නිකුත් කර ඇති අදාළ පර්යේෂණ ප‍්‍රතිපල වාර්තාව මගින් දක්වා ඇත්තේ චීනයේ High Development Zone හි පිහිටි QINGDAO Seawin Biotech Group Co. ltd නම් කාබනික පොහොර නිෂ්පාදන සමාගමේ නිෂ්පාදනය කරමින් පවතින අවස්ථාවේ සහ QINGDAO වරායේ දැනට අපනයන සඳහා සූදානම් කර ඇති පොහොර තොග වලින් ලබාගන්නා ලද සාම්පල් දෙක තුළම කෝලිෆෝම් (Caliform Bacteria) නමැති බැක්ටීරියාවන් අඩංගුව ඇති බවයි. මේ පිළිබඳව අප කළ විමසුමේදී අදහස් දැක්වූ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පැවසුවේ තම අධ්‍යයන අනුව කෝලිෆෝම් බැක්ටීරියා යටතට ඉතා ව්‍යාජ ජනක ඊකොලයි හා අර්විනියා යන ගණ දෙකම අයත් බවයි. ඒ අනුව ජාතික පැළෑටි නිරෝධායන සේවයේ විද්‍යාගාර වාර්තාව තහවුරු වන අතර, ගෙන එන ලද සාම්පල් තුළට යම් ආකාරයකින් බැක්ටීරියා එන්නත් කරන්නට ඇතැයි කියන උපකල්පන පුස්සක් වේ.

කෙසේ හෝ ශ‍්‍රී ලංකාවේ භාවිත ගණ කාබනික පොහොර සඳහා ප‍්‍රමිති හඳුන්වා දී ඇත්තේ ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය විසිනි. ඒ, ප‍්‍රමිතියෙන් යුතු නොවන සහ ලෙඩ රෝග සහිත, සෞඛ්‍ය අනාරක්ෂිත දෑ රට තුළ භාවිතය වැළකීම සඳහාය. ඒ අනුව සලකා බලන කල, කාබනික පොහොර සඳහා ප‍්‍රමිති ආයතනය දක්වා ඇත්තේ ‘‘ජීවානුහරණය කරන ලද ගණ කාබනික පොහොර” ලෙසිනි. මේ අනුව කාබනික පොහොර ආනයනයේදී ජාතික පොහොර ලේකම් කාර්යාලය සහ ජාතික පැළෑටි නිරෝධායන සේවය මගින් ලබා දෙන බලපත‍්‍ර සඳහා අදාළ ප‍්‍රමිති සලකා බැලීම සිදුවේ. මෙය නෛතික පිළිගැනීමකි. නොහොත් ඒ අනුව කටයුතු කිරීමට අදාළ රාජ්‍ය හෝ පෞද්ගලික අංශය බැඳී සිටී. එනම්, ජීවානුහරණය, ගණ, කාබනික, පොහොර යනු ඉතා වැදගත් කාරණා හතරකි. ඒවා එකක්වත් උල්ලංඝනය වීම සිදු නොවිය යුතුය. මන්ද ඒවා අර්ථකථනය කර ඇති නිසාය. ඒ අනුව, පැහැදිලිවන්නේ මෙසේ ගෙන්වීමට කටයුතු කර ඇති පොහොර ජීවානුහරණය වී නොමැති නිසා එක පැත්තකින් මෙසේ කාබනික පොහොර ගෙන්වීම නීති විරෝධී වන නිසාය. අනිත් පැත්තකින් සිදුවන්නේ මෙසේ නීති උල්ලංඝනය කරමින් ගෙන එන පොහොර වගා බිමට යෙදීමෙන් සිදුවන ජෛව විනාශයයි.

ගොවිතැනට නුසුදුසු පොහොර ගෙන්වන්නේ ඇයි?

කෙසේ හෝ මෙසේ චීනයෙන් ගෙන්වීමට කටයුතු කර ඇති කැට පොහොර හා කුඩු පොහොර යන පොහොර වර්ග දෙකේම බැක්ටීරියාවන් ඇතුළත් බව දැන් පැහැදිලිවී ඇත. ශ‍්‍රී ලංකාවේ පැළෑටි නිරෝධායන සේවාව මගින් පැහැදිලිවම තම වාර්තාවේ දක්වා ඇත්තේ මෙසේ ගෙන්වීමට යන පොහොර තොගයට අදාළව තමන් වෙත ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් ලබා දී ඇති පොහොර සාම්පල ජීවානුහරණය නොකරන ලද ඒවා බවය. මේ අනුව පැහැදිලිවන්නේ මෙම රට කාබනික පොහොර භාවිතය පමණක් නොව රටට ගෙන්වීමද භයානක අර්බුදයකට අත වනන බවයි.

රසායනික පොහොර ඇතුළු කෘෂිරසායන කර්මාන්ත මාෆියාවෙන් රට බේරාගෙන කාබනික, වස විස නැති කෘෂිකර්මාන්තයක් රට තුළ ක‍්‍රියාත්මක කරන්නට බොහෝ දෙනකු තුළ කලක පටන් නොසන්සිදුනු අසාවක් ඇත. ඊට ප‍්‍රධාන හේතු කිහිපයකි. එකක් නම් කෘෂිරසායන හේතුවෙන් වැළඳෙන ලෙඩ රෝග හා ඒ නිසා මිය යන රෝගීන් වෙනුවෙන් සාධාරණයක් සිදුකිරීම වෙනුවෙනි. නොහොත්, අපි සහ අපේ දරු පරපුර මේ අවාසනාවන්ත රෝග තත්ත්වයන්ට තවත් ගොදුරු නොවී ඉන් මුදාගනු පිණිසය. නිදසුනක් ලෙස රජරට වකුගඩු රෝගය යනු තනිකරම රසායනික පොහොර ඇතුළු කෘෂිරසායන නිසා ඇතිවන්නක් බව කීවේ අප නොව, අද ඖෂධ පිළිබඳව රාජ්‍ය අමාත්‍ය ධුරයක් දරන, එකල රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා වැනි අයමය. ඔහු කීවේ වකුගඩු ලෙඬේට හේතුව කෘෂිරසායන තුළ ඇති ආසනික් වැනි බැරලෝහ බවයි.

එපමණක් නොව, දරුණු වල්නාශක ඇතුළු කෘෂිරසායන නිෂ්පාදනයේ ලා සහ ඉන් ඇතිවන රෝග සඳහාද ඖෂධ නිපදවමින් දෙකෙළවරින් අධික ලාභාංශ උපයන සමාගමක් වන මොන්සන්ටෝ වැනි සමාගම්වලට එරෙහිව අවි අමෝරා කටයුතු කළ ඔවුහු ජාත්‍යන්තර ජූරි සභා ඉදිරියේ වග උත්තර බැන්දේ, පදවිය වැනි ගොවි ප‍්‍රදේශවල පැතිර යන වකුගඩු රෝගයට එරෙහි ගොවි සංවිධාන ක‍්‍රියාකාරීන් ද සාක්ෂිකරුවන් ලෙස මේ ජූරි සභාවලට කැඳවාගෙන යෑමෙනි.

නමුත් කෘෂිරසායන සමාගම්වලින් ජරාව ඇදබාමින් තමන්ගේ බඩ කට පුරවාගැනීමෙන් එහා ගොස්, තම දරුවන්, දෙමව්පියන් පවා ඒ සන්තෝෂම් මුදලින් පෝෂණය කරමින් හා තම දරුවන්ට උසස් අධ්‍යාපන වරම්ද මේ ලැබෙන අත යට ගනුදෙනුවලින් සපයා ගන්නා කෘෂිරසායන වෛද්‍ය ගොට්ටන් හා එවන් ආචාර්ය, මහාචාර්ය ගොට්ටන් අදටත් මේ වකුගඩු රෝගය හඳුන්වන්නේ ‘‘හඳුනා නොගත් වකුගඩු රෝගය” (Chronic kidney disease of unknown) ලෙසනි. නොහොත් මෙතරම් වෛද්‍ය සහ පර්යේෂණ එක්ස්පර්ට්ලා (ඔස්තාර්ලා) ඉන්නා රටේ වකුගඩු රෝගය තවමත් ඇත්තේ ‘‘හඳුනා නොගත් හේතු නිසා ඇතිවන” රෝග ලයිස්තුවේය. පුදුම කතාවකි, පුදුම රටකි.

රසායනික පොහොර කෘෂිකර්මාන්තය සිදුකරන අතරතුර ඊට උඩුගම් බලා යමින් කාබනික කෘෂිකර්මාන්තය සිදුකරන පිරිසක් මේ රටේ සිටින බවද අපි අමතක නොකළ යුතුය. ශ‍්‍රී ලංකාවේ පමණක් නොව, ලෝකයේම එවන් පිරිස්, සංවිධාන, ආයතන, ගොවිපළ ඇති බවද මෙහිදී සිහිපත් කළ යුතුය. එවන් පිරිස් වෙර වෑයමෙන් (රසායනික කෘෂිකර්මාන්තය තරම් පහසුවෙන් නොවේ.) තම කටයුතු සිදුකරමින් සිටින අතර, සැලකිය යුතු ආදායමක් ලබන බවද අප දැනගත යුතුය. එසේම, රාජ්‍ය අනුග‍්‍රහය යටතේ මෙවන් කාබනික පොහොර නිෂ්පාදනය ඇතුළු කාබනික කෘෂිකර්මාන්තයක් ගැන ජාතික වශයෙන් කතා කරන්නේ හා ඊට ඉතා විශාල මුදලක් වැයකරන්නේ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ රජය යටතේය. ඒ අතුරලියේ රතන හිමියන්ගේ මැදිහත් වීමෙන් ආරම්භ කරන ලද කාබනික වගා වැඩසටහන සඳහාය. ජානාධිපති කාර්යාලය යටතේ පැවති උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයට (fiud- SEMA)ජනාධිපති වැය ශීර්ෂය යටතේම මුදල් වෙන්කරගත් උන්වහන්සේ ‘‘වස විස නැති රටක්” නමැති කාබනික ජාතික වගා වැඩසටහන පටන්ගෙන වසර තුනක් ඉදිරියට ගෙන ගියා අපට මතක තිබේ. ඒ යටතේ ප‍්‍රබල හා පූර්ණ වල්නාශකයක් වූ ග්ලයිපොසෙට් තහනමට ලක්කරන ලද අතර, අඩු මිලට පොහොර ලබා දෙන සහනය කපා හැර, ඒ වෙනුවට කාබනික පොහොර හදන්නට මුදලක් ගොවියාට දෙන්නට තීන්දු කළේය. නමුත්, අවසානයේ පොහොර මාෆියාව විසින් මේ වස විස නැති රටක් ජාතික වැඩසටහන පමණක් නොව, සෙමා -SEMA ආයතනයද ජනාධිපති මෛත‍්‍රීපාල විසින් වසා දමන ලදී. ඒ සඳහා කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කරන ලද්දේ රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා ප‍්‍රමුඛ යහපාලන කැබිනට් මණ්ඩලය විසිනි. ඒ සෙමා ආයතනය විසින් කැබිනට් පත‍්‍රිකා නැවත විමර්ශනය කිරීමේ කටයුත්තද සිදුකළ නිසාය. ජනාධිපතිවරයා යටතේ තිබුණු ප‍්‍රබල ආයතනයක් වන මෙම සෙමා ආයතනය අහෝසි කිරීමට හිටපු ජනාධිපතිවරයා ඇස් වසාගෙන අත්සන් තැබුවේ රතන හිමියන් සමග ඇතිවූ විරසකයට පාඩමක් උගන්වන්නටය.

කෙසේ හෝ යළිත් කාබනික පොහොර සහිත කාබනික වගා ජාතික වැඩසටහනක් ගැන කතා කරන්නේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුළිනි. එනම් සෞභාග්‍යයේ දැක්ම (පිටුව 69) තුළිනි. කොරෝනා වසංගතයට රට ගොදුරුවී ආර්ථික වශයෙන් රට අගාධයකට පැමිණ ඇති මෙවන් මොහොතක රට පොහොර (රසායනික) ගෙන්වීම සඳහා ඩොලර් නැති කොට කාබනික පොහොරින් කෘෂිකර්මය කරන්නට රජය තීන්දු කිරීම වුවත් වෙස්වලාගෙන පැමිණි ආශීර්වාදයක් ලෙස මෙරට පරිසරයට හිතැත්තෝ සලකනු ලැබීය. ඒ අනුව රට සූදානම් වෙමින් පැවතියේ කාබනික පොහොර නිෂ්පාදනය කෙරෙහිය. රජයට හෝ කෘෂිකර්ම අමාත්‍යංශයට මේ සඳහා වැඩපිළිවෙළක් හා දැනුමක් නැති බව සැබෑවක් මෙන්ම, ජනාධිපතිවරයාගේ මේ අපූරු සංකල්පනාව තැනක් හා ඉඩක් දෙන්නට තරම් ක‍්‍රියාකාරීන් රජය තුළ හෝ දිනාගෙන නොමැති බව පසක් වූවේ මහ කන්නයට ඔන්න මෙන්න කියා තිබියදී කාබනික රට පොහොර ගෙනෙන්නට තීන්දුවක් පැමිණීමත් සමගය. සැබවින්ම මේ නිසා මේ මොහොතේ රජය දැඩි අපකීර්තියකට පත්ව සිටින අතර, දැන් එකක් කියන, තව ටිකකින් තව එකක් කියන කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගම නිකම්ම නිකම් කයිවාරුකාරයෙක් බව පසක් වූවේ මේ කාබනික පොහොර සිද්ධියත් සමගය. වැඩිමනත් ඊට රටේ සහල් අර්බුදයේ දියාරු විසඳුම්ද එකතු වී ඇත.

පෙර කී පරිදි ජනාධිපතිවරයා අදහස් කරන්නට ඇත්තේ රට තුළම කාබනික පොහොර නිපදවා රට කාබනිකව අස්වැද්දීම විය යුතුය. ඔහු විසින් මේ තීන්දුව ප‍්‍රකාශයට පත්කිරීමත් සමග ලෝකයේම අවධානය ලංකාව කෙරෙහි යොමුවුණු අතර, ලෝ ප‍්‍රකට පරිසරවේදිනියක් වන වන්දනා ශිවා මහත්මිය පවා ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේ ශ‍්‍රී ලංකාවේ රජය ගත් මේ තීන්දුව ඉතිහාස ගතවන බවයි. ලෝකයේ තවත් රටවල් මේ අනුව යනු ඇති බවයි. නමුත් ඒ ලැබුණු ප‍්‍රසාදය දිනා ගන්නට තරම් හෝ ඉලක්ක ජයගන්නට තරම් විෂය භාර මැති, ඇමැත්තන්, ලේකම්වරු, නිලධාරීන් තමන් යටතේ නැති බව ජනාධිපතිවරයාට දැන්වත් තේරුම් ගොස් ඇත්දැයි අපට ප‍්‍රශ්නයක් තිබේ. සැබෑව නම්, ජනාධිපතිවරයා ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලය මෙසේ කාබනික පොහොර යොදා රට අස්වද්දන තීන්දුව ගත් දා පටන්ම ඇමැතිවරු ඇතුළු වගකිව යුත්තන් නිකං කයිවාරු වනමින් කාලය කා දැමීමය.

කරන්නට තිබුණේ දේශීයව කාබනික පොහොර නිපදවීම දිරිගන්වමින් අවශ්‍ය පොහොර තොග විද්‍යාත්මකව නිපදවා අදාළ ඉලක්ක වෙත යෑමය. නමුත්, කයිවාරු ගසමින් කාලය කාදැමුවාට කරපු දෙයක් නැත. නටපු නැටුමකුත් නැත. බෙරේ පලූවකුත් නැත කියන්නා සේ අවසානයේ කෝකටත් තෛලය වන රටින් ගෙනත් බාන්නට ගොස් වටිනා කාබනික පොහොර හා කාබනික වගාව යන සංකල්පයද අද විනාශයට ඇද දමා ඇත. අපට කියන්නට ඇත්තේ කාබනික වුණත්, රසායනික වුණත් තවත් ඉතිං රට පොහොර නම් අවශ්‍ය නැත යන්නය. මේ කන්නයේදී බැරි නම් ඊළඟ කන්නය සඳහාවත් විධිමත් කාබනික වැඩසටහනක් ක‍්‍රියාත්මක කරන්නට රජය කටයුතු කළ යුතුය.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment