වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි, අපේ සංස්කෘතියේ ප්‍රධාන සංකේතයන් ය. අපේ ජන ජීවිතය හැඩගැස්වූ බලවේගය වූයේ ද කෙත හා බුදු දහමයි. අපේ කෘෂි සංස්කෘතිය හා බුදු දහම අතර ඇත්තේ වෙන් කළ නොහැකි තරමේ බැඳීමකි. විහාරස්ථානය මෙන්ම කමත ද ශුද්ධ භූමියකි. මේ නිසා මහා සංඝරත්නය සහ වී ගොවිතැන අතර ඇත්තේද අවියෝජනීය වූ බැඳීමකි. පෙර රජදවස පටන් මෙරට කෙත් වතු පෝෂණය කරන්නට අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කරමින් මහා සංඝරත්නය පෙරමුණ ගත්හ. මෙරට යටත්විජිත පාලන කාලයේ දි අපේ වැව්, අමුණු, විනාශ කරමින් මෙරට කෘෂි ආර්ථිකය විනාශ කිරීමට සුදු ජාතිකයින් කටයුතු කරනු ලැබීය. එයට එරෙහිව නැගී සිටිමින් වැව්, අමුණු යළි ප්‍රතිසංස්කරණය කිරීමට නායකත්වය ලබාදෙමින්, කෙත්වතු අස්වැද්දීම සඳහා රට්ටුන් දිරිමත් කිරීමට ද කටයුතු කරනු ලැබුවේ මහා සංඝරත්නයයි.
අප මේ කියන්නට යන්නේද අපේ කාලයේ එවැනි හිමිනමක් ගැනය. උන්වහන්සේ, ගොවීන්ගේ, දොරින්, දොරට, කෙත් වතු යායන් වෙත වැඩම කරවමින් පුරන් කුඹුරු යළි අස්වැද්දීම සඳහා ගොවි ජනතාව දිරිමත් කරති. අපේ මෙම ලිපියේ කතානායකවරයා වෙන කවුරුවත් නොව ගාල්ල, කඩවත්සතර හා තල්පේ පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, සද්ධර්මකීර්ති ශ්‍රී, අක්මීමන තල්ගස්යාය ශ්‍රී අස්වත්ථාරාමාධිපති මතුගම ගුණරත්න නාහිමියන්ය. උන්වහන්සේට කුඩා කාලයේ සිටම කුඹුර, කමත, වෙල්ඉපනැල්ල, නියර, හොඳට හුරුපුරුදුය. මතුගම ගුණරතන නාහිමියන් ගහකොළට, සතාසිවුපාවන්ට, පරිසරයට, දැඩිව ඇලුම් කරන හිමිනමකි.
ඒ විතරක් නොව උන්වහන්සේ, විහාරස්ථානයේ දායක, දායිකාවන්ගේ නිවෙස්වලට වැඩම කරමින්, ගෙවතු වගාව ප්‍රවර්ධනය කිරීමට ද කටයුතු කරති.
මතුගම ගුණරතන නාහිමියන් විසින් මේ වනවිට වසර තිහකට අධික කාලයක් තිස්සේ, පුරන්ව පැවති වලහන්දුව, ගොවිජනසේවා බලප්‍රදේශයට අයත් තල්ගස්යාය, ඕකදුයාය අස්වැද්දීමට නායකත්වය ලබාදෙති. වාරිමාර්ග ගැටලු හේතුවෙන් අක්කර 20ක පමණ වපසරියකින් යුතු එකි කුඹුරු යාය අස්වැද්දීමට එම ප්‍රදේශයේ ගොවීන්ට නොහැකි විය. ගොවීන් වසර ගණනාවක සිට මෙකී ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස බලධාරින්ගෙන් ඉල්ලා සිටියද එය බීරිඅලින්ට විණා වැයීමක බඳු කටයුත්තක් බවට පත්ව තිබුණි. මෙකී ගැටලුව ගොවීන් විසින් මතුගම ගුණරතන නාහිමියන්ට ද කීහ. උන්වහන්සේ මේ පිළිබඳ ගාල්ල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් ජේ.ඩබ්ලිව්.එස්. ප්‍රියන්ජන් මහතා සහ වලහන්දුව ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරි කේ.එච්.ජේ. සඳමාලි මහත්මිය දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබීය.
ඒ විතරක් නොව උන්වහන්සේ ගොවීන්ගේ නිවෙස්වලට වැඩම කරවමින් පුරන් කුඹුරු වගා කිරීමට ගොවීන් දිරිමත් කළහ. එමෙන්ම වගා නොකරන පුරන් කුඹුරු හඳුනාගෙන එම කුඹුරු වගාකිරීමට කැමති ගොවීන් වෙත ලබාදීමට ද මතුගම ගුණරතන නාහිමියන් කටයුතු කරනු ලැබීය. ආහාර සුරක්ෂිතතාවය අතින් රට්ටුන් ගැටලු රැසකට ලක්ව සිටින මේ අවස්ථාවේ මතුගම ගුණරතන නාහිමියන් අතගසා ඇත්තේ මහඟු පුණ්‍යකර්මයකටය.
අපේ තරුණ පරපුර කෘෂිකර්මාන්තයෙන් ඉවත්වෙමින් සිටින යුගයක ඕකදු යායේ, වලහන්දුව, ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරි කේ.එච්.ජේ. සඳමාලි මහත්මිය ද මෙකී පුරන් කුඹුරු වගා කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ නිරන්තරයෙන් සොයා බලමින් ගොවීන් දිරිමත් කරන්නීය. මතුගම ගුණරතන නාහිමියන්ට ඇය මෙම කටයුත්තේ දී විශාල ශක්තියක් වී ඇත්තේය. කොටින්ම කිවහොත් මතුගම ගුණරතන හිමියන් හරි අපූරු හිමිනමකි. උන්වහන්සේ නිර්මාණශීලි හරි අපූරු දේවල් කරන භික්ෂුන්වහන්සේ නමකි. කෘෂිකාර්මික කටයුතු සඳහා නායකත්වය ලබාදෙන අතරේ උන්වහන්සේ තවත් විටෙක අමුතුම තාලේ උත්සව සංවිධාන කරති. සමාජයේ විවිධ ස්ථරවල කොටස් ඇගයීමට කටයුතු කරති. උන්වහන්සේ එක් අවස්ථාවකදි පොල්කඩන පිරිස් විහාරස්ථානයට කැඳවා ඔවුන්ට කෑම බීමවලින් සංග්‍රහකොට එම පිරිස විසින් කරනු ලැබූ කාර්ය ඇගයීමට කටයුතු කරනු ලැබීය. තවත් විටෙක සම්මාන උත්සවයක් තබා මාධ්‍යවේදීන් ඇගයීමට ද මතුගම ගුණරතන හිමියන් කටයුතු කළහ.
‘මම ඉපදුණේ ගොවි පවුලක, කුඩා කාලයේ සිටම කෘෂිකර්මාන්තයට ලොකු ඇල්මක් දැක්වූවා. මේ වනවිට රටේ විශාල ආර්ථික අර්බුදයක් තියෙනවා. අපේ රටේ වෙනත් රටවලට වඩා ඕනෑම භෝගයක් පැළ වෙන සාරවත් පසක් තියෙන්නේ. ඒ නිසා නිවසට අවශ්‍ය භෝග අපිට වගා කරගන්න පුළුවන්. බලයට පත්වූ විවිධ රජයන් විසින් විවිධ වගා සංග්‍රාම දියත් කළා. උත්සව තියන්න විශාල මුදලක් වැයකළා. නමුත් ප්‍රතිපලයක් ලැබුණේ නැහැ. අපේ රට කෘෂිකාර්මික රටක්, නමුත් කෘෂිකර්මාන්තයට ලැබී ඇත්තේ කුඩම්මාගේ සැලකිල්ලක්. කාබනික පොහොර තහනම් කිරීම නිසා මෙරට කෘෂිකර්මාන්තය කඩාගෙන වැටුණා. එහි ප්‍රතිපල දැන් ලැබෙමින් පවතිනවා. 2020/2021 මහ කන්නයේ දී තමයි අපේ රටේ අඩුම වී නිෂ්පාදනය ලැබුණේ. ඇත්තටම අපි විවේචන කර කර ඉන්නවාට වඩා අපිත් යමක් කළ යුතුයි. ඒ කටයුත්තට තමයි මම නායකත්වය ලබාදෙන්නේ. මේ සඳහා ගමේ විහාරස්ථානයේ වැඩවසන භික්ෂුන්වහන්සේලා පෙරමුණ ගත යුතුයි. එහෙම වුණොත් අපිට මේ රට සහලින් ස්වයංපෝෂිත කරන්න පුළුවන්. රජයේ වගකීම තමයි ගොවීන්ට අවශ්‍ය යටිතල පහසුකම් සපයාදීම. අවශ්‍ය පහසුකම් ලබා නොදී වගා කරන්න කියලා ගොවීන්ට කියලා පලක් නැහැ. දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ මහතා මෙම වැඩසටහන සඳහා අපිට ගොඩක් උදව් කළා යැයිද මතුගම ගුණරතන හිමියෝ කීහ.
මෙකී කඹුරු යායේ පුරන් කුඹුරු වගා කරන ගොවීන්ට නොමිලේ බීජ වී, පොහොර ලබාදෙන ලෙස කිසිවිටක් බලධාරින්ගෙන් ඉල්ලා සිටියේ නැත. පුරන් කුඹුරු වගා කරන තරුණ ගොවි මහතකු වන දර්ශන ලලිත් කොඩිතුවක්කු (42) කීවේ මෙවැනි කථාවකි.
අපි කුඩා කාලයේ දී තමයි අවසන් වරට මෙම කුඹුරු යාය වගා කළේ. වසර 30කට පමණ පසු තමයි මෙම යාය නැවත වගා කරන්නේ. ඇත්තටම අපේ විහාරස්ථානයේ විහාරාධිපති මතුගම ගුණරතන නාහිමියන් අපිට විශාල ශක්තියක්. උන්වහන්සේ මේ සිදුකරන්නේ විශාල පිංකමක්. ගමේ තරුණ පිරිස දිරිමත් කරමින් පුරන් කුඹුරු වගාකිරීමට අපිව උනන්දු කළේ උන්වහන්සේ. වලහන්දුව ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරිතුමියගේ මැදිහත් වීමෙන් ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කරලා දුන්නා. ඇත්තටම අපිට ගොඩක් සතුටුයි.
කේ.එච්. මෛත්‍රිපාල මහතා පිරිවෙන් ගුරුවරයෙකි. ඔහු කුඹුරේ සී සෑමේ කටයුතුවල නිරතවෙමින් සිටියදී අපි සමග කථාබහට වැටුණේය.
මම අක්කර 05ක් පුරන් කුඹුරු වගා කරනවා. ඇත්තටම මතුගම ගුණරතන නාහිමියන් නිසා ගමේ කෘෂි අංශයෙන් විශාල ප්‍රබෝධයක් ඇතිවෙලා තියෙනවා. කෘෂිකර්මාන්තයෙන් තොරව මේ රට දියුණු කරන්න බැහැ. රට තුළ කෘෂි විප්ලවයක් කඩිනමින් ආරම්භ කළ යුතුයි. මෛත්‍රිපාල මහතා කීවේය.
එම්.ඩී. දර්ශන තමින්ද (43) පුරන් කුඹුරු වගා කරන තරුණයෙකි.
අක්කර භාගයක් පමණ පුරන් කුඹුරු වගා කරනවා. අපේ නායක හාමුදුරුවෝ තමයි අපිව දිරිමත් කළේ. උනන්දු කළේ. මෙම කුඹුරු යාය නැවත වගා කිරීම නිසා අපේ ගම්මානය තුළ විශාල පිබිදීමක් ඇති වෙලා තියෙනවා යැයි ඔහු කීවේය.
ලලිත් චාමින්ද