ගොවියාට වුණ දේමයි ටෙලිනාට්‍ය වෘත්තිකයන්ටත් වුණේ – පූජන දන්දෙනිය

194


අපිව නළුවෝ කරවන්නේ මේ රස්තියාදුව


 සකර්ම, අඳුන්ගිරි, කලම්බෝ ටෙලිනාට්‍ය ති‍්‍රත්වය හරහා ඔහුගේ රුව මේ දිනවල දකින්න ලැබෙනවා. පැති තුනක් ඔස්සේ මේ චරිත ගලාගෙන යනවා. ඇත්තටම ඔහු ඒ වෙනස සිදුකරන්නේ කොහොමද? වැඩිය අටුවාටීකා නොමැතිව අද අපේ කථානායකයාගේ නම කෙළින්ම කියමුකො. ඔහු පූජන දන්දෙනිය.

 * පූජන දන්දෙනියව මේ දිනවල වෙනස්ම චරිත තුනකින් දකින්න ලැබෙනවා. රසික ප‍්‍රතිචාර ලැබෙන්නේ මොන ආකාරයටද?

 ඇත්තටම අඳුන්ගිරි සහ කලම්බෝ පටන්ගන්න කලින් තමයි සකර්ම පටන් ගත්තේ. සකර්ම ටෙලි නාට්‍යයට මට හිතාගන්න බැරි විදිහේ ප‍්‍රතිචාර ලැබුණා. හැමෝම වගේ කතා කළා. ඊට පස්සේ අඳුන්ගිර පටන් ගන්නවා ඒක පටන් ගනිද්දී මම පොඩි දෙගිඩියාවකින් හිටියේ. මොකද එකම බෙල්ට් එකේ පැය භාගයක වෙනසකින් පටන්ගන්න නාට්‍ය දෙකක් සහ චරිත දෙකක්. මට තිබුණ ලොකුම අභියෝගය තමයි ඒක. අපි අර කතාවට කියනවානේ එක වගේ චරිත කියලා මම හැම තිස්සේම පරිස්සම් වෙනවා ඒකට. ඒක ඇතුලේදීත් මම හිතුවේ නැති විදිහට ප‍්‍රතිචාර ලැබුණා.

 ඊට පස්සේ ලොකු පෙරළියක් වුණා කලම්බෝ තුළින්. මොකද අර නාට්‍ය දෙකෙත් තිබුණේ ග‍්‍රාමීය තරුණයකු ගේ නියෝජනයක්. කලම්බෝ එකෙත් මැද කොළඹ කේන්ද්‍රීය කරගෙන යන චරිතයක් විදිහට ඒකේ තියෙන හැසිරීම් රටා ඇතුලේ මම උපරිම උත්සාහ කළා වෙන විදිහේ ටෝන් එකක් හදාගන්න. මට ඇහිච්ච විදිහට ඒකත් අතිසාර්ථක විදිහට තියෙනවා.



 * ජූඞ් හදිසි තීරණ ගන්නා චරිතයක්. ඒ වගේම පාතාලයට සම්බන්ධ චරිතයක් කරනකොට ලෙහෙසි නැහැ.

 අපි ඔය ගොඩක් දේවල් චරිත විදිහට ගේන්නේ ජීවිතයේ අපිට හම්බවුණ ප‍්‍රැටි‍්‍රස් එකනේ. අපිට හමුවුණ දේවල්. අපි දැක්ක දේවල්. ඔය දේවල් ඇතුලේ මම එකතු කරගත්තු දේවල් ටිකක් තමයි ජූඞ්ගේ චරිතයට යොදාගත්තේ. පැහැදිලිවම මට ඕනෑ වුණා කි‍්‍රයාදාම පාතාල චරිතයක් ඉදිරිපත් කරන්න. ඒ වගේම අධ්‍යක්‍ෂවරයාගේ මඟපෙන්වීමත් වැදගත්. අනික මම හරිම ආසා කැමරා අධ්‍යක්‍ෂවරයෙක් තමයි චින්තන හේමකීර්ති කියලා කියන්නේ. චාලක රණසූරියගේ පිටපතෙත් තියෙනවා ඒ රිදම් එක.

ගොවියාට වුණ දේමයි ටෙලිනාට්‍ය වෘත්තිකයන්ටත් වුණේ - පූජන දන්දෙනිය





 * ජූඞ් ඉස්සරහට පාතාල නායකයෙක් වෙයිද?

 ඒක ඉතිං කතාව බලාගෙන යනකොට තමයි තේරෙන්නේ. කලින්ම කිව්වොත් පේ‍්‍රක්‍ෂකයාගේ රසවින්දනයට බාධාවක් කියලා මම හිතනවා.



 * චරිත තුනක පිටපත් තුනක් අතට ලැබුණු ගමන් හිතට ආපු අභියෝග මොනවාද?

 මුලින්ම මම වැඩ කළේ පි‍්‍රයන්ත ප‍්‍රනාන්දු මහත්මයාගේ සකර්ම ටෙලිනාට්‍යයේ. අධ්‍යක්‍ෂවරයා මට කිව්වේ රැුවුල කපන්න කියල. ඒ වෙනකොට මට තිබුණ ලොකුම අභියෝගය තමයි අනෙක් නාට්‍යවල චරිත එක දිගට පවත්වාගෙන යන්නේ කොහොමද කියලා. සකර්ම පිටපත කියවාගෙන යද්දී මට පොඩි ෆිල්ම් ගතියක් ආවා. කෞෂල්‍යා ප‍්‍රනාන්දු සහ උමාලි සමඟ තමයි මට තිබුණ ගොඩක් දර්ශන තිබුණේ. ඒ දෙන්නාගේ සහයෝගය මට ගොඩක් ලැබුණ පුෂ්පකුමාරව ගොඩන`ගා ගන්න.

 ඊට පස්සේ මට ලැබෙනවා  අඳුන්ගිර. ඒකෙත් ඕකම තමයි මට වෙන්නේ. මේ පවතින විදිහත් එක්ක සෙට් එකක් ඇතුලේ අපිට ගොඩක් වෙලාවට අවශ්‍ය කාලය ගන්න වෙලාවක් නැහැ. අපිට හම්බවෙන්නේ හරි ටයිඞ් ෂෙඩූල්. ඒක ඇතුලේ අපිට චරිතය හොයාගෙන යන්න හරිම අසීරුයි. මේ තියෙන වාතාවරණයත් එක්ක චරිතයක් වෙනුවෙන් ලබාදෙන්න පුළුවන් උපරිම සියයට පනහයි. මම හැම තිස්සේම වැඩක් කළාට පස්සේ ඒක අමතක කරලා දානවා. මොකද ඒකේ තියෙන චරිත ලක්‍ෂණ ඊළඟ වැඬේට ඔසවාගෙන යන්නේ නැහැ. මම හැම තිස්සේම උත්සාහ කරන්නේ මගේ හැම වැඩක්ම පළමුවැනි සහ අලූත්ම වැඩක් විදිහට කරන්න. ඒ උත්සාහය සාර්ථක වෙමින් පවතිනවා කියලා මම හිතනවා.



 * පූජන දන්දෙනිය කියන නම ඉස්මතු නොවී චරිත ඉස්මතු කරන්න මොනවගේ උපක‍්‍රමද භාවිත කළේ?

 මම කළේ ඒ චරිතයට උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කරපු එක. නමුත් මම හිතන්නේ මගේ නම නැතිව චරිතයේ නම ඉස්සෙන්නේ ඒක පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාරය සහ නරඹන්නන්ගෙන් ලැබෙන දෙයක් තමයි. මගේ මිත‍්‍රයෝ පවා කතා කරන්නේ චරිතවල නම් කියලා. හැම නළුවෙක්ම නිළියෙක්ම දරන උත්සාහය තමයි මමත් එතැනදී දරන්නේ.



 * ඇත්තටම ඔබ මේ වෙනකොට ආපු ගමන ගැන ආපසු හැරී බැලූවොත්

 ඇත්තටම හරිම සන්තෝසයි. ඒකේ ආයෙ කතා දෙකක් නැහැ. ඒ ගමන් මාර්ගයේ මට විවිධ මිනිස්සු හම්බවුණා. මම රඟපෑම අතින් ජීවිතයේ මේ වෙනකම් කිසිම සම්මානයක් අරගෙන තියෙන මනුස්සයෙක් නෙමෙයි. එතකොට සම්මාන නොමැතිව මම හැම තිස්සේම ලැබුණේ ඇගයීම් ඒවා තමයි මාව උස්සගෙන ආවේ. ඔබ වැඬේ හරියට කරනවා කියලා ඇහෙනකොට මරු.



 * නළුවෙක් වෙන්න ඕනෑ කියලා හැමෝටම තිබුණ හීනය ඒ කාලෙ ඉඳලා පූජනටත් තිබුණාද?

 ඇත්තම කිව්වොත් මම පොඩි කාලේ ඉඳලා නාට්‍ය වැඩ එක්ක හිටියා. පාසල් කාලයේ සාහිත්‍ය වැඩවල හැමදාම වගේ හිටියා. එතකොට මැදවච්චිය මෛත‍්‍රිපාල සේනානායක පාසලේදී මට සමන් පුෂ්පකුමාර කියන ගුරුවරයා මුණ ගැසෙනවා. ඔහු අනුරපුරයේ ළමා නාට්‍ය කලාව වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් කරන චරිතයක්. පුෂ්පකුමාර සර්ගේ නාට්‍ය විශාල ප‍්‍රමාණයක වැඩ කළා.



 * මැදවච්චිය ඉඳලා කොළඹ ආපු ගමනේදී මුහුණ දුන් අභියෝග මොනවාද?

 ඈත ගම්වල ඉඳලා අගනුවරට එන හැමෝම මුහුණ දෙන ඛේදවාචකයන් හැම දේකටම මමත් මුහුණ දුන්නා. ඒ කියන්නේ කට්ට කාලා ඉවරයක් වෙන්නේ නැහැ. තව පරම්පරා කීපයක් ගියත්. මොකද මේ සිස්ටම් එක හැදිලා තියෙන්නේ කට්ටම කාපල්ලා කියලා. වෙන රටවල්වල මට නළුවෙක් වෙන්න ඕනෑ නම් විශ්වවිiාල තියෙනවා ඒ සඳහා. ලංකාවේ නළුවා වෙනවාටත් වැඩිය කඩපාඩම් කරලා විශ්වවිiාල යන එකනේ තියෙන්නේ. ලංකාවේ නාට්‍ය හා රංග කලාව ඉගෙන ගත්තු විශාල පිරිසක් එළියට ගියාට ඔවුන් මේ ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රායෝගිකව නියැළෙනවා හරි අඩුයි. සිස්ටම් හැදිලා නැහැ දක්‍ෂයාව තෝරාගන්න. නළුවෙක් හරි මොකෙක් හරි වෙනවානම් එහෙම ස්ටෑන්ඩඞ් ලෙවල් එකක් නැහැ. අපිට එන්න වෙන්නේ පට්ට රස්තියාදුවක් ගහලා. ඇත්තටම අපිව නළුවෝ කරවන්නේ මේ රස්තියාදුව තමා. ඒක මට හිතෙන විදිහ.

 මේ ආපු ගමනේදී ඇත්තටම රස්සාවල් කීයක් විතර කළාද?

 ඔය රැුකියා කියන ප‍්‍රශ්නය අපිට එන්නේම උසස් පෙළ අවසන් වුණාට පස්සේනේ. මට තිබුණේ ව්‍යාපාරික පසුබිමක්. අපේ තාත්තාට කඩයක් තිබුණේ.

 තාත්තා නැතිවුණාට පස්සේ ඒක කරගෙන ආවේ අම්මා. උසස් පෙළ අවසන් වුණාට පස්සේ මම බිස්නස් කියන වැඬේට අතගැහැව්වා. ටික දවසක් යනකොට තේරුණා ඒක මට වැඩකරන වැඩක් නෙමෙයි කියලා. ඊට පස්සේ මම රක්‍ෂණ සමාගමක වැඩ කළා. ඒකෙනුත් පස්සේ මම ගමේ පුංචි හෝටලයක් පටන් ගත්තා. ඒක පොඩි රෙස්ටොරන්ට් මූඞ් එකක්. ඒකත් මම ආසම දෙයක්. එහෙම ඉන්නකොට තමයි මහරගම යොවුන් නාට්‍ය පාසලට තේරෙන්නේ. ඊට පස්සේ මම එනවා කොළඹ. අන්තිමේ මට වාසනාව පෑදෙනවා. කෞෂල්‍යා ප‍්‍රනාන්දු මුණ ගැසෙනවා. නාට්‍ය පාසලේ කාලය ඉවර වෙනවාත් එක්කම මට හම්බවෙනවා රුක්මල් නිරෝෂ්ගේ සුළඟ මත මොහොතක් කියන ටෙලි නාට්‍ය. ඒක තමයි මගේ ආරම්භය. ඒක ඉවර වුණාම අවුරුදු ගණනාවක් වැඩ හම්බවුණේ නැහැ. මේ නාට්‍යයෙන් පස්සේ මම සෝමලතා සුබසිංහ මහත්මියගේ නාට්‍ය පාසලට එනවා. ඒකෙදී මම සෑහෙන පන්නරයක් ගන්නවා රංගනය පිළිබඳව.



 * අද වෙනකොට ඔබේ වෘත්තිය රංගනය ද?

 ඇත්තටම ඒක තියෙන්නේ පොඞ්ඩක් අවිනිශ්චිත තත්ත්වයක. මම දැන් ඇත්තටම හිතමින් ඉන්නවා මොකක් හරි ව්‍යාපාර කටයුත්තක නියැළෙන්න. මොකද මේ ආර්ථිකමය තත්ත්වය හදාගන්න. මම අඳුන්වන්න කැමැති වෘත්තීය රංගන ශිල්පියෙක් විදිහට. මම දැන් අවරුදු දොළහක් විතර කිසිම රැුකියාවක් නොකර රංගනයෙන්ම තමයි වැඩකටයුතු කරන්නේ. ඒක තමයි මගේ ආදායම් මාර්ගය. ඒක තමයි මගේ ජීවන වෘත්තිය. හැබැයි මේ වෙනකොට දෙතුන් පාරක් හිතන්න වෙලා තියෙනවා ඇත්තටම ඒකට හේතුව වෙලා තියෙන්නේ ගොවියාට වෙලා තියෙන දේම තමයි රංගන ශිල්පියා ඇතුළු මේ කර්මාන්තයේ හැමෝටම වෙලා තියෙන්නේ. ලාභ ලබන්නේ අතරමැදියෝ. මම හිතන්නේ ලංකාවේ හැම ක්‍ෂේත‍්‍රයකටම වෙලා තියෙන්නේ ඕක. නාලිකා කියන්නේ කඩවල්. ඒවා විකුණුම් මධ්‍යස්ථානනේ. අපි මොනව හරි ප‍්‍රඩක්ට් එකක් හදලා එයාලාට දුන්නාට පස්සේ එයාල තමයි මිල තීරණය කරල, එයාල කැමැති ගාණකට විකුණනවා. සමහර විට ඒවා අසීමිත ලාභ.

 සුළු මුදලක් තමයි එයාලා අපිට දෙන්නේ. එතකොට ඒ සුළු මුදල අසූවකගේ විතර අතරේ බෙදිලා යන්න ඕනෑ. එහෙම බලනකොට ටෙලිනාට්‍ය වෘත්තිකයාට වෙලා තියෙන්නෙත් ගොවියාට වුණ දේම තමයි. අතරමැදියෝ තමයි ලාභ ලබන්නේ. කලාව කියන නිෂ්පාදන කි‍්‍රයාවලිය ඇතුලේ හැමෝගෙම තත්ත්වයන් වැටිලා තියෙන්නේ අනතුරුදායක මට්ටමකට. එතකොට ඒවා ඇතුලේ අනවශ්‍ය තරහ, රණ්ඩු ඇතිවෙනවා. ඒක හරි අප‍්‍රසන්නයි. නමුත් කරන්න දෙයක් නෑ. නමුත් මේ වෙනකොට ලංකාවේ කිසිම වෘත්තියක් හරියට කරන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. එතකොට මට කියන්න බෑ මම වෘත්තීය නළුවෙක් කියලා. මොකද මගේ ඔළුව ඇතුලේ වෙන වැඩ වැඩ කරනවා.


  දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment