ගෝචර බිම වසමු අනතුරු වළකා ගමු

263

බුදු දහම දක්වන්නේ තමන්ගේ ආරක්ෂාව තමන් බවයි. තමන්ගේ දියුණුව තමන් බවයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ “සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤ මඤ්ඤං විසෝධයේ” කෙනකු පිරිසිදු කිරීම වෙන අයෙකු කරන්නේ නැත. එය තමන් සතු දෙයකි. පුද්ගල නායකත්වය ආගමික දර්ශනය තුළින් සිදු වේ නම් එය බුදු දහම පමණි. බුදුරජාණන් වහන්සේ තව කෙනකුගෙන් යැපෙන ක්‍රම වේදය නොසලකයි. ඒ ඒ පුද්ගලයා ඒ ඒ පුද්ගලයාගේ නායකයා වෙයි. “ අත්ත දීපා විහරථ අත්ත සරණා අනඤ්ඤ සරණා” තමන්ට තමන් පහණක් වන්න, තමන්ගේ ආලෝකය, තමන්ගේ දියුණුව තමන් වෙයි. තමන්ට පිහිට තමන් පමණයි. අන් අයගේ පිහිටක් ලැබෙන්නේ නැත.

සංයුක්ත නිකායේ සතිපට්ඨාන සංයුක්තයේ අම්බපාලි වග්ගයේ සකුණග්ගී සූත්‍රය තුළින් මේ සඳහා අප වෙත කදිම අවවාදයක් ලබා දෙයි. රාජාලියෙකු කැට කුරුල්ලෙකු අල්ලා ගනියි. රාජාලියාට හසු වූ කැට කුරුල්ලා තමන්ටම දොස් කියා ගනියි. “ මගේ පව්කාරකම, මගේ කාලකණ්නිකම, මගේ ගොන්කම අපේ පරම්පරාවෙන් අපට උරුම වූ ගොදුරු බිමේ නො හැසිරීම නිසා මේ අනතුර ඇති වූ බවයි. එවිට රාජාලියා කැට කුරුල්ලාගේ කථාව අසා නුඹලාටත් පරම්පරාවෙන් උරුම වූ ගෝචර භූමි තිබේ දැයි ඇසී ය. කැට කුරුල්ලා ඊට පිළිතුරු දෙයි. නගුලකින් පස් පෙරලෙන තැනක් පෙන්වා එතැන තමන්ගේ පාරම්පාරික ගෝචර භූමිය බව දක්වයි. රාජාලියා මෙසේ කියයි. මේ පුංචි කුරුල්ලා මගේ ශක්තිය, ජවය, බලය පිළිබඳව නොදැන මෙසේ කියන බවයි. මේ කැට කුරුල්ලා කොතැන සිටියද අල්ලා ගත හැකි බවයි. එසේ සිතා රාජාලියා කැට කුල්ලා අතහරියි. රාජාලියා තම පරම්පරාගත ගෝචර බිමට ගොස් උජාරුවෙන් සිටියි. රාජාලියා ද තම තියුණු නෙතින් නිවැරදි ඉලක්කය ගෙන ඊ ගහක වේගයෙන් කැට කුල්ලා වෙත ලං විය. කැටකුරුල්ලා රාජාලියා ලං වෙත් ම පස් පිඩැල්ල යට සැඟවිණි. වේගයෙන් ආ රාජාලියා පස්පිඩැල්ලේ හැපී මරණයට පත් විය.

මෙයින් පැහැදිලි වන්නේ තමන්ගේ ගෝචර බිමෙහි වෙසේ නම් කිසිම ජගතෙකුගෙන් තමන්ට කරදරයක් නොවන බවයි. රාජාලියා මාරයා හා සමාන වෙයි. මිනිසා තමන් ජීවත් විය යුතු තැන ජීවත් වේ නම් ඔහුට අනතුරක් සිදු නොවෙයි. මිනිසාට තම ජීවිතයට හානියක් කළ හැක්කේ මාරයාටයි. පරම්පරාවෙන් නියම වූ අගෝචර බිමෙහි වාසය කරන විට ඔහු මාරයාට අවස්ථාවක් ලබා දෙයි. මාරයාට අරමුණක් ලබා දෙයි.

මොනවද ජීවත් වීමට නුසුදුසු අයෝග්‍ය වැරදි – අගෝචර භූමි. ඒ පඤ්ච කාම ගුණ භූමියයි. පුද්ගලයා තුළ ඉන්ද්‍රිය පහක් වෙයි. ඒ ඇස, කණ, නාසය, දිව, ශරීරය යන පහයි. පුද්ගලයා මෙම ඉන්ද්‍රිය පිනවීමට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශය යන අරමුණු ප්‍රාර්ථනය කරයි. එහි දී මේ අරමුණු කුමක් වුවත් මේ ඉන්ද්‍රිය පිනවීමට ප්‍රමාණවත් නොවෙයි. එය සතුට වඩන, අතිශය සතුට උපදවන, කැමැති, ප්‍රිය, කාමය උපදවන, ඒ අරමුණ තුළ ඇලිය හැකි අරමුණු පමණක් බාර ගනියි. මේ තුළ ඇලීම, ගැලීම ඇති වූ විට පුද්ගලයා විනාශ වෙයි. පෙර කාලයේ වඳුරන් ඇල්ලීම සඳහා ඇලෙන සුළු දියර වර්ගයක් දමයි. එය දකින වඳුරා අතකින් ඒ දියර කුමක් දැයි බලයි. එවිට අත ඇලෙයි. ඒ අත ගලවා ගන්නට අනෙක් අත උපයෝගි කර ගනියි. එවිට එම අතත් ඇලෙයි. අත් දෙක ගලවා ගැනීමට කකුල්වලින් උත්සාහ කරයි. කකුල් දෙකත් ඇලෙයි. අතපය ගළවා ගැනීමට හිසින් උත්සාහ කරයි. එවිට හිසත් ඇලෙයි. එවිට වඳුරන් අල්ලන්නා පැමිණ වඳුරා අල්ලා ගනියි. පසිදුරන් පිනවන අරමුණු මේ ඇලෙන දියර හා සමානයි. පසිදුරන් පිනවීමට උත්සාහ කරන්නා වඳුරා හා සමානයි. වඳුරන් අල්ලන්නා මාරයා හා සමානයි. පස`ිදුරන් පිනවීමට අරමුණු ලැබුණ ද, නොලැබුණ ද, පුද්ගලයාගේ සිත තුළ හටගන්නේ නරක සිතුවිලි ය. ඒ නරක සිතුවිලි නිසා උපදින ක්‍රියාකාරකම්, වචන, සිතුවිලි සියල්ල පාපී වෙයි. එවිට මාරයාට අවස්ථාවක් අරමුණක් ලබා දෙයි.

එසේනම් ජීවත් විය යුතු ගෝචර තැන තොතන ද, බුදු රජාණන් වහන්සේ එය දක්වති. ගෝචර තැන නම් සතර සතිපට්ඨානයයි. කායානුපස්සනාව, වේදනානු පස්සනාව, චිත්තානු පස්සනාව, ධම්මානු පස්සනාව තුළ ජීවත් වීම ගෝචර භූමිය වෙයි. අප තුළ දෙදෙනක් සිටියි. ඒ කය හා සිත යන දෙදෙනායි. අප කය පෝෂණය කරමින්, පිරිසිදු කරමින්, ආරක්ෂා කරමින්, ලස්සන කරමින්, අලංකාර කරමින් වෙසෙයි. සිත නන්නත්තාරේ යන්නට ඉඩ දී ඇත. මේ දෙදෙනාගේ ප්‍රබලයා සිතයි. සිත සියල්ලට මුල් වෙයි. නායක වෙයි. අප කරන, කියන සියල්ලේ උල්පත සිතයි. කය දුබලයා වෙයි. අප දුබලයාට ගරු සත්තවර සම්මාන දක්වයි. ප්‍රබලයා අතහැර සිටියි. ඒ නිසා අප අනාරක්ෂිත වෙයි. ප්‍රබලයාට ගරු සත්කාර සම්මාන දක්වන්නේ නම් ඔහු තුළින් අපගේ ආරක්ෂාව සැලසෙයි.

ප්‍රබලයාට ගරුසත්කාර සම්මාන දක්වයි නම් අප නිරායාසයෙන් ආරක්ෂිත වෙයි. කිසිම ජගතෙකුට අපව ආක්‍රමණය කළ නොහැකිය. එය අපගේ ගෝචර බිමයි. එවිට අප දුබල නොවෙයි. දුප්පත් නොවෙයි. ඕනෑම ජගතෙකු පැරද විය හැකි ය. ඒ ගෝචර බිම වසමු . අනතුරු වළකා ගමු.

ඌවේ සියම් මහා නිකයේ මහා ලේඛකාධිකාරි,
විල්ඔය පඤ්ඤාතිලක ස්ථවිර

සංස්කරණය – නිශාන්ත අමරසිංහ
pansala.dද්‍යvaද්‍යna@gmaද්‍යl.com

advertistmentadvertistment
advertistmentadvertistment