‘ගෝඨාගෝගම’ ඉදිකිරීම් 10 වැනිදා තෙක් ඉවත් කරන්නෙ නෑ

83

නීතිපතිගෙන් අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක්

නීතිමය ප්‍රතිපාදන අනුගමනය කිරීමකින් තොරව කොටුව ගාලුමුවදොර පිටියේ ‘ගෝඨාගෝගම’ අරගල භූමියේ අරගලකරුවන් රැඳී සිටින තාවකාලික ඉදිකිරීම් කිසිවක් ලබන 10 වැනිදා තෙක් ඉවත් කිරීමට පියවර නොගන්නා බවට නීතිපතිවරයා අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දුන්නේය.

පුරා මාස තුනකට අධික කාලයක් තිස්සේ තමන් රැඳී සිටින කුටි ඊයේ (5 දා) පස්වරු 5.00ට පෙර ඉවත් කරගන්නා ලෙසට කොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් නිකුත් කරන ලද වාචික හා ලිඛිත නිවේදන බල රහිත කරන ලෙස ඉල්ලා මීගහවත්තේ කාශ්‍යප හිමියන් ඇතුළු අරගල ක්‍රියාකාරීන් 4 දෙනකු විසින් ගොනුකර තිබූ රීට් ආඥා පෙත්සම් සෝභිත රාජකරුණා හා ධම්මික ගනේපොල යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා එම පොරොන්දුව ලබා දුන්නේය.

කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාගේ ලිඛිත නිවේදනය සිය සේවාදායකයන් ඇතුළු රටේ පුරවැසියන්ට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හිමිකර දී ඇති සාමකාමීව රැස්වී අදහස් දැක්වීමේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වන බැවින් එය ක්‍රියාත්මක කිරීම වළක්වන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස එකී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment