වගන්ති කීපයක් සත්ත්ව හා වෘක්ෂලතා පනතට පටහැනියි
රජය භාරයේ සිටි අලි ඇතුන් ලියාපදිංචි කිරීම සඳහා එවකට පැවැති රජය විසින් 2021.8.19 වැනිදා නිකුත් කරන ලද ගැසට්පත්‍රයේ වගන්ති කිහිපයක් වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතට පටහැනි බවට නිගමනය කළ අභියාචනාධිකරණය එම ගැසට්පත්‍රයේ සඳහන් වගන්ති යටතේ අලි ඇතුන් ලියාපදිංචි කිරීම තහනම් කරමින් ඊයේ (31 දා) නියෝගයක් නිකුත් කළේය.
පෙරකී ගැසට්පත්‍රය යටතේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු 13දෙනකුට අලි ඇතුන් නිදහස් කරමින් 2021.09.06 වැනිදා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් හා කමතේ ගෙදර තිලකරත්න නමැත්තාට අලියකු නිදහස් කරමින් 2021.09.06දා මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදී තිබූ නියෝග දෙකක් අවලංගු කිරීමට ද අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කළේය.
නීති විරෝධී ලෙස රඳවාගෙන සිටි අලි ඇතුන් 48 දෙනකු එකී නව ගැසට්පත්‍රය යටතේ ලියාපදිංචි කිරීමට ඉඩහැරීම දැඩි දෝෂ දර්ශනයට ලක් කළ සෝභිත රාජකරුණා හා ධම්මික ගනේපොළ යන විනිසුරු මඬුල්ල ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වන ලෙසට ද වනජීවී දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, පොලිස්පතිවරයා හා නීතිපතිවරයාට වැඩිදුරටත් නියෝග කළේය. පරිසර යුක්ති කේන්ද්‍රය, එහි විධායක අධ්‍යක්‍ෂ හේමන්ත විතානගේ, පතිරගොඩ කන්කානම්ගේ දිලින ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනුකර තිබූ පෙත්සම් හතරක් සලකා බැලූ අභියාචනාධිකරණය එම නියෝග කළේය.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජය ජයවර්ධන, ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.
ඒ. ජේ. ඒ. අබේනායක