ගෝඨා ගෝ කියන්න ඇවිත් රටෙනුත් ගෝ!… කෙලී ෆ්‍රෙෂර් රටින් පිටුවහල් කළ හැටි…

855

ඔබේ රටේදී ඔබට තිබෙන උද්ඝෝෂණ අයිතිය වෙනත් රටකදී ඔබට ඒ ආකාරයෙන්ම පාවිච්චි කළ හැකිද? මේ ප්‍රශ්නය නැගෙන්නේ ස්කොට්ලන්තයේ ඉපිද බ්‍රිතාන්‍ය පුරවැසි බව ලබා එරට විදේශ ගමන් බලපත්‍රයක් අතැතිව මෙරටට පැමිණ ගෝල්ෆේස් අරගලයේ ප්‍රධාන චරිතයක් බවට පත්වූ කෙලී ෆ්‍රේසර් නමැති 34 හැවිරිදි තරුණිය ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට ලක් රජය විසින් ගන්නා ලද තීරණයත් සමගය. පසුගිය දිනක ශ්‍රී ලංකාවේ ආගමන විගමන නිලධාරීන් හයදෙනකු කෙලී ෆ්රේසර් පදිංචි ස්ථානයට ගිය අතර ඇගේ ගමන් බලපත්‍රය ඉන්පසු එය දවස් හතක් සිය භාරයේ තබා ගන්නා බව ඇයට දැන්වූ ආගමන විගමන නිලධාරීහු එය රැගෙන ගියහ. ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ඇයට වීසා බලපත්‍රය ලබා ගැනීමට සහාය වූ ආයතනය ඊට දිනකට පෙර ඇයට දුරකථනයෙන් කතාකොට වහාම ශ්‍රී ලංකාවෙන් පිටව යන ලෙස ඇයට දන්වා තිබේ.

ශ්‍රී ලංකාවේ ආගමන විගමන නිලධාරීන් ඇය පිළිබඳ කල්පනාවෙන් සිටින බව එම දුරකථන ඇමතුම මගින් දන්වන ලදී. කෙලී ෆ්රේසර් ශ්‍රී ලංකාවට පැමිණියේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ වීසාවක් මතය. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ පවතින ආයුර්වේද කටු චිකිත්සා සහ දේශීය වෙදකම වැනි විකල්ප වෛද්‍ය ක්‍රමවල සහාය ලබාගෙන ලෙඩ සුවකර ගැනීම සඳහා විදේශිකයෝ ඕනෑ තරම් ශ්‍රී ලංකාවට පැමිණෙති. ආයුර්වේද ප්‍රතිකාර සඳහා පමණක් වෙන්වුණු සංචාරක හෝටල් ලංකාවේ තිබේ. රෝග සුව කිරීම සඳහා මාස තුනේ හෝ මාස හයේ පැකේජයන් එවැනි හෝටල් වලින් ලබා ගැනීමට විදේශිකයන්ට පුළුවන. ශ්‍රී ලංකාවේ ආයුර්වේද පංච කර්ම සම්බාහනය පිට රටවල ඉතා ප්‍රචලිතය. කෙලී ෆ්රේසර් ශ්‍රී ලංකාවට පැමිණෙන්නට ඇත්තේ මේ හා සමාන වීසා බලපත්‍රයකින් බව විශ්වාස කෙරේ. එහෙත් ලංකාවට පැමිණි පසු මේ 34 හැවිරිදි තරුණිය වෛද්‍ය ප්‍රතිකාර ගැනීම මෙන්ම වෙනත් සමාජමය කරුණු රැසකට සහභාගි වූ බවට වාර්තා තිබේ. උදාහරණයක් ලෙස ගෝල්ෆේස් අරගලය ගත හැකිය.

ගෝඨා ගෝ කියන්න ඇවිත් රටෙනුත් ගෝ!… කෙලී ෆ්‍රෙෂර් රටින් පිටුවහල් කළ හැටි…

ගෝල්ෆේස් අරගලයට විදේශිකයෝ සිය ගණනක් සහභාගි වූහ. ඒ සියලුම දෙනා සංචාරක වීසා සමග ලංකාවට පැමිණ සති දෙකක් හෝ තුනක් මෙරට රැඳී සිටින අතර ගෝල්ෆේස් අරගලයට සම්බන්ධ වූ අය වූහ.

පිට රටක අරගලයකට දායක වීමට ලැබීම විදේශිකයකුට විශේෂ අත්දැකීමකි. කෙලී ෆ්රේසර් ලංකාවට පැමිණ සිටියේද සීමා සහිත කාලයක වීසාවක් මගින් වුවද ඇය දිගින් දිගටම ගෝල්ෆේස් විරෝධතා බිමේ රැඳී සිටිනු දක්නා ලදී. අයගේ ප්‍රධාන වේදිකාව වූයේ සමාජ මාධ්‍යයි. ගෝල්ෆේස් අරගල භූමියේ සිදුවන දෑ සජීවීව ප්‍රචාරය කිරීමට ඇය කැප වී සිටියාය. සමහර අවස්ථාවල ඇය ගෝල්ෆේස් අරගලකරුවන්ටත් වැඩි උද්වේගයකින් සටන් පාඨ ප්‍රකාශ කර තිබිණ. අගේ ගමන් බලපත්‍රය ආගමන විගමන නිලධාරීන් විසින් අත්පත් කරගනු ලැබීමේ සිද්ධියේදී විනිවිද පදනමේ සභාපති නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු ඇය සමග එකතු වී සිටී. එහෙත් නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥ බලපත්‍රය දැනට තහනම් කරනු ලැබ ඇත. මේ නිසා නීතිඥයකු ලෙසින් ඇය පිළිබඳ සිද්ධියට මැදිහත් වීමට නාගානන්ද කොඩිතුවක්කුට බලයක් නැති අතර ඔහුට හැකි වන්නේ ඇයට හිතවත් ශ්‍රී ලාංකික පුරවැසි මිත්‍රයකු ලෙස ඇයට සහාය දීමය.

කෙලී ෆ්රේසර් මුල් වරට ලංකාවට එන්නේ 2019 දීය. ස්වකීය වීසා කාලය නිම වීමෙන් පසු ජර්මනිය බලා ගිය ඇය පසුගිය මාසයේදී වෛද්‍ය ප්‍රතිකාර වීසාවක් හරහා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණියාය. ඇයගේ මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කරනු පිණිස එන්. ජී. ඕ. දෙක තුනක් දැනටමත් ඉදිරිපත්ව සිටිති. කෙසේ වුවද වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණි විදේශික කාන්තාවක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පෙරළීමටත් ජනපති සහ අගමැති පලවා හැරීමටත් ඉදිරිපත් වීම කොතරම් දුරට නීත්‍යනුකූලද යන්න තීන්දු කිරීම ආණ්ඩුව විසින් සිදුකරනවා ඇත.

මේ ලිපිය ආරම්භයේදී අප විසින් අසන ලද ප්‍රශ්නය එනම් ඔබේ රටේදී ඔබට ඇති උද්ඝෝෂණ අයිතිය වෙනත් රටකදීත් ඔබට ඒ ආකාරයෙන්ම තිබේද යන්න වෙත නැවතත් පිවිසෙමු. ඇමරිකාව වැනි රටකදී විදේශිකයකුට යම් ප්‍රමාණයකට උද්ඝෝෂණ අයිතිය ඇත. එහෙත් එම උද්ඝෝෂකයා සිවිල් සමාජයටත් රාජ්‍යටත් හානි වන පරිදි පිස්සු කෙළින්නට පටන් ගත්තොත් ඔහු කනින් අල්ලා පිටුවහල් කිරීමට ඇමරිකන් ආණ්ඩුව කටයුතු කරනවා ඇත. විශේෂයෙන් ත්‍රස්තවාදී කණ්ඩායම්වල සහයෝගය සඳහා කටයුතු කරමින් ඇමරිකන් රජයේ ත්‍රස්ත නාශක ප්‍රතිපත්තිවලට එරෙහිව කටයුතු කරන උද්ඝෝෂකයන් වහාම රටින් නෙරපීමට ඇමරිකන් රජය සූදානම්ය. ඉන්දියාවේ තත්ත්වය මීටත් වඩා දැඩිය. මීට මාස කිහිපයකට පෙර විදේශිකයන්ට ඉන්දියාවේ පුරවැසිභාවය ලබා දීම දැඩි සේ සීමා කරන පනත් සංශෝධනයක් සිදුවිය. එම සංශෝධනයට එරෙහිව යුරෝපීය තරුණ තරුණියන් විශාල පිරිසක් ඉන්දියාවේ වීදි දිගේ යමින් ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවල නිරත වූහ. ඔවුන් වහාම ඉන්දියාවෙන් පිටව යා යුතු බව නිවේදනය කළ ඉන්දියානු රජය ඔවුන්ගේ වීසා බලපත්‍ර අවලංගු කළහ.

ගෝඨා ගෝ කියන්න ඇවිත් රටෙනුත් ගෝ!… කෙලී ෆ්‍රෙෂර් රටින් පිටුවහල් කළ හැටි…

කල්කටාවේ ජවාද්පූර් විශ්වවිද්‍යාලයේ උගත් පෝලන්ත ජාතික ශිෂ්‍යයකු වූ කමිල් සියෙඩ්සින්ස්කි ඉකුත් මාර්තුවේදී පුරවැසිභාවය සීමා කිරීමේ පනතට එරෙහි රැලියකට සහභාගි විය. වහාම ඔහු රටින් පලවාහැරීමට ඉන්දියන් ආණ්ඩුව පියවර ගත්තේය. ඊට දින කිහිපයකට පෙර විශ්ව භාරතී විශ්වවිද්‍යාලයේ ශාන්ති නිකේතන පීඨයේ උගත් බංගලාදේශ ජාතික ශිෂ්‍යාවක වූ අෆ්සාරා අනිකා මීම් නමැති තරුණිය ද රාජ්‍ය විරෝධී පෙළපාලිවලට සම්බන්ධ වීමේ වරදට ඉන්දියාවෙන් පිටුවහල් කරන ලදී. ඇත්තටම ඇය පෙළපාලි වලට ගොස් තිබුණේ නැත. එහෙත් පෙරකී පනතට විරුද්ධව පැවති පෙළපාලිවල ඡායාරූප කිහිපයක් ඇය විසින් සමාජ මාධ්‍යවලට මුදාහැර තිබිණි. මේ ආකාරයේම කටයුතුවල නිරත වූ ජර්මන් ජාතිකයකු සහ නෝර්වීජියානු සංචාරකයෙක් ඉකුත් දෙසැම්බර් මාසයේදී ඉන්දියාවෙන් නෙරපා හරින ලදී.

සිංගප්පූරු පුරවැසියන්ට උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරත වීමට අයිතිය ඇති නමුත් එම අයිතිය 100% ක්ම එම රට තුළදී විදේශිකයන්ට නැත. එහෙත් සිංගප්පූරු රජයේ හෝ රාජ්‍ය නිලධරයකුගේ ක්‍රියා කලාපය නිසා තමන්ට අසාධාරණයක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන් විරෝධතාවක නිරත වීමේ සීමා සහිත අයිතිය සිංගප්පූරුවේ සිටින විදේශිකයන්ට හෝ විදේශික සංචාරකයන්ට තිබේ. මේ අයිතිය ඇතැම් අරාබි රටවල කිසිසේත්ම නැත. කිම් ජොන්ග් උන් ජනාධිපතිකම දරන උතුරු කොරියාවේ සිටින විදේශිකයකු රජයට විරුද්ධව උද්ඝෝෂණයක නිරත වුණොත් ඔහුට කෙළින්ම සිදුවන්නේ මැරුම් කෑමටය. ඔහුගේ සිරුර ආපසු මව් රටටවත් එවනු නොලැබේ. රාජ්‍ය විරෝධී පෙළපාලිවලට සහභාගි වන විදේශිකයන් සම්බන්ධයෙන් චීනයද දැඩි සේ ක්‍රියාත්මක වෙයි. එහෙත් එංගලන්තය, ජර්මනිය යන රටවල් මේ සම්බන්ධයෙන් ඉතා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරති.

අනුර සොලමන්ස්

advertistmentadvertistment
advertistmentadvertistment