ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය කිසියම් ආකාරයකින් පරිහානියට පත්ව තිබෙන බව අපට පෙනේ. බෙහෙත් ගැනීමට සල්ලි නැති නිසා රෝහල්වල ක්‍රියාකාරීත්වයේ අඩුපාඩු ඇත. එසේම දොස්තරලාත්, නර්ස්ලාත්, සුළු සේවකයනුත් මාරුවෙන් මාරුවට වර්ජනය කිරීම නිසා එය තවදුරටත් පිරිහී ඇත. කොළඹ මහ රෝහලේ සේවකයන් කුඩු ගහන බව වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන පසුගියදා පැවසීය. එහි ප්‍රතිඵලයක් වශයෙන් රෝහලේ සුළු සේවකයෝ රුක්‍ෂාන් බෙල්ලනගේ අඬු කැඩීමට සූදානම් වූහ. වෛද්‍ය බෙල්ලන බේරා ගැනීමට හැකි වූයේ පොලිසියෙන් පැමිණ ඔහු රෙද්දකින් වසා ජීප් රියකට නංවාගෙන ගෙන යෑමෙන් පසුව ය. කොළඹ මහ රෝහලේ සුළු සේවකයන් කොහොම කිව්වත් එය කුඩු විමානයකි. පගා ගුහාවකි. රෝගියකුට රෝද පුටුවක් ලබා ගැනීම සඳහා ඇතැම් විටෙක මුදල් ගෙවීමට සිදු වේ. රෝගියකු ගිලන් ඇඳක පටවාගෙන යෑම සඳහා ඇතැම් විට ජරාව දීමට සිදුවේ. කොළඹ ජාතික රෝහලේ ජරාව නොකන්නේ දොස්තරලා සහ හෙද කාර්ය මණ්ඩලය පමණි. අනෙක් අයගෙන් වැඩි දෙනා මැරෙන්නට ඉන්න ලෙඩුන් තවදුරටත් මරා ගාන කපා ගන්නා ‘හිකනලෝ’ වෙති. කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායිකාවකගේ කබඩ් එකක තිබී ගල් බෝතල් 7 ක් හමුවීමේ සිද්ධිය මේ වන විට උසාවි පොලිසි මට්ටමට ගොස් තිබේ. ඇය රෝහල තුළට ගල් අරක්කු ගෙනැවිත් ඇත්තේ වෙළෙඳාම පිණිසම බව අප විශ්වාස කරමු. ගල් අරක්කු යනු සේලයින් වර්ගයක් නොවේ.
රිය අනතුරකට ලක්ව බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තම සැමියාව බැලීමට පැමිණි කාන්තාවකට අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඊසීජී පරීක්‍ෂණාගාරයතුළදී අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි කන්තුරේඛන ශිල්පියකු හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී හඳුනාගැනීමට හැකිව තිබේ. රෝහලේ ඊසීජී කාමරය තුළ තත්ත්වය මෙය නම් එක්ස්රේ කාමරය තුළ ගණිකා නිවාසයක් පවා පවත්වාගෙන යෑමට ඉඩ තිබේ. මේවා රෝහල්වල වැරදි නොව ඒවායේ සිටින සේවකයන්ගේ වරදය. රෝහලකට සේවකයකු අනුයුක්ත කර ගැනීමේදී ඒ මිනිහාට චර්යාත්මක පුහුණුවක් දෙනවාද යන්න ගැන අපි නොදනිමු. නැත්නම් රිය අනතුරකින් තුවාල ලබා මැරෙන්නට පණ අදිමින් සිටින මිනිහෙකුගේ බිරිඳ දූෂණය කරන්නට කාටවත් හිතෙන්නේ නැත. මෙබඳු ස්ත්‍රී දූෂක කාලකණ්ණීන්ට දිය හැකි දඬුවම් මොනවාද? ස්ත්‍රී දූෂකයන්ටත් කුඩු කාරයන්ටත් මිනීමරුවන්ටත් මරණ දණ්ඩනය දිය යුතු බව පොලිස් ඇමැති ටිරාන් අලස් පසුගියදා ප්‍රකාශ කළේය. ඔහුගේ තීන්දුව ක්‍රියාත්මක කරන්නේ නම් මුලින්ම එල්ලිය යුත්තේ ස්ත්‍රී දූෂකයන් බව අප යෝජනා කරමු. දුවලා දූෂණය කරන තාත්තලා ද, ආච්චී දූෂණය කරන මුණුපුරන් ද, නැඟණියන් දූෂණය කරන අයියලා ද, මිණිපිරියන් දූෂණය කරන සීයලා ද ගැන අපට විටින් විට අසන්නට ලැබේ. ස්ත්‍රී දූෂණය යනු ලෝකයේ සෑම කල්හීම තිබුණු සමාජ ව්‍යසනයකි. අද වන විට ජනගහන වර්ධනය සහ විවෘත මතවාද නිසා ස්ත්‍රී දූෂණ ක්‍රියාවලිය පුපුරා යෑමට ආසන්න තරම් විශාල වී ඇත. මේ ආයුධය මැඬපැවැත්වීමට නම් ස්ථිර වශයෙන් ම ආයුධය පරිහරණය කරන්නා එල්ලා මැරිය යුතුම ය. විශේෂයෙන් ම විත්තිකරු ඔහුගේ ආයුධයෙන් ම එල්ලිය හැකි නම් වඩා යෝග්‍ය ය. අප යෝජනා කරන මේ දේවල් ක්‍රියාත්මක කළ හැක්කේ ගෝත්‍රික සමාජ තුළ පමණි. එක් අතකින් අප ජීවත්වන මේ අති නවීන අති දියුණු සමාජයට වඩා ගෝත්‍රික සමාජය උසස් ය. යහපත් ය.
නැවත වතාවක් අපි ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දෙසට හැරෙමු. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පහසුකම් රජය විසින් දෙනු ලබන්නේ නොමිලයේ ය. එහෙත් ඉස්පිරිතාලයක ඇඳක් ගැනීමට නම් දොස්තරව පිටතදී චැනල් කළ යුතුමය. මේ වන විට ඇතැම් දොස්තරකුගේ චැනල් ගාස්තුව රුපියල් 4500 කි.
එවැනි චැනල් දොස්තරලා මාසයකට රුපියල් පනස්ලක්‍ෂයක් පමණ උපදවන නමුත් ඒ පිළිබඳ කිසිදු ඉරිසියාවක් අප තුළ නැති බව සහසුද්දෙන්ම සඳහන් කරමු. ඊළඟට රෝහලට ගිය විට සුළු සේවකයන්ට පගා දීමට සිදුවේ. බොහෝ විට රෝහල් තුළ ඇත්තේ දොස්තරත් ඇඳත් සේලයිනුත් පමණි. බෙහෙත් වර්ග වැඩි හරියක් පිටතින් ගෙන ඒමට සිදුවන අතර එම බෙහෙත් බී සනීප වනවාට වඩා මිය යෑම වඩා සුදුසු බව අපගේ හැඟීමය.