ගෝලීය ආර්ථික අස්ථාවරත්වයේ අහිතකර ප්‍රතිවිපාක දරාගන්න බෑ

80
  • ජනපති රනිල් පිලිපීනයේ පැවැති ආසියානු සංවර්ධන බැංකු සැසියේදී කියයි

කොවිඩ් වසංගතය මෙන්ම යුක්‍රේන යුද්ධය හේතුවෙන් නිර්මාණය කරන ලද ගෝලීය ආර්ථික අස්ථාවරත්වයේ අහිතකර ප්‍රතිවිපාක වන ආහාර, ඉන්ධන සහ පොහොර මිල අධික ලෙස ඉහළ නැඟීම දරාගත නොහැකි තත්ත්වයක් නිර්මාණය කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

ගෝලීය දේශපාලන ප්‍රවණතා එම ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍රකර ඇති බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පිලිපීනයේ, මැනිලා නුවර ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ දී ඉකුත් 29 දා පෙරවරුවේ පැවැත්වුණු ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ 55 වැනි වාර්ෂික රැස්වීමේ ප්‍රධාන සැසිය අමතමිනි.

එහි මුලසුන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හොබවනු ලැබීය.

ගෝලීය ආර්ථික අස්ථාවරත්වයේ අහිතකර ප්‍රතිවිපාක දරාගන්න බෑ

පිලිපීන ජනාධිපති ෆර්ඩිනෑන්ඩ් ආර්. මාකෝස් (කණිෂ්ඨ) සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම රැස්වීමට සාමාජික රටවල මහ බැංකු අධිපතිවරු එක්ව සිටියහ.

ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ 55 වැනි වාර්ෂික රැස්වීම සැප්තැම්බර් 26 වැනිදා ආසියානු සංවර්ධන බැංකු මුලස්ථානයේ දී ආරම්භ කෙරුණු අතර එය 30 වැනිදා දක්වා පැවැත්විණි.

තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

“ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිවරුන්ගේ 55 වැනි වාර්ෂික රැස්වීමේ සභාපතිවරයා ලෙස අද ඔබ ඇමතීමට ලැබීම මගේ භාග්‍යයක්. අද ආසියානු සංවර්ධන බැංකුවෙහි සාමාජික රටවල්, වසර තුනකට පසු ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිවරුන්ගේ වාර්ෂික රැස්වීමේ දෙවන අදියර සඳහා මෙම ක්‍රියාශීලී නගරය වන මැනිලාහිදී රැස්වී සිටිනවා.

පළමුවෙන්ම, මෙම ගෞරවනීය උත්සවය සංවිධානය කිරීම පිළිබඳව ආසියානු සංවර්ධන බැංකුවට සහ පිලිපීන රජයට මගේ අවංක කෘතඥතාව පළ කරනවා. ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී සිටින පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක් මධ්‍යයේ, වාර්ෂික රැස්වීමේ දෙවැනි අදියර කොළඹදී පැවැත්වීමේ අවස්ථාව අපට මඟහැරී ගියා.

කෙසේ වෙතත්, නුදුරු අනාගතයේ දී ඔබ සැම කොළඹදී පිළිගැනීමට අපි නොඉවසිල්ලෙන් බලා සිටිනවා. ආසියානු සංවර්ධන බැංකුව ඉතා ධනාත්මක බලපෑමක් ඇති කර ඇති අතර, එය මුළු කලාපයටම ගැඹුරින් දැනෙනවා. 2021 දී ආසියානු සංවර්ධන බැංකුව සාමාජික රටවලට ඩොලර් බිලියන 22.8 ක් ලබා දී ඇති අතර තවත් අනෙකුත් ප්‍රභවයන් සමඟ හවුල්කාරීත්වය හරහා සම-මූල්‍යකරණය සඳහා අතිරේක ඩොලර් බිලියන 12.9ක් ලබාදී තිබෙනවා.

ආසියානු සංවර්ධන බැංකුවෙහි “උපාය මාර්ගය 2030” මගින් දේශගුණික විපර්යාස සහ ස්වාභාවික විපත්, ආහාර සහ බලශක්ති අනාරක්ෂිත භාවය ඇතුළු ගෝලීය අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමට උත්සාහ දරන අතරම ඩිජිටල් ආර්ථිකයේ අවස්ථා වැළඳ ගැනීම, තිරසාර බලශක්තිය සහ අධ්‍යාපනය සහ සෞඛ්‍ය ආරක්ෂණය සඳහා තාක්ෂණය උපයෝගී කර ගැනීමට උත්තේජනය කරයි. මේ අනුව, ආසියා සහ පැසිෆික් කලාපය පුරා සිටින ජනතාවගේ ජීවිත සහ ජීවනෝපායන් වැඩිදියුණු කරන ප්‍රතිපත්ති හැඩගැස්වීමට සහ මූල්‍යකරණයට උපකාර කිරීමේදී ආසියානු සංවර්ධන බැංකුවට තීරණාත්මක කාර්යභාරයක් ඇත.

කොවිඩ් වසංගතය සේම යුක්‍රේන යුද්ධය හේතුවෙන් ගෝලීය භාණ්ඩ ප්‍රධාන වශයෙන් ආහාර, ඉන්ධන සහ පොහොර මිල අහස උසට නැඟීම දරාගත නොහැකි තත්ත්වයක් නිර්මාණය කළේය. ඉහළ ගිය ආහාර සහ බලශක්ති මිල ගණන් මධ්‍යම පන්තියේ වර්ධනය හැකිලීමට තුඩුදෙන අතර ඉන්දියන් සාගර කලාපයේ අවදානමට ලක්විය හැකි ප්‍රජාව අතර තවදුරටත් අනාරක්ෂිත භාවයට හේතු වී තිබෙනවා.‘

මෙම කම්පනවල ප්‍රතිඵලයක් වශයෙන්, නැගී එන වෙළෙඳපොල හරහා ස්වෛරී ණය බරතාවයෙහි ඉහළ යෑමක් සිදුවී ඇත. නැගෙනහිර ආසියාවේ සහ දකුණු ආසියාවේ වර්ධන ඉලක්ක පහළට වැටී තිබෙනවා. මෙය වහා විසඳා නොගතහොත්, එය සියලු ආර්ථිකයන් හරහා වර්ධනයට සහ මූල්‍ය ස්ථාවරත්වයට තර්ජනයක් වන ණය බරතාව තවදුරටත් වර්ධනය කිරීමේ අවදානමක් ඇති කරනවා.

ශ්‍රී ලංකාව ඇතුළුව පෙර පැවති ආර්ථික අවධානම් සහිත රටවල් වඩාත් බලපෑමට ලක්ව තිබෙනවා. එබැවින්, කලාපය පුරා සහ ඇත්ත වශයෙන්ම ලෝකය පුරා ආර්ථික හා මූල්‍ය ස්ථාවරත්වය සහතික කිරීම සඳහා ණය හිමියන් සහ ණයගැති ජාතීන් සමානාත්මතාවයෙන් සාමූහිකව කටයුතු කළ යුතුයි.

ගෝලීය වේදිකාවේ වර්ධනය ශ්‍රී ලංකාවේ ස්වයං – ප්‍රේරක ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍රකර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩු වෙනසක් ඇති කිරීමට තුඩුදුන් දේශපාලන පිපිරීමක්ද සිදුවුණා. අද අපි ආර්ථිකය ස්ථාවර කර ඇති අතර බොහෝ රටවල් සහ පාර්ශ්වකරුවන් මෙම අර්බුදය විසඳා ගන්නේ කෙසේද යන්න දැඩි ලෙස නිරීක්ෂණය කරනවා. මෙම අර්බුදය විසඳීම සඳහා අප සියලු පාර්ශ්වකරුවන් සමඟ කටයුතු කරන්නේ කෙසේදැයි බැලීමට බොහෝ ජාතීන් ශ්‍රී ලංකාවේ වර්ධනයන් දැඩි උනන්දුවකින් නිරීක්ෂණය කරනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ විකාශනයට දේශීය ප්‍රතිපත්තිමය අංග මෙන්ම බාහිර අර්බුදකාරී තත්ත්වයන්ද ඇතුළත් බව අපි හොඳින් දන්නවා. ඒ කියන්නේ, අර්බුදය විසඳීම සඳහා දේශීය උත්සාහයන් සහ බාහිර හවුල්කරුවන්ගේ සහයෝගය ද අවශ්‍ය බවයි.

සහයෝගිතා සහ සද්භාවයෙන් ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ස්වෛරී ණය ප්‍රශ්න සඳහා තිරසර සහ සාධාරණ විසඳුම් ලබාගත හැකි ආකාරය පිළිබඳ ආදර්ශයක් තැබීම ශ්‍රී ලංකාවේ සහ අපගේ ණය හිමියන්, හවුල්කරුවන් වෙත පැවරී තිබෙනවා.

මේ සඳහා අප දැනටමත් ප්‍රධාන සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ දියත් කර තිබෙනවා. විස්තීරණ අරමුදල් පහසුකම මගින් අනුග්‍රහය දක්වන සිව් අවුරුදු වැඩසටහනක් සඳහා අප දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළැඹ ඇති බව ඔබට මම සතුටින් දන්වා සිටීමට කැමැතියි. මෙම වැඩසටහන පෙළගැසී තිබෙන්නේ, ආණ්ඩුවේ කැපවීම සමඟ අපගේ රාජ්‍ය මූල්‍යවල තිරසර භාවය යථා තත්ත්වයට පත් කිරීමට, බාහිර අසමතුලිතතා ආමන්ත්‍රණය කිරීමට විස්තීර්ණ ප්‍රතිසංස්කරණ පැකේජයක් ක්‍රියාවට නැංවීමටයි.

ප්‍රධාන ආර්ථික හා පාරිසරික ගැටලු විසඳීම අවාසනාවන්ත ලෙස ගෝලීය භූ දේශපාලන අර්බුදය සමඟ බැඳී තිබෙනවා. කියමනක් තිබෙනවා අලි රණ්ඩු වන විට තැළෙන්නේ තණකොළ කියලා. මෙය අපේ සාමාජික රටවල් බොහොමයක ඇති අර්බුදකාරී තත්ත්වයයි. එබැවින්, අපගේ පැවැත්මට ඇති ප්‍රධාන තර්ජන ආමන්ත්‍රණය කිරීම සඳහා භූ දේශපාලන එදිරිවාදිකම් ජයගත යුතුයි. එසේ නොවුවහොත්, පළමු ලෝක සංග්‍රාමයෙන් පසු යුරෝපය වූවා සේ අපගේ කලාපයත් අස්ථාවර වී අසාර්ථක වනු ඇත. අනෙක් අතට, මෙම අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට අපට ඇති හැකියාව, අපගේ සාමාජික රටවල ආර්ථිකයේ වර්ධනය සහ අපගේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ කැපී පෙනෙන දායකත්වයක් සපයනු ඇත.

මගේ කතාව අවසන් කිරීමට පෙර, ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික රැස්වීම සංවිධානය කිරීමේදී ඉහළ ආගන්තුක සත්කාරයක් පිරිනැමීම වෙනුවෙන් පිලිපීනයේ ජනාධිපති මාකෝස් සහ එරට ජනතාවට මාගේ අවංක කෘතඥතාව පළකරමි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ෂොබිනි ගුණසේකර යන මහත්ම මහත්මීහු සහ ශ්‍රී ලංකා දූත පිරිස මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ 55 වන වාර්ෂික රැස්වීමට සහභාගී වී සිටින සාමාජික රටවල මහ බැංකු අධිපතිවරු වෙනුවෙන් පිලිපීන ජනාධිපති ෆර්ඩිනෑන්ඩ් ආර්. මාකෝස් (කණිෂ්ඨ) මහතා විසින් පිරිනැමූ දිවා භෝජන සංග්‍රහයටද විශේෂ ආරාධිතයකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්විය.

advertistmentadvertistment
advertistmentadvertistment