ගෝලීය උණුසුම ගැන කියන චිත්‍ර ප්‍රදර්ශනය 16 වැනිදා

46

බන්ධනාගාර රැඳවියන්ගේ දරුවන් අධ්‍යාපනය ලබන බන්ධනාගාර පෙර පාසලේ අධ්‍යාපන සංවර්ධනය ඉහළ නංවාලීමේ අරමුණින් තමා නිර්මාණය කරන ලද දිය සායම් චිත්‍ර (පේන්ටින් ඩ්‍රෝවින්) අලෙවි කර ඉන් ලැබෙන ආදායම ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට චිත්‍ර ශිල්පීනී සංතෝෂිනී ද සොයිසා මහත්මිය උත්සාහයක නිරතවෙමින් සිටී.

ගෝලීය උණුසුම ගැන කියන චිත්‍ර ප්‍රදර්ශනය 16 වැනිදා

ඇය විසින් නිර්මාණය කරන ලද චිත්‍ර දාහතරක් අලෙවිය සඳහා ඇය කටයුතු කරන අතර ඇයගේ ප්‍රථම චිත්‍ර ප්‍රදර්ශනය ද මෙය වේ. මෙම චිත්‍ර ප්‍රදර්ශනය මාර්තු මස 16 වැනිදා සවස 4.30 සිට රාත්‍රී 8.00 දක්වා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී පැවැත්වෙන බව පසුගිය සඳුදා ඇය මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවාය. මෙම ප්‍රදර්ශනයට සමගාමීව ඇය විසින් රචනා කළ ‘MY THOUGHTS’ ග්‍රන්ථය ප්‍රදර්ශනය සහ අලෙවියට ඉදිරිපත් කරන අතර එය පිටු 115 කින් පමණ සමන්විත වේ. මෙම ග්‍රන්ථයේ පේන්ටින් සහ එම පිටුවට අදාළ කෙටි වැකි සටහන් (ඉංග්‍රීසි භාෂාවෙන්) යොදා ඇතැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

චිත්‍ර ගුරුවරයෙකුගේ ආභාසයකින් තොරව සිය පාසලෙන් ලබාගත් දැනුම සහ සහජ හැකියාව තුළින් තමා චිත්‍ර ශිල්පයට යොමු වූ බවද ඇය කීවාය. නිර්මාණය කරන ලද චිත්‍ර අතර පරිසර දූෂණය, පරිසරය සංරක්ෂණය, ගෝලීය උෂ්ණත්වය ඇතුළු ස්වභාවික පරිසරය ආරක්ෂා කරගැනීමේ වැදගත්කම රටට කියාදෙමින් ඇය සිය නිර්මාණ ඉදිරිපත් කර තිබේ. තම හැකියාවන් හා කුසලතාවයන් තුළින් ඉදිරියටත් සිය නිර්මාණයන් සිදුකර සමාජ සත්කාරය සඳහා එය උපයෝගී කර ගැනීමට කටයුතු කරන බවද ඇය වැඩිදුරටත් පැවැසුවාය.

advertistmentadvertistment
advertistmentadvertistment