ගෝලීය උණුසුම හා මිහිතලයේ අනාගතය

100

මැද පෙරදිග රටවල් යනු කාන්තාර දේශගුණයක් පවතින කලාපයකි. මෙම කලාපයට හිම වැටීම තබා වර්ෂාව යනු ද අතිශය දුර්ලභ සිද්ධියකි. එහෙත් පසුගිය දිනක මැදපෙරදිග කලාපයට අයත් රටවල් කිහිපයකටම හිම පතනයක් සිදුව තිබුණි. එලෙසම ලොව විශාලතම කාන්තාරය වන සහරාවට මහ වැසි ඇද හැලෙද්දී ඇමෙසන් නදියේ ඇතැම් ස්ථාන සිඳී ගොස් ඇති අයුරු පසුගිය දිනවල වාර්තා විය. ලොව හුරුපුරුදු දේශගුණික රටාවන් වෙනස් වෙමින් පවතී. මෙය මානව මෙන්ම සමස්ත මිහිතලයේ අනාගතයට බලපාන්නකි. දිනෙන් දින සිදු වෙමින් පවතින දේශගුණික හා කාලගුණික විපර්යාසයන්ට මූලික හේතුව දිනෙන් දින ඉහළ යන ගෝලීය උණුසුමයි. කලක් ගෝලීය උණුසුම ඉහළ යෑම හැඳින්වූයේ දුරස්ථ කාරණයක් ලෙසිනි. එහෙත් අද වන විට එය වහා විසඳුම් සෙවිය යුතු බරපතළ ව්‍යසනකාරී කරුණක් ව ඇත.

ගෝලීය උණුසුම යනු කුමක්ද?

පෘතුවියේ උණුසුම දිනෙන් දින ඉහළ යමින් පවතී. මීට දශක ගණනට පෙර ඇති වූ කාර්මික විප්ලවයේ සිට ලොව සිදු වූ විවිධ වූ ක්‍රියාදාමයන් මෙලෙස ගොලීය උණුසුම ඉහළ යෑම කෙරෙහි බලපා තිබේ. කාර්මික විප්ලවයත් සමග පොසිල ඉන්ධන දහනය වඩා සක්‍රීයව හා වැඩි වශයෙන් සිදු විය. එමෙන්ම දිනෙන් දින ඉහළ ගිය බලශක්ති ඉල්ලුම සැපයීම උදෙසා ද විවිධ වූ බලශක්ති උත්පාදන ක්‍රම ක්‍රියාවට නැංවිණි. ලොව සියලු අංශවල සිදු වූ ශීඝ්‍ර දියුණුවත් සමග වායු ගෝලයේ උෂ්ණත්වය ඉහළ යා හැකි එයට වඩා වැඩි දායකත්වයක් සපයන ක්‍රියා සිදු විය. මෙහි ප්‍රථිඵලයක් ලෙස සෙල්සියස් අංශක එකකින් නැතිනම් ෆැරන්හට් අංශක දෙකකින් ගෝලීය උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැව් ඒ පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන විද්‍යාඥයන්ගේ අදහසයි. මේ අංශක ගණන නොවැදගත් ලෙස පෙනෙනු ඇත. එහෙත් ගෙවුනු 2023 වර්ෂය ලොව උණුසුම්ම වර්ෂය ලෙස හැඳින්විණි. ගෙවුනු දශකය තුළ නිමාවූ සෑම වසරක් අවසානයේම කියැවුණේ එය ලොව උණුසුම්ම වසර වූ බවයි. ඒ අනුව ගෙවුණු දශකය ලොව උණුසුම්ම දශකයයි.

ගොලීය උෂ්ණත්වය ඉහළ යෑම මීට වසර මිලියන 485 ක් තරම් දුරාතීතයේද සිදුව තිබේ. එහෙත් එය මේ තරම් ශීඝ්‍රව සිදුව නැත. එහෙත් ඒ සෑම අවස්ථාවකම මිහිතලයට ව්‍යසනකාරී කාලගුණයන්ට මෙන්ම මහා වඳවීම්වලට මුහුණ දීමටද සිදුව තිබීම විශේෂිත කාරණයකි. අද වන විට ඉතිහාසයේ නොවූ විරූ තරම් උණුසුම ඉහළ යමින් පවතී. ගෝලීය උණුසුම හා කාලගුණික විපර්යාස යනු පර්යාය පද දෙකක් වන තරම අද වනවිට සමීපව තිබේ. දිනෙන් දින ඉහළ යන ගෝලීය උණුසුම නිසා සිදුවන දේශගුණික විපර්යාස හේතුවෙන් උණුසුම වැඩිවීම, නිරන්තරව සිදුවන ස්වභාවික විපත්, වනජීවී වාසස්ථාන මාරුවීම, මුහුදු මට්ටම ඉහළ යෑම, අද සුලබව සිදුවෙමින් තිබේ. මෙලෙස ගොලීය උණුසුම ඉහළ යෑම සඳහා කාබන්ඩයොක්සයිඩ් හා මීතෙන් වායු විමෝචනය දැඩි ලෙස බලපා තිබේ.

පොසිල ඉන්ධන දහනයත් සමග ඉන් පිටවන වායු නිසා පිටත වායු ගෝලයේ රසායනික සංයුතිය ඉන් වෙනස් වේ. ඒ හරහා සූර්ය කිරණ පෘතුවියට පැමිණේ. ඉන් පසුව නිපදවෙන තාපය යළි අභ්‍යවකාශයට මුදාහැරීමට බාධා වීම මෙම රසායනික වෙනසත් සමග සිදු වේ. මේ නිසා සිදු වන්නේ හරිතාගාරයක් මෙන් පෘතුවියේ උෂ්ණත්වය ඉහළ යෑමයි. මෙය හරිතාගාර අචරණය වේ. කාබන්ඩයොක්සයිඩ් වඩා සුලබ හරිතාගාර වායුව වේ. සියයට හැත්තෑපහක්ම දේශගුණික විපර්යාස සඳහා බලපෑම් එල්ල කරනු ලබන්නේ මෙම වායුවයි. ඉන්ධන, ගෑස්, ගල් අඟුරු නිෂ්පාදනයේදී මෙන්ම ඒවා දහනයේ දීද උත්පාදනය වේ. එමෙන්ම දැව හා වාගවන් හෝ වෙනත් ඕනෑම කාර්යයක් උදෙසා සිදු කෙරන දැව හෙලීම් හා වානාන්තර හෙළි කිරීම් හී ප්‍රතිඵලයක් ලෙසද කාබන්ඩයොක්සයිඩ් වාතයට එක් වීම සිදු වෙයි.

මීළඟ හරිතාගාර වායුව වන්නේ මීතේන්ය. මීතේන් වායුගෝලය විමෝචනය වන්නේ සියයට දහසයක් පමණ අඩු අගයක් වුවද එය කාබන්ඩයොක්සයිඩ් සමග සැසඳූ විට සියයට විසිපහක් පමණ ප්‍රබල වායුවකි. පශු සම්පත්, තෙල් හා ගෑස් නිශ්පාදන ක්‍රියාවලියන් හරහා මීතෙන් වායුව නිෂ්පාදනය වේ. මෙම වායුව ශීඝ්‍ර වේගයෙන් පැතිර යයි. මෙම වායුවට ගෝලීය උණුසුම වේගයෙන් ඉහළ දැමීමේ හැකියවක් තිබේ. මේ නිසා මීතේන් වායුව පාලනය කිරීමට පියවර ගැනීම හරහා ගෝලීය උණුසුම ඉහළ යෑම පාලනය කිරීමට හා යම් ප්‍රමාණයකට එය සීමා කිරීමට ද අවස්ථාව තිබේ.

ගෝලීය උණුසුම හා මිහිතලයේ අනාගතය

ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමේ බලපෑම් මොනවාද?

ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම හමුවේ වැඩි වශයෙන්ම බලපෑමට ලක්ව ඇත්තේ ධ්‍රැවීය ප්‍රදේශ හා කඳු මත ඇති ග්ලැසියරයන්ය. මිහිතලයේ ඇති ප්‍රදේශවලින් වැඩිම වේගයකින් උණුසුම් වෙමින් පවතින්නේ ආක්ටික් ප්‍රදේශයි. මේ නිසා ආක්ටික් ප්‍රදේශවල ඇති අයිස් පරිසර පද්ධතිය දිය වෙමින් විනාශ වෙමින් පවතී. එමෙන්ම ජෙට් ප්‍රවාහය ලෙසින් හැඳින්වෙන සාමාන්‍යයෙන් පෘතුවියේ බටහිර සිට නැගෙනහිර දෙසට හමා යන තද සුළං ප්‍රවාහයටද මේ නිසා බලපෑම් එල්ල වී තිබේ. මේ හේතුවෙන් අනපේක්ෂිත කලගුණ රටා ලොව පුරා නිර්මාණය වෙමින් පවතී.

මිහිතලය උණුසුම් වන විට එලෙස උණුසුම් වන සෑම අංශකයක් සඳහාම වායු ගෝලය සියයට හතක තෙතමණයක් රඳවා ගනියි. මෙහි ප්‍රතිඵලයක් වන්නේ වර්ෂා රටාව අක්‍රමවත් වීම හා අධික වර්ෂාවක් ඇද හැලීමයි. මේ නිසා ක්ෂණික ගංවතුර මෙන්ම වඩා වැඩි විනාශයක් සිදුකළ හැකි සුළි කුණාටු හා හිම කුණාටු ඇති වෙමින් පවතී. විශේෂයෙන් සුළි කුණාටු වඩාත් විනාශකාරී ලෙසින් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යාඥයන් පවසයි. සුළි කුණාටුවල ප්‍රබලත්වය මනිනු ලබන්නේ “කැට්” යන අගයෙනි. දැනට සුළි කුණාටු මනිනු ලබන ඉහළම අගය වන්නේ “කැට් 5” අගයයි. එහෙත් එය නුදුරේදීම “කැට් 6” අගය දක්වා ඉහළ යනු ඇති බවටද ඔවුන් අනතුරු අඟවා සිටියි.

එමෙන්ම මෙම විපර්යාසයන් නිසා බලපෑමට කල්ව ඇති තවත් පරිසර පද්ධතියක් වන්නේ කොරල්පරයි. අද වන විට ලොව බොහෝ ස්ථානවල මුහුදු පත්ලේ සිය අණසක පතරුවා සිටි කොරල් පර සිය අණසක අත් හරිමින් සිටියි. අධික තාපයට මුහුණ දෙන විට වර්ණවත් ඇල්ගී විනාශ වන අතර කොරල් පර සුදුපැහැයට හැරේ. මෙය හඳුන්වන්නේ කොරල් බ්ලීචිං ලෙසිනි. දුර්වල වන කොරල් පර අවසානයේ කැබලිවලට කැඩී යයි. ගෝලීය උණුසුම ඉහළ යෑම නිසා සිදුව ඇති අක්‍රමවත් වර්ෂා රටා නිසා නියං තත්ත්වයන් ඇතිව තිබේ. ලැව් ගිනි අද වන විට වඩා සුලබ හා දැඩිව පැතිර යන තත්ත්වයක් උද්ගතව ඇති අතර මේ නිසා සිදුවන වන විනාශය බරපතළය. අද වන විට ලැව් ගිනි සුලබ නොවූ ප්‍රදේශවල පවා ලැව් ගිනි වාර්තා වෙමින් පවතී. මේ සියල්ලේ අවසන් ප්‍රතිඵලයක් ලෙසින් වාන්නතර මියයමින් පවතී.

ගෝලීය උණුසුම සීමා කරන්නේ කෙලෙසද?

දිනෙන් දින ඉහළ යමින් පවතින මෙම විපර්යාසයන් සම්බන්ධයෙන් කාලගුණ ඇතුළු බොහෝ විද්‍යඥයන් නිරන්තර අවධානයෙන් පසුවේ. මේ සම්බන්ධ නවතම පර්යෙෂණ වාර්තා පිළිබඳව සමාලෝචනයන් කිරීමට ලොව ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන් රැස්වේ. මෙම සමාලෝචන ප්‍රතිඵල දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මාණ්ඩලික වාර්තා ලෙසින් ප්‍රකාශයට ද පත්වේ. මීට අමතරව ගෝලීය උණුසුම පිළිබඳව ලොව සියලු රටවල රජයන් සිය අවධානය යොමුකර සිටියි. මේ සියල්ල හරහා ගෝලීය උණුසුම ඉහළ යෑම සම්බන්ධ කාරණය න්‍යයාත්මකව විසඳාගත හැකිය. නමුත් මහ පොළව මත මේ සඳහා විසඳුම් දීමේදී දේශපාලණික, සමාජීය හා ආර්ථික යන කාරණා ඒ සඳහා විවිධ වූ බධා එල්ල කරයි.

මෙම කාරණයේදී හරිතාගාර වායු විමෝචනයේ අවස්ථා සීමා කිරීම ඕනෑම රටක් සිදුකළ යුතු අනිවාර්යය ක්‍රියාවකි. ඒ සඳහා ක්‍රියාත්මක වීමේදී මූලිකවම බලපෑමට ලක්වන්නේ බලශක්ති උත්පාදනයයි. රටේ නිෂ්පාදන ක්‍රියාවලියට බලපෑමක් නොවන ලෙස වඩා හිතකර බලශක්ති උත්පාදනයක් වෙත මාරුවිය යුතුය. එය අභියෝගයකි. මෙහිදී ප්‍රයෝජනයට ගත හැකි ශක්ති ප්‍රභවයන් දෙක වන්නේ සුළං බලය හා සුර්ය බලයයි. මේවා ශූන්‍ය විමෝචන ප්‍රභවයන් වේ.

භූ විද්‍යාත්මක ලෙසට සූර්යයාගේ උණුසුම් කිරණ අවහිර කිරීම මෙන්ම හරිතාගාර වායු විමෝචනය අවම කිරීම යන කාරණා පිළිබඳව ගෝලීය ලෙසින් දැඩි අවධානයක් යොමු කිරීම අද වන විට අනිවාර්යය කාරණයක්ව තිබේ. විවිධ වූ මානව ක්‍රියාකාරකම් නිසා හායනය වී තිබෙන පරිසර පද්ධතීන් යළි යථාවත් කිරීම අනිවාර්යය කාරණයකි. ශාක, තෙත් බිම්, සාගර හා අනෙකුත් පරිසර පද්ධති අතිරික්ත කාබන් අවශෝෂණය උදෙසා උපකාරී වේ. මේ පරිසරයන්ට හානි වූ විට ගෝලීය උණුසුමට එරෙහි සටන වඩා අසීරු එකක් වීම වළක්වා ගත නොහැකිය. එමෙන්ම අපට මේ සියලු සටන් මැද ගෝලීය උණුසුමට අනුවර්තනය වීමටද සිදු වේ. ඉදිරියේදී නිවාස ඇතුළු ඉදිකිරීම් කිරීමේදී ඉහළ යන සාගර මට්ටමට හා තාප තරංගවලට ගැලපෙන ලෙස ඒවා සැළසුම් කිරීම පිළිබඳව ද අවධානය යොමු කිරීමට සිදුවීම අනිවාර්යය කාරණයකි.

කෙසේ හෝ අවසානයේ අප අවධාරණයෙන් මතක තබා ගත යුතු කාරණය වන්නේ අධික උණුසුමින් විනාශ වනවාද උණුසුම ඉහළ යෑම පාලනය කර ගනිමින් අපේ අවසානය කල් දමා ගන්නවාද යන්න පිළිබඳව වන තීරණය ඇත්තේ මානවයා අතම බවයි.

● නයනකේෂී විජේකෝන්
තොරතුරු ඇනිමල් ප්ලැනට් වෙබ් අඩවියෙන්.

සංස්කරණය – ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment