ගෝලීය ණය කුණාටුවට ලංකාව සමග රටවල් 69 හසුවෙයි

580

ශ්‍රී ලංකාව සේම රටවල් 69ක් අහාර, ඉන්ධන ණය ගෙවීමේ අර්බුදයට මුහුණ පා තිබෙන බව ජාත්‍යන්තර වාර්තා පෙන්වා දෙයි. එයට ලතින් ඇමෙරිකානු රටවල් 19 ආසියා ෆැසිෆික් කලාපයේ රටවල් 25ක් හා අප්‍රිකානු කලාපයේ රටවල් 25ක් ඇතුළත්ය. උදාහරණ ලෙස ඊජිප්තුව, ටියුනීසියාව ලෙබනනය පෙන්වා දිය හැක. ලෙබනනයේ ආහාර මිල 11 ගුණයකින් ඉහළ ගොස් ඇත. ජනයාට පාන් නැත. යුක්‍රේනයෙන් තිරිඟු පිටි ආනයන කිරීමට නොහැකිවීම අර්බුදය තවත් පුළුල් කර ඇත. එසේම ආහාර පිසීමට ගන්න තෙල් නොමැතිවීම සමාජ අර්බුදයක් නිර්මාණය කර ඇත.

 ලෝකයම ආහාර අර්බුදයකට මුහුණ දී සිටින්නේ රුසියා යුක්‍රේන යුද්ධය හේතුවෙනි. පසුගියදා ඊජිප්තු ආණ්ඩුව නිවේදනය කර සිටියේ තමන්ට තිරිඟු පිටි සහනාධාරය තවදුරටත් ලබා දීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි. ඊජිප්තුව තිරිඟු වැඩියෙන්ම ආනයනය කරන්නේ යුක්‍රේන රාජ්‍යයෙනි. දැන් යුක්‍රේන ගොවි බිම් ගිනිගෙන දැවෙන නිසා ඊජිප්තු වැසියන්ටත් බඩගින්නේ සිටින්නට සිදුව ඇත. රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කළ පසු ලංකාවේද තෙල් පෝලිම් කිලෝමීටර් ගණනාවක් දුරට දික් වූවා සේම ඊජිප්තු වැසියන්ටත් අර්බුද රැසක් මතුව තිබේ. මෙය ලංකාවට පමණක් පොදුවූවක් නොව ලෝකයේම අර්බුදයකි. ඇමෙරිකාවේ උද්ධමනය 8.5%ක් වන විට කැනඩාවේ 6.8%, ඉන්දියාවේ 15.8% බි්‍රතාන්‍යයේ 9%කි. ඉතින් ලංකාව ගැන කවර කතාද? උද්ධමනය ලෝකයේ හැම රටකම දශක ගණනාවකට පසු ඉහළම අගයකට පැමිණ තිබේ. ශ්‍රී ලංකාවේ සිට ආර්ජන්ටිනාව දක්වා මිනිසුන් ජීවන වියදම ඉහළ යෑමට එරෙහිව පාරට බැස තිබේ. පේරු රාජ්‍යයේ කැරලිකාරී තත්ත්වය  වේගයෙන් පැතිර යයි. මෙරට වැසියෝ කිරි තේ වෙනුවට “ප්ලේන්ටී” පානයටත් ඔවුහු හුරුව ඇත්තේ මේ අර්බුදයේම කොටසක් නිසාය. අද වන විට බොහෝ දෙනා උඩරට එළවළු වෙනුවට මඤ්ඤොක්කා, දෙල්, අඹ, ඇඹරැල්ලා වැනි දෑ තම ආහාර වේලට එකතු කරගෙන ඇතත් මේ වන විට මඤ්ඤොක්කා කිලෝග්‍රෑම් එකක් රුපියල් 120කට අලෙවි කෙරෙන අතර දෙල් ගෙඩියක් රුපියල් 300කට ආසන්න මිලක් දක්වා ඉහළ ගොස් තිබේ.

 ඇඹරැල්ලා කිලෝග්‍රෑම් එකක් ද රුපියල් 360ක් පමණ වෙයි. පවතින ඉන්ධන හිඟය හා සීග්‍රයෙන් ඉහළ ගිය ඉන්ධන මිල හමුවේ, යතුරු පැදියෙන් සිය සේවා ස්ථානය වෙත ගිය බොහෝ පිරිස් හා පෞද්ගලික ආයතනවල විධායක ශ්‍රේණියේ පුද්ගලයන් පවා මේ වන විට දුම්රිය වැනි පොදු ප්‍රවාහන සේවා වෙත යොමුවෙමින් සිටියි. ඉන්ධන මිල අධික වීම හා හිඟය හේතුවෙන් ඉන්ධන ලබා ගැනීමට ඇති දුෂ්කරතාව ඊට හේතු වී ඇති අතර, කාර්යාල ප්‍රවාහන සේවා ගාස්තු හා කුලීරථ ගාස්තු ද ඉතා ඉහළ අගයක් ගැනීම තවත් හේතුවකි. බස් ගාස්තු ද බොහෝ සෙයින් වැඩිවී තිබීම හා ඊට සාපේක්ෂව දුම්රිය ගාස්තු අඩුවීම හේතුවෙන් වැඩි පිරිසක් දුම්රියේ ගමන් කිරීමට පෙළඹී තිබේ. පවතින ඉන්ධන හිඟය හා සීග්‍රයෙන් ඉහළ ගිය ඉන්ධන මිල හමුවේ කාර්යාලවල සේවකයන්ට විවේක දිනවල වැඩි කාලයක් ඉන්ධන පෝලිම්වල ගතකිරීමට සිදුවීම මෙම ආර්ථික අර්බුදයේ එක් සමාජයීය බලපෑමකි. දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ ආණ්ඩු අනුගමනය කර ඇති වැරැදි ප්‍රතිපත්ති නිසා නිර්මාණය වූ ගැටලු සමූහයක් එක්වර පුපුරා ගොස් ඇතැයි කීම වඩාත් සාධාරණය. ණය ගැනීමට වැඩියෙන් උනන්දු වූවා මිස ඩොලර්
 උපයාගන්නට නිසි අවධානය යොමුවී නැත. මෙය බලවත් ඛේදයකි. එසේම පිටරට වෙසෙන ලාංකිකයන් ලංකාවට ඩොලර් එවීමට මැලිවන්නේ කවර හේතුව නිසාද? රාජපක්ෂවරුන් සමග ඇති තරහද? එහෙත් එය අමු මෝඩකමකි. මන්ද එයින් පීඩා විඳින්නේ ලංකාවේ සිටින ඔවුන්ගේම දෙමාපිය සොහොයුරු කැළ බව අමතක කළ යුතු නැත. කිසිවකුට ලංකාවට එවන ඩොලර් හොරකම් කළ නොහැකිය. එසේම පාරවල් වසාගෙන කැරලි ගැසීමෙන් හෝ ටයර් ගිනි තැබීමෙන් රටේ අර්බුද විසඳෙන්නේ නැත. එය තවත් අරාජිකත්වයට පාර කැපීමකි. තෙල් නැතිවීම ගෑස් නැතිවීම නිසා කාන්තාවෝද පාරවල් වසා උද්ඝෝෂණය කරති. මෙයින් අත්වන යහපත කුමක්ද? පැය ගණන් පෝලිම්වල සිට තෙල් ගසා ගෙන වැඩට යන අයත් මේ නිසා සිරවෙති. එයින් ලබන කාලකන්නි සතුට කුමක්ද? මේ අවස්ථාවේ වැඩවර්ජන කිරීමට යමෙක් සිතන්නේනම් එය රටට කරන ලොකුම ද්‍රෝහිකම ලෙස සැලකිය යුතුය.

 ශ්‍රී ලංකාවේ ණය අර්බුදය ලෝකයට අනතුරු ඇඟවීමකි. ලෝක බැංකුව පවසන්නේ ගෝලීය ණය කුණාටුවක් පැමිණෙන බවයි. එය සංවර්ධනය වෙමින් පවතින රටවල් ගිල දැමිය හැකි අතර ඔවුන්ගේ ආර්ථිකයන් පෙට්ටි එකිනෙක මත පෙරලි වැටෙනවා මෙන් අර්බුදයට ලක්විය හැක. ඇත්තෙන්ම ශ්‍රී ලංකාව සේම රටවල් 69ක් අහාර, ඉන්ධන ණය ගෙවීමේ අර්බුදයට මුහුණ පා තිබෙන බව ජාත්‍යන්තර වාර්තා පෙන්වා දෙයි. එයට ලතින් ඇමෙරිකානු රටවල් 19 ආසියා ෆැසිෆික් කලාපයේ රටවල් 25ක් හා අප්‍රිකානු කලාපයේ රටවල් 25ක් ඇතුළත්ය. උදාහරණ ලෙස ඊජිප්තුව, ටියුනීසියාව ලෙබනනය පෙන්වා දිය හැක. ලෙබනනයේ ආහාර මිල 11 ගුණයකින් ඉහළ ගොස් ඇත. ජනයාට පාන් නැත. යුක්‍රේනයෙන් තිරිඟු පිටි ආනයන කිරීමට නොහැකිවීම අර්බුදය තවත් පුළුල් කර ඇත. එසේම ආහාර පිසීමට ගන්න තෙල් නොමැතිවීම සමාජ අර්බුදයක් නිර්මාණය කර ඇත. එනිසාම ලෙබනන් රජය ඩොලර් මිලියන 150ක ණයක් ලෝක බැංකුවෙන් ලබා ගෙන ඇත්තේ ජනතාවගේ ආහාර අර්බුදය විසඳීමටය. ආර්ජන්ටිනාවට තවදුරටත් ණය ගෙවීමේ හැකියාවක් නැත. එම රාජ්‍ය 9 වතාවක් ණය පැහැර හැරි රටක් ලෙස ඉතිහාසගත වී ඇත. එම නිසාම ආර්ජන්ටිනාව අන්තර් ජාතික මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 45ක ණයක් ඉල්ලා ඇත. එහි අර්බුදය ලංකාවට වඩා වෙනස්ය. ඉතිරී පැතිරී ඇති බව පෙනේ. එල් සැල්වදෝරය, මෙනම් පේරු රාජයටත් මේ ඛේදනීය තත්ත්වය උදාවී ඇත. අප්‍රිකානු රාජ්‍යයන් වන ඝානා, ඉතියෝපියා, දකුණු අප්‍රිකාව, කෙන්යාව මේ අර්බුදයට මුහුණ පා ඇත. කෙන්යාව ඩොරල් බිලියන 70ක් ණයවී ඇති අතර එය ගෙවා ගත නොහැකි තත්ත්වයක් උදා වී තිබේ. දකුණු අප්‍රිකාවේ 2021 දී ඇතිවූ ආකාරයේ මහජන කැලැඹීමක් ඇතිවීමේ වාතාවරණය මතුවෙමින් තිබෙන්නේ මේ ආර්ථික ප්‍රශ්න උඩුදුවා ඇති නිසාය. තුර්කියේ උද්ධමනය 70%කින් ඉහළ ගොස් ඇත. ඇතිව තිබෙන ආහාර අර්බුදය නිසා ඉන්දියාවෙන් එරටට තිරිඟු පිටි ලබා දෙයි. ලෝක බැංකුව කියන්නේ ඉදිරි මාස 12 ඇතුළත ලොව බොහෝ දියුණු වෙමින් පවතින රටවලට තම ණය ගෙවා ගැනීමට නොහැකි අර්බුදයක් මතුවන බවයි. අසල්වැසි ඉන්දියාව අර්බුදකාරී අවස්ථාවේ ලංකාවට ඩොලර් බිලියන දෙකක් ණය ආධාරයක් ලබා දුන් බව රහසක් නොවේ. නමුත් ඉන්දියාවටද මේ ලෝක අර්බුදයෙන් ගැලවීමට හැකිව නැත. පන්ජාබ්, බිහාර්, ආන්ද්‍රා බිහාර් යන ප්‍රාන්තවලත් මේ අර්බුදය උග්‍රවී ඇත.

 ලෝක ආර්ථික අර්බුදය වඩා උග්‍රවූයේ රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම නිසා බව පැහැදිලිය. එය නිමවන පාටක් නම් දක්නට නැත. පුටින්ට මේ යුද්ධය අවසන් කිරීමේ වුවමනාවක්ද නැත. එනිසා මහරගම තෙල් පෝලිම වෙන කිසිදාක නොතිබූ ආකාරයට දික්වී ඇත. තෙල් පෝලිමේ තරුණයන් උස් හඬින් කතා බහ කරන අයුරු මහා පාන්දරත් අසන්නට හැකිය. නරක කාලය උදා වූ විට එසේය. සමාජ, ආර්ථික, සංස්කෘතික  ගැටලුවලින් පමණක් නොව තවද නිර්මාණය කරන ලද දේශපාලනික සහ යුද ගැටලුවලින් ද ඉතිහාසයේ සිටම මිනිසාව පීඩනයට ලක්කොට තිබේ. වර්තමානය වනවිට රුසියානු සහ යුක්‍රේන අර්බුදය ගෝලීය සමාජ, ආර්ථික ගැටලුවක් පමණක් නොව සමාජ සංස්කෘතික ගැටලු ද නිර්මාණය කරමින් ඉදිරියෙහි සිටින අනෙකා පිළිබඳව සහ එකිනෙක ජාතීන් අතර ද විශ්වාසය බිඳ දමන තත්ත්වය දක්වා ගමන් කොට තිබේ. ඇත්තෙන්ම යුක්‍රේන අර්බුදය  නැගෙනහිර යුරෝපයට පමණක් සීමා වූ ගැටලුවක් නම් නොවේ. කළු මුහුද ආශ්‍රිත ප්‍රදේශද යුද ගැටලුවලින් අර්බුදයට පැමිණ ඇති අතර ලෝකයෙහි ආහාර අලෙවියේ 12%ක් පමණ මේ ආශ්‍රිතව සිදුවන නිසා එය ලෝක ආහාර සැපයුම් ජාලයන්ට ප්‍රබලව මේ වන විටත් දැනෙන්නට පටන්ගෙන තිබේ. යුරෝපයෙහි උද්ධමනය 5.9%කින් පමණ ඉහළ ගොස් ඇති අතර ආහාර මිල ද 7.5%කින් පමණ ඉහළ ගොස් තිබේ. වර්තමානයෙහි යුක්‍රේන ගැටලුව, පාකිස්තාන අර්බුදය, සුඩානය තුළ ඇතිවී ඇති අර්බුදය සහ ශ්‍රී ලංකාවේ සමාජ, දේශපාලනික සහ ආර්ථික ගැටලුව සරල නොවන අතර එහි විසඳුම් කෙටිකාලීන ද නොවනු ඇත. ඉතිහාසයේ ප්‍රථම වතාවට විශ්වාස භංගයකින් පාකිස්තානයේ අගමැති ඉම්රාන් ඛාන් ගෙදර යැවුවද එරට ආර්ථික අර්බුදය නිමාවී නැත. ඔළුගෙඩි මාරුවකින් මේ අර්බුද ලෙහෙසියෙන් විසඳෙන්නේ නැත. එසේම පාරේ උද්ඝෝෂණ වලින් ද රටට යහපතක් උදාවන්නේ නැත. මේ අර්බුදය හඳුනාගෙන වඩා බුද්ධිමත්ව කටයුතු කිරීම සියලු පුරවැසියන්ගේ වගකීම බව සටහන් කළ යුතුය. මේ ආරථික අර්බුදය මාස කිහිපයකින් විසඳෙන්නේ ද නැත. එය ලබන වසර දක්වාම ගමන් කළ හැකිය. තෙල් පෝලිම් කවදා නිමවෙයිද අපට කිව නොහැක. නමුත් තෙල් නිමාවීම නිසා කෝප වූ පිරිස් ඉපලෝගම ඉන්ධනහල් හිමියාගේ නිවසට ගිනිතබා ඇත. මෙය කොතරම් අමන ක්‍රියාවක්ද? එයින් වාසිය සැලසෙන්නේ කාටද? සමාජය සැහැසිවීම ඛේදයක්ම නොවන්නේද? නිවාස ගිනිතබා ලබන සැනසුම කුමක්ද? මෙය සැබවින්ම සමාජයක් ලෙස අප ලජ්ජා විය යුතු අවස්ථාවකි.

 චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment