ගෝලීය දේශගුණ අභියෝගය සහ ග්ලාස්ගොවි සමුළුව

123

ශ‍්‍රී ලංකාවේ ආණ්ඩු දේශගුණ විපර්යාසය අවමකිරීම සහ අනුහුරුවීම සම්බන්ධයෙන් මෙවැනි නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කිරීමට ප‍්‍රධාන හේතුවක් ලෙස මෙරට ජනතාව ද ඒ පිළිබඳව ප‍්‍රමාණවත් උනන්දුවක් නොදැක්වීම දැක්විය හැකිය. ශ‍්‍රී ලංකාවේ විශේෂයෙන් සිංහල සහ දමිළ බසින් සන්නිවේදන කරන සාතිශය බහුතරයක් ජනතාවගේ දේශගුණ සාක්ෂරතාවය ඇත්තේ ඉතා පහළ අගයක බව නොඅනුමානය.

 දේශගුණ විපර්යාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ (United Nations Framework Convention on Climate Change – UNFCCC පාර්ශ්වකරුවන්ගේ 26 වැනි සැසි වාරය (26th Conference of the Parties – COP 26)  ඔක්තෝබර් 31 දින සිට නොවැම්බර් 12 දින දක්වා ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් (ඨක්ිටදඅ* නගරයේදී පැවැත්වීමට මේ වන විට සියලූ කටයුතු සංවිධානය කර තිබේ. එක්සත් රාජධානිය විසින් මෙවර සමුළුව සඳහා සත්කාරකත්වය සපයන්නේ ඉතාලිය සමඟ සහයෝගයෙනි. ශ‍්‍රී ලංකාව ද ඇතුළුව සම්මුතියේ පාර්ශ්වකාර රාජ්‍යයන් 195ක් දේශගුණ විපර්යාසය අවම කරගැනීම (Mitigation හා අනුහුරුවීම (Adaptation) සඳහා වන තමන්ගේ ඉලක්ක යාවත්කාලීන කරගැනීම සඳහා මෙම සමුළුවට සහභාගීවීමට අපේක්ෂාවෙන් සිටිති. මෙම 26 වැනි සැසිවාරය පැවැත්වීමට නියමිතව තිබුණේ ඉකුත් 2020 වසරේ වුවත් පැවති ගෝලීය කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ එය වසරකින් කල් දැමීමට සංවිධායකයින්ට සිදුවිය.

 පුරා දශක තුනකට ආසන්න කාලසීමාවක් තිස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ලොව පුරා රටවල් එක් වේදිකාවක් මතට ගෙනැවිත් දේශගුණ විපර්යාසය නම් මෙම ගෝලීය අභියෝගයට මුහුණදීමට අවශ්‍ය පොදු එකඟතාවයක් ඇතිකර ගැනීමට නොගත් උත්සාහයක් නැත. එහි යම් යම් කඩයිම් පසුකිරීමට අපට හැකි වුවත් අපේක්ෂිත අවසන් ජයග‍්‍රහණ අත්කර ගැනීමේ අභිලාශය තවමත් සිහිනයක් පමණි. නමුත් එම වකවානුව තුළ දේශගුණ විපර්යාසය මෙම මිහිතලයේ ජීවත්වෙන සෑම සියලූ ප‍්‍රාණියෙකුගේම ජීවිතවලට ඇති ප‍්‍රධානතම තර්ජනය බවට පත්ව හමාරය. එම අභියෝගයට මුහුණදීමට නොහැකි වූ ජීවී විශේෂ රැුසක් මේ වන විටත් සදහටම මිහිතලයෙන් සමුගෙන ගොස් ඇත. තම අත්තනෝමතික, අසාධාරණ, සහ අධම ක‍්‍රියාකාරීත්වය ඔස්සේ දේශගුණ විපර්යාසය වේගවත් කිරීමට දායකවූ මිනිස් ප‍්‍රජාව තවදුරටත් නොනැසී සිටියත් දේශගුණ විපර්යාසයේ අනිටු ප‍්‍රතිපලවලින් ඔවුනට ද නිමක් නොමැතිව බැට කෑමට සිදුව ඇත.

 එහි ප‍්‍රතිපලයක් ලෙස මේ පොළෝ තලයේ මහත් ආයාසයෙන් ජීවිත ගැට ගසාගෙන සිටින ආන්තික ප‍්‍රජාවන් දුප්පත්කමේ පතුලටම ගමන් කරමින් සිටිති, කබලෙන් ලිපට විසිවෙමින් සිටිති. ඔවුන්ට තමන්ගේ මූලික අවශ්‍යතා වන ආහාර, ජලය, වාසස්ථාන සහ මූලික පහසුකම් සපයාගැනීම එන්න එන්නම දුෂ්කර වී ඇත. එදා වේල සරිකර ගැනීමට පවුලේ ස්වාමියා දුක් ගැහැට විඳිද්දී, කුසට නිසි අහරක් නොමැතිව පීඩා විඳින කාන්තාවන් සහ දරුවන් තමන්ගේ පවුල්වලට අවශ්‍ය ජල අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා දිනකට පැය ගණනක් බොහෝ දුර බැහැර ගෙවා ජලය සොයා යන දසුන් මේ වන විට ශ‍්‍රී ලංකාවේ ද විරල නොවේ. දරිද්‍රතාවයෙන් බැටකන තම පවුල්වල ආර්ථික තත්ත්වය මදක් හෝ ඔසවා තැබීමට ස්වාමිපුරුෂයාට සහය වීමට කාන්තාවන්ට ඇති කාලය ඒ ඔස්සේ අහිමිවී ඇත. දුවාදරුවන්ට තමන්ගේ අධ්‍යාපන අවස්ථා ඒ ඔස්සේ අහිමිවී ඇත. මානව සුභසාධනය සහ සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය සෞඛ්‍ය, අධ්‍යාපනය, සමාජ සංවර්ධනය සහ කර්මාන්ත ආදී එකී මෙකී නොකී සියලූ ක්ෂේත‍්‍රයන් දේශගුණ විපර්යාසයේ බලපෑම්වලින් වෙලී පවතී. දේශගුණ විපර්යාසය ප‍්‍රති සරදියෙල් න්‍යායෙන් එල්ලකරන බලපෑම් තවදුරටත් පීඩිතයාම පීඩනයට ලක් කිරීම ඛේදවාචකයකි.

 ලොව පුරා මිලියන ගණනක් ජනතාවට තමන්ගේ පාරම්පරික වාසභූමි අත්හැර දේශගුණ අනාථයන්(Climate Refugees වශයෙන් වෙනත් ප‍්‍රදේශවලට සංක‍්‍රමණය වීමට මෙමගින් බල කර ඇත. දේශගුණ විපර්යාසය හේතුවෙන් මේ වන විට පෘථිවි ගෝලයේ බොහෝ ප‍්‍රදේශ මනුෂ්‍ය වාසයට නුසුදුසු තත්ත්වයට පත්වෙමින් පවතින බව තවදුරටත් රහසක් නොවේ. ඒ හේතුවෙන් තම පාරම්පරික වාසභූමි අත්හැර තම රටේම හෝ තම දේශසීමාවෙන් එහා වෙනත් රටකට සංක‍්‍රමණය වන ජනතාව දේශගුණ අනාථයන් ලෙස සරලව හැඳින්විය හැකිය. දැනට සිදුකර ඇති ගණනය කිරීම් අනුව වසරකට ලොව පුරා මිලියන 26ක පමණ ජනගහනයක් දේශගුණ අනාථයන් බවට පත්වේ. පර්යේෂකයන් පවසන්නේ 2050 වසර වන විට එම ප‍්‍රමාණය මිලියන 50ක් පමණ විය හැකි බවයි.

 ශ‍්‍රී ලංකාව තුළ ද විවිධ අවස්ථාවල ඇතිවූ හා අඛණ්ඩව දීර්ඝකාලීනව ඇතිවෙමින් පවතින දේශගුණ විපර්යාසයේ බලපෑම් නිසා දේශගුණ අනාථයන් බිහිවීම සිදුවී ඇත. ඒ ඒ අවස්ථාවල තාවකාලික පිළියම් ලබාදීමෙන් ප‍්‍රශ්න යටගැසීම විනා දේශගුණ අනාථයන් සම්බන්ධයෙන් අප රට තුළ ද විධිමත් වැඩපිළිවෙළක් තවමත් සකස්කොට නැත. අප රටේ මුළු ජනගහනයෙන් තුනෙන් එකක් ජීවත්වන, මුළු භූමි ප‍්‍රමාණයෙන් සියයට 24ක් අයත් වන්නේ වෙරළබඩ ප‍්‍රදේශයටය. රටේ මුළු මත්ස්‍ය නිෂ්පාදනයෙන් සියයට අසූවක් සපයන්නේ එම භූමිය කේන්ද්‍ර කරගෙන වන අතර රටට විදේශ විනිමය සපයා දෙන ප‍්‍රධාන ධනෝපායන මාර්ගයක් වන සංචාරක කර්මාන්තය සඳහා යටිතල පහසුකම් සපයන භූමිය ද වන්නේ මෙයයි. නමුත් දේශගුණ විපර්යාසය නිසා ඉහළ යන මුහුදු ජල මට්ටම හා වෙරළ ඛාදනය නිසා වෙරළබඩ ජනතාවට නිවාස, යටිතල පහසුකම් හා ජීවනෝපාය අහිමිකරගනිමින් රට තුළට ගමන් කිරීමට මේ වනවිට සිදුවී තිබේ. ඒ අතර නිතර සිදුවන ස්වභාවික විපත් දරාගත නොහැකිව ළතැවෙන කඳුකරයේ ජනයාට සිදුවී ඇත්තේ ද රටේ පහත් තැනිතලා වෙත සංක‍්‍රමණය වීමටය. ඒ මතුද නොව දිවයිනේ මුළු භූමියෙන් සියයට හැටක් වසා පැතිරුණු වියළි කලාපයේ ගොවි ජනතාවට තම ජීවනෝපාය අත්හැර නගර වෙත සංක‍්‍රමණය වී වෙනත් වෘත්තීන්වල නියැලීමට දේශගුණ විපර්යාසයේ බලපෑමෙන් උත්සන්න වන නියං, ගංවතුර තත්ත්ව හා අකල් වැසි බල කරයි.

 දේශගුණ විපර්යාසය මිහිතලයේ ජීවත්වෙන සෑම සියලූ ජීවියෙකුටම ඇති මූලික ජීවන අභියෝගය බව තවදුරටත් අටුවා ටීකා අවශ්‍ය වන්නේ නැත. ඊට මුහුණදීම සඳහා අද දවසේ අප දරනු ලබන සාමූහික ප‍්‍රයත්නයන් ඔබගේත් මගේත් හෙට දවස තීරණය කරනු ඇත. ඒ අතින් බැලූ විට මිහිතලයේ වැසියන්ට තමන්ගේ අනාගත පැවැත්ම තීරණය කිරීමට ග්ලාස්ගොව් සැසි වාරය ඉතා වැදගත් වේ. ප‍්‍රංශයේ පැරිස් නුවරදී 2015 වසරේ පැවැත්වූ දේශගුණ විපර්යාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ පාර්ශවකරුවන්ගේ 21 වැනි සැසි වාරයෙන් පසු ඉතා වැදගත්ම සැසි වාරයක් ලෙස මෙම ග්ලාස්ගොව් සැසි වාරය හැඳින්විය හැකිය. පැරිස් එකඟතා අනුව සම්මුතියේ පාර්ශ්වකරුවන් තමන් විසින් දේශගුණ විපර්යාසය අවමකිරීම සහ අනුහුරුවීම සඳහා සකස් කර ඉදිරිපත් කරන ලද දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්වයන් (Nationally Determined Contributions – NDCs) වසර පහකට වරක් යාවත්කාලීන කිරීම සිදුකළ යුතු අතර 2020 වසරේ සැසි වාරය නොපැවැත්වුණු නිසා එකී යාවත්කාලීන දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්වයන් ප‍්‍රථම වරට සම්මුතිගත කිරීම සිදු වන්නේ මෙම වසරේදීය.

 මිනිසුන් ඇතුළු මුළු මහත් ජීවී සමූහයාටම මෙම පෘථිවි ගෝලයේ යහතින් ජීවත්වීමට අවශ්‍ය නම් හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමෙන් මිහිතලයේ උෂ්ණත්වය වැඩිවීම පූර්ව කාර්මික යුගයට සාපේක්ෂව අංශක 1.5 ක සීමාවේ වත් පවත්වාගෙන යාමේ ඉලක්ක 2025 හෝ 2030 වන විට සපුරාලීම අනිවාර්යය. ඒ සඳහා දේශගුණ විපර්යාසයට එරෙහිව පියවර ගැනීමට ගිවිසුමට අත්සන් තැබූ සියලූම රටවල් කැපවිය යුතුය. ශ‍්‍රී ලංකාවේ පරිසර අමාත්‍යාංශය විසින් ද 2021 ජූලි මස යාවත්කාලීන කරන ලද දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්වයන් දේශගුණ විපර්යාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුති ලේකම් කාර්යාලයට භාරදී ඇත.

 දේශගුණික විපර්යාසයන්ගේ අහිතකර බලපෑම් හේතුවෙන් දැඩි අවදානමකට ලක්වී ඇති රටක් ලෙස ශ‍්‍රී ලංකාව තම රටේ කෘෂිකර්මාන්තය, ධීවර, පශු සම්පත්, සෞඛ්‍ය, ජලය, ජෛව විවිධත්වය, වෙරළ සහ සාගර, සංචාරක, නාගරික සැලසුම් සහ මානව ජනාවාස යන අංශයන්හි ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කර ඇත. 2010 වසරේදී මෙරට ඒක පුද්ගල හරිතාගාර වායු විමෝචනය ටොන් 1.02 ක් වූ අතර 2019 දී එහි ගෝලීය සමුච්චිත දායකත්වය 0.03%කි. මෙම අඩු කාබන් පියසටහන සහ දැඩි අවධානමට ලක්විය හැකි තත්ත්වය තුළ 2030 වන විට මෙරට වනාන්තර ප‍්‍රතිශතය 32% දක්වා ඉහළ නැංවීමට සහ 2021-2030 කාලසීමාව තුල බලශක්ති (විදුලි උත්පාදනය), ප‍්‍රවාහන, කර්මාන්ත, අපද්‍රව්‍ය, වනාන්තර සහ කෘෂිකර්ම යන අංශ වලින් හරිතාගාර වායු විමෝචනය 14.5% කින් අඩු කිරීමට ශ‍්‍රී ලංකාව තම යාවත්කාලීන දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්වයන් මගින් ජාත්‍යන්තරය හමුවේ පොරොන්දු ලබාදී තිබේ. මෙම අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා, ශ‍්‍රී ලංකාව 2030 වන විට විදුලිබල උත්පාදනයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තිය මගින් ලබා ගැනීමට අපේක්ෂා කරන අතර 2050 වන විට විදුලි උත්පාදනයේදී කාබන් විමෝචනය ශුන්‍ය කිරීමටද, ගල් අඟුරු බලාගාරවල ධාරිතාව ඉහළ නැංවීමෙන් වැළකී සිටීමටද පොරොන්දු දී තිබේ. ඒ අනුව ශ‍්‍රී ලංකාව සිය කාබන් විමෝචනය ශුන්‍ය කරගැනීමේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කරන්නේ 2060 වසරේදීය.

 කතාවට එසේ කීවද ඉහත කී හරිතාගාර වායු විමෝචන අවමකිරීමේ සහ හඳුනාගත් ක්ෂේත‍්‍රවල අනුහුරුවීම් ප‍්‍රවර්ධනය කිරීමේ ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා ශ‍්‍රී ලංකා රජය සැබෑ කැපවීමකින් කටයුතු කරනවාද යන්න මතභේදාත්මකය. උදාහරණයක් වශයෙන් වන ආවරණය ඉහළ නැංවීම පිළිබඳව සලකා බලමු. ‘හුස්ම දෙන තුරු’ ජාතික රුක් රෝපණ වැඩසටහනේ දෙවැනි අධියර ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධ වැඩසටහනකදී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසා තිබුණේ ‘සෞභාග්‍යයේ දැක්ම’ රාජ්‍ය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් ආකාරයෙන් 2030 වසර වන විට ශ‍්‍රී ලංකාවේ වනගහනය සියයට තිහ දක්වා ඉහළ නංවන බවය. අමාත්‍යවරයා ඒ බව ප‍්‍රකාශ කරන්නේ එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාසය පිළිබඳ රාමුගත සම්මුතියේ පාර්ශවකරුවෙකු වශයෙන් ශ‍්‍රී ලංකාව 2030 වසර වන විට මෙරට වනගහනය 32% දක්වා ඉහළ දැමීමට අවස්ථා දෙකකදී ලෝකයා හමුවේ පොරොන්දුදී ඇති පසුබිමකය. ශ‍්‍රී ලංකාවේ සමස්ත වන ආවරණය පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවසන් වරට ඇස්තමේන්තුවක් සකස් කර ඇත්තේ 2010 වසරේය. එහි සඳහන් වන ආකාරයට මෙරට වන ආවරණය දිවයිනේ මුළු බිම් ප‍්‍රමාණයෙන් 29.7% කි. නමුත් එම වනාන්තර ප‍්‍රමාණය 2021 වනවිටත් අපේ රටේ ඉතිරිවී ඇතැයි සිතීම මුලාවක් පමණි. පශ්චාත් යුද සමයේ මෙරට වනාන්තරවලට අත්වූ ඉරණම අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශ්‍ය වන්නේ නැත.

 ශ‍්‍රී ලංකාවේ ආණ්ඩු දේශගුණ විපර්යාසය අවමකිරීම සහ අනුහුරුවීම සම්බන්ධයෙන් මෙවැනි නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කිරීමට ප‍්‍රධාන හේතුවක් ලෙස මෙරට ජනතාව ද ඒ පිළිබඳව ප‍්‍රමාණවත් උනන්දුවක් නොදැක්වීම දැක්විය හැකිය. ශ‍්‍රී ලංකාවේ විශේෂයෙන් සිංහල සහ දමිළ බසින් සන්නිවේදන කරන සාතිශය බහුතරයක් ජනතාවගේ දේශගුණ සාක්ෂරතාවය ඇත්තේ ඉතා පහළ අගයක බව නොඅනුමානය. ඇතැම් ප‍්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය පවා ‘දේශගුණ විපර්යාසය’ යන වදන වෙනුවට ‘කාලගුණ විපර්යාසය’ යන වදන භාවිතා කරනු දැක තිබේ. සුලභව ආන්තික කාලගුණික විපත්, නොඑසේ නම් දැඩි නියං සහ අකල් මහා වැසිවලින් බැටකන මෙරට ගොවි ජනතාව එය දේශගුණ විපර්යාසයේ අනිටු බලපෑමක් බව දන්නේ නැත. නිතර නිතර හමන සුළිසුළංවලින් තම ජීවිත සහ ධීවර ආම්පන්න විනාශ වන ධීවර ජනතාව එය දේශගුණ විපර්යාසයේ අනිටු බලපෑමක් බව දන්නේ නැත. තම ගම්මානය ආසන්න වනාන්තර අක්කර දහස් ගණනක් කොම්පැණිකරුවන් වෙත පැවරීමට විරුද්ධ නොවන ගැමි ජනතාව ඒ අල්ල පනල්ලේ පුංචි කැලෑ කට්ටියක් අල්ලාගෙන වැට ගසා ගන්නේ වන විනාශය මගින් උත්සන්න වන දේශගුණ විපර්යාසය නුදුරු අනාගතයේදීම තම සබ්බ සකල මනාවම අහිමි කරන බව නොදැනය. ශ‍්‍රී ලංකාවේ දේශගුණ සාක්ෂරතාවය ඇත්තේ එවැනි අඩියකය.

 * සුපුන් ළහිරු ප‍්‍රකාශ්

advertistmentadvertistment
advertistmentadvertistment