ගෞරවණීය නායකත්වයක් මැනවින් පිළිබිඹු කළ කෘතහස්ත නායකයා ඩඩ්ලි

126

(හෙටට යෙදෙන 113 වන ජන්ම දින සමරුව වෙනුවෙනි.)

පිංතූරය – සේනානායක මහතා එවක ඉන්දීය අගමැතිනී ඉන්දිරා ගාන්ධි සහ පසුකලෙක  අගමැතිවරයකු වූ මොරාජි දේසායි සමග

ඩඩ්ලි බුදු දහම සුරක්ෂිත කිරීමටත් පෝෂණය කිරීමටත් හදවතින්ම බැඳී සිටි නායකයෙකි. එදා ඩී. එස්. මැතිඳු රුවන්වැලි සෑරදු සංරක්ෂණ කමිටුවේ හා මහියංගණ සෑරදු සංරක්ෂණ කමිටුවේ කටයුතු කළ අයුරු දැක බලා ඇති ඩඩ්ලි එම පිළිසකර කටයුතු තම පියාගේ අභාවයෙන් පසුවද නොපිරිහෙලා කරගෙන ගියේය. මහියංගණ සෑරදුන් චෛත්‍යයේ කොත පලඳවා කටයුතු නොපිරිහෙලා කරගෙන යෑමට එතුමා තුළ ඉමහත් කැපවීමක් තිබුණි. අනුරපුර නගර සංවර්ධන කටයුතු විධිමත් පරිදි කරගෙන යෑමට අතහිත දුන් එතුමා ඩී. එස්. මැතිතුමාගේ අනුග්‍රහයෙන් ගොඩනැඟුනු සල්ගල ආරණ්‍ය සෙනසුන මැනවින් පවත්වාගෙන යෑමට සියලු අයුරින් සහයෝගය ලබාදුනි. තවත් වෙහෙර විහාර රැසක් තම පෞද්ගලික අධීක්ෂණය යටතේ ගොඩනගමින් කටයුතු කරන්නට ක්‍රියා කළේය. ඩඩ්ලි කාලයක් තිස්සේම ක්‍රියා කළේ බුදුදහම ලෝකය පුරා ප්‍රචලිත කිරීමටයි. ජර්මනියේ බුදුදහම ප්‍රචලිත කිරීමට එතුමා පෞද්ගලිකවම සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළේය.

නිදහස් ලංකාවේ දෙවන අගමැතිවරයා වූයේ ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක මැතිඳුන්ය. 1952 මාර්තු 22 දින හදිසියේම මෙලොවින් සමුගත් ජාතියේ පියා මහාමන්‍ය ඩී. එස්. සේනානායක මැතිඳුගේ දෙටු පුත් ඩඩ්ලි සිවුවරක්ම මෙරට අගමැති ධුරයට පත් වූවා පමණක් නොව අවංක කෘතහස්ත නායකත්වයක් මෙරට දේශපාලනය තුළ සනිටුහන් කරමින් බත් දුන් පියා ලෙසද විරුදාවලි ලබමින් සමාදරයට හා ගෞරවණීයත්වයට පාත්‍රවිය. එතුමා හදවතින්ම ප්‍රකාශ කළ වදනක් වූයේ ‘සක්විති රජකම ලැබුණත් රට පාවාදෙන්නේ නැත’ යන්නයි.

1911 ජුනි මස 19 දින උපත ලද එතුමාගේ 113 වන ජන්ම දිනය වෙනුවෙන් ඩඩ්ලි සේනානායක ගුණ සමරු කමිටුව එතුමාගේ ගුණ ගරුක හා කෘතහස්තභාවය සිහිපත් කරන්නට කටයුතු රැසක් සංවිධානය කොට ඇත.

ජාතියේ පියාගේ අතිජාත පුත්‍ර ඩඩ්ලි හා රොබට් තම පියාගේ අඩි පාරේ යමින් මූලික හා ද්විතීයික අධ්‍යාපනය හදාරන්නට ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයට යමින් විද්‍යාලයේ කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂ පිති හරඹයක නිරත වීමෙන් ක්‍රීඩක කණ්ඩායමේ නායකයා බවටත් විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා බවටත් පත් විය.

ඩඩ්ලි ක්‍රීඩාවේ දක්ෂයෙකි. පිහිනුම් ශූරයකු මෙන්ම ජල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයා ලෙසත් දීර්ඝ කාලයක් කටයුතු කළේය. එම වකවානුව තම සංගමයේ දීප්තිමත් කාලයක් බවට පත් කරන්නටද සමත් විය. එතුමා හොකී හා මලල ක්‍රීඩකයෙකු ලෙසද සම්භාවනාවට පාත්‍ර විය.

ක්‍රීඩකයෙකු වුවා සේම උසස් අධ්‍යාපනයටද ඔහු අනලස්ව කටයුතු කර උසස් අධ්‍යාපනයට යොමු වී අනාගත නායකයකු වීමට අවශ්‍ය වන්නා වූ සියලු සුදුසුකම් සපුරාලීය. එතුමා ලන්ඩන්හි මිඩ්ල් ටෙම්ප්ල් උසස් අධ්‍යාපන ආයතනයෙන් නීතිඥ වෘත්තියට අදාළව බැරිස්ටර්වරයෙකු ලෙස විශිෂ්ට ලෙස සමත් වී ලංකාවට සපැමිණියේය.

අධ්‍යාපනය නිමා කළ එතුමා රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරීපත් වුවත් 1946 වනතෙක් වසර ගණනාවක්ම සාමාන්‍ය මන්ත්‍රීවරයෙකු ලෙස ජන හද දිනමින් තම සේවාව ඉටු කළේය. 1946දී ඩඩ්ලි තම පියාගේ අඩිපාරේ යමින් කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ සේවාව සපුරාලන්නට ඇති අදිටනින් එවක කැබිනට් මණ්ඩලයේ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පත්විය. 1952 තම දයාබර පියාණන් වූ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමාගේ හදිසි අභාවය තෙක් ක්‍රියා කළ එතුමා 1952දී ආණ්ඩුකාර සෝල්බරි සාමිවරයා විසින් නිදහස් ශ්‍රී ලංකාවේ දෙවන අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරගන්නා ලදී. එතැන් සිට 1970 දක්වා වන කාලයේදී එතුමා මෙරට සිවු වරක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවීය.

ජනවරම් ලද ඩඩ්ලි හැමවිටම ජනතාවාදී ලෙස රට මෙහෙයවමින් දේශයේ සමෘද්ධිය හා සංවර්ධනය ඉලක්ක කොට මෙහෙය වන්නට ක්‍රියා කළේය. හරිත විප්ලවය දියත් කරමින් රට සහලින් ස්වයංපෝෂණය කරන්නට එතුමා අප්‍රතිහත ධෛර්යයක් දැරීය. මේ වකවානුව තුළ කෘෂි නවෝදයක් තුළින් රට සංවර්ධන ඉලක්ක කරා යන්නට අපේක්ෂා කළාක් මෙන්ම ජනතාට නොමිලේ සහල් සලාකයක් ලබාදෙමින් බත් දුන් පියා ලෙස විරුදාවලි ලැබීය.

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිඳු මූලික කටයුතු අවසන්කොට තිබුණ ද ගල්ඔය ජනපද ව්‍යාපාරය බහුකාර්ය ව්‍යාපාරයක් ලෙස නිමා කරන්නට ඩඩ්ලි මැතිඳු ක්‍රියා කළ ආකාරය සැමගේම ප්‍රශංසාවට හේතුවක් විය. දේශීය මෙන්ම විදේශීය අරමුදල් සපයා ගනිමින් එදා මහවැලි සංවර්ධන ව්‍යාපාරය සඳහා පිඹුරුපත් සකසා පොල්ගොල්ල ජලාශය ඉදිකරන්නට මූලික අඩිතාලම දැමූයේ ඩඩ්ලි සේනානායක මැතිතුමා විසිනි.

දේශීය කෘෂිකාර්මික සංවර්ධනය මෙන්ම කාර්මික සංවර්ධනය ද එතුමාගේ ඉලක්කය විය. ඩඩ්ලි රජයේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ක්‍රියා කළ ඊරියගොල්ල ශ්‍රීමතාණන් ඒ සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඇරඹීය. කාර්මික අධ්‍යාපනයට පාසල් තුළින්ම අවශ්‍ය අඩිතාලම දමමින් අවශ්‍ය දැනුම ලබාදීමට ක්‍රියාකරන්නට සියලු ක්‍රියාමාර්ග ගනු ලැබුවද එවකට සිටි වාමාංශික වංක දේශපාලකයන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් ජනතාව නොමඟ යවමින් ඇති කළ අමනෝඥ ක්‍රියාකලාපයන් හේතුවෙන් අපේක්ෂිත අධ්‍යාපනයේ නව නැම්ම රටට ළඟා කරගැනීමට නොහැකි තත්ත්වයක් උදාවිය. එදා තාක්ෂණික අධ්‍යාපනය ඒ අයුරින් හෝ අවශ්‍ය වෙනස්කම් කරමින් කරගෙන යෑමට ඉඩ සැලසුනේ නම් අද වනවිට ආසියාවේ කාර්මික සංවර්ධනයේ ඉහළ හිනිපෙත්තටම අප ශ්‍රී ලංකාව ගෙන යෑමට බොහෝවිට ඉඩකඩ තිබුණි.

ඩඩ්ලි බුදු දහම සුරක්ෂිත කිරීමටත් පෝෂණය කිරීමටත් හදවතින්ම බැඳී සිටි නායකයෙකි. එදා ඩී. එස්. මැතිඳු රුවන්වැලි සෑරදු සංරක්ෂණ කමිටුවේ හා මහියංගණ සෑරදු සංරක්ෂණ කමිටුවේ කටයුතු කළ අයුරු දැක බලා ඇති ඩඩ්ලි එම පිළිසකර කටයුතු තම පියාගේ අභාවයෙන් පසුවද නොපිරිහෙලා කරගෙන ගියේය. මහියංගණ සෑරදුන් චෛත්‍යයේ කොත පලඳවා කටයුතු නොපිරිහෙලා කරගෙන යෑමට එතුමා තුළ ඉමහත් කැපවීමක් තිබුණි. අනුරපුර නගර සංවර්ධන කටයුතු විධිමත් පරිදි කරගෙන යෑමට අතහිත දුන් එතුමා ඩී. එස්. මැතිතුමාගේ අනුග්‍රහයෙන් ගොඩනැඟුනු සල්ගල ආරණ්‍ය සෙනසුන මැනවින් පවත්වාගෙන යෑමට සියලු අයුරින් සහයෝගය ලබාදුනි. තවත් වෙහෙර විහාර

රැසක් තම පෞද්ගලික අධීක්ෂණය යටතේ ගොඩනගමින් කටයුතු කරන්නට ක්‍රියා කළේය. ඩඩ්ලි කාලයක් තිස්සේම ක්‍රියා කළේ බුදුදහම ලෝකය පුරා ප්‍රචලිත කිරීමටයි. ජර්මනියේ බුදුදහම ප්‍රචලිත කිරීමට එතුමා පෞද්ගලිකවම සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළේය.

ජනවාර්ගික සංහිඳියාව ඉතා අගය කළ එතුමා සිංහල, දෙමළ මිත්‍රත්වය ගොඩනැඟීමට වෙහෙසුන නායකයෙකි. එදා ඒ අරමුණ ඔස්සේ ක්‍රියා කළ එතුමා මතු දිනයක කිසියම් ගැටුමක් නිර්මාණය විය හැකි බවට තිබූ පසුබිම සමනය කිරීමේ ක්‍රමවේදයන් අගය කළාක් මෙන්ම ඒ අරමුණ ඔස්සේ විවිධ කටයුතු ක්‍රියාත්මක කිරීමට පසුබිම සැකසීමටද කටයුතු කළේය. එහෙත් අවස්ථාවාදී දේශපාලනය ඊට හරස් විය. එහි ප්‍රතිඵලය වූයේ පසුකලෙක අන්තවාදී තවත් කලහකාරී පිරිසකට රට විනාශ කිරීමට මඟ පෑදීමකි.

ඩඩ්ලි දේශපාලනය කළේ ජාතියේ පියාගේ අතිජාත පුත්‍රයකු ලෙසයි. එතුමා අගය කළේ ජනතාවයි. එතුමාගේ ආදරය, කරුණාව බැඳීම තිබුණේ බුදු දහමට හා සමානත්මතා වාදයටයි. අද දේශපාලකයින් මෙන් මුදල් හා බලය හඹා යන පටු අරමුණු එතුමා තුළ නොවූ බව සක්සුදක් සේ විද්‍යාමාන විය. එතුමා 1973 අප්‍රේල් මස 13 දින දැයෙන් සමුගන්නාවිට සන්තකයේ පැවතියේ රුපියල් 500කටත් වඩා අඩු මුදලක් සහිත බැංකු ගිණුමකි. අවංකත්වය හා මහත්මා දේශපාලනයට මහඟු ආදර්ශයක් වුණු එතුමා ලක් පොළොවේ ශ්‍රේෂ්ඨතම ජනතා පුත්‍රයකු ලෙස අභිනන්දනයට සදා පාත්‍ර විය යුතුම නායකයෙකු බව අවිවාදයෙන් පිළිගත යුතුය.

ආචාර්ය අයි. දිසානායක
ප්‍රධාන ලේකම්,
සේනානායක සමරු පදනම.

advertistmentadvertistment
advertistmentadvertistment