ඝාතනය සම්බන්ධයෙන් මට්ටක්කුලිය බුද්ධි කඳවුරේ කර්නල් පොලිසියෙන් ඉල්ලයි

1530
ඝාතනය සම්බන්ධයෙන් මට්ටක්කුලිය බුද්ධි කඳවුරේ කර්නල් පොලිසියෙන් ඉල්ලයි
ඝාතනයට ලක්වූ අකිල සම්පත්

මට්ටක්කුලිය ග‍්‍රාම නිලධාරිනියගේ සැමියා ඝාතනය කර කැලණි ගෙඟ් ගිල්ලවීමේ සිද්ධියට සම්බන්ධ මට්ටක්කුලිය යුද හමුදා බුද්ධි කඳවුරේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ කර්නල්වරයා වහාම තමන් වෙත භාරදෙන ලෙස පොලිසිය යුද හමුදා පොලිසිය වෙත දැනුම්දී ඇත.

මේ වන විට යුද හමුදා පොලිසිය භාරයේ සිටින මෙම කර්නල්වරයා අද (20 දා) හෝ හෙට (21 දා) පොලිසිය වෙත භාරදීමට නියමිතව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ග‍්‍රාම නිලධාරිනිය සහ මට්ටක්කුලිය යුද හමුදා බුද්ධි කඳවුරේ සෙබළු 13 ක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටිති.

මෙම සිද්ධියෙන් පසු මට්ටක්කුලිය යුද හමුදා බුද්ධි කඳවුරේ සියලූම නිලධාරීන් පුදුකුඩිඉරුප්පු කඳවුර වෙත මාරුකර යැවීමට යුද හමුදා මූලස්ථානය කටයුතු කර තිබේ.

මට්ටක්කුලිය සමිට්පුර ග‍්‍රාම නිලධාරිනිය බුද්ධි අංශ කඳවුරේ නිලධාරියකු සමග පැවැත්වූ බව කියන අනියම් සම්බන්ධතාවයකින් පසුව ඇගේද අනුදැනුම මත අකිල සම්පත් නමැති විවාහක සැමියා මෙසේ ඝාතනය කර තිබුණේ ඉකුත් අගෝස්තු මස 17 වැනිදාය.

අකිල සම්පත් ඝාතනය කර ඔහුගේ සිරුරට ගල් බැඳ කැලණි ගෙඟ් ගිල්ලවීමට කටයුතු කර තිබූ අතර ඊට දින 3 කට පසු එම සිරුර මෝදර කාකදූපතට ගොඩගසා තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කොළඹ උතුර විශේෂ අපරාධ ඒකකය සැකකාර ග‍්‍රාම නිලධාරිනිය ඇතුළු මට්ටක්කුලිය යුද හමුදා බුද්ධි කඳවුරේ සෙබළුන් 13 දෙනකු අත්අඩංගුවට ගන්නා ලදී.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අමල් එදිරිමාන්න මහතාගේ මෙහෙයවීමෙන් කොළඹ උතුර විශේෂ අපරාධ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නලින් ශි‍්‍රයන්ත, උ.පො.ප. ජයසිංහ ඇතුළු නිලධාරීහු විමර්ශන පැවැත්වූහ.

හේමන්ත රන්දුණු


advertistmentadvertistment