චන්ද්‍රගුප්තට- සමන් රත්නායකට ඇප – කෙහෙළියලා යළි රිමාන්ඩ්

70

හොර එන්නත් නඩුව

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය අදාළ සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ඉතා කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මාලිගාකන්ද ප්‍රධාන මහෙස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය වෙත ඊයේ (8) දැනුම් දුන්නාය.

සිද්ධියට අදාළ නඩුව ඊයේ අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදී වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සොලිසිටරි ජනරාල්වරිය අධිකරණයට ඒ බව දැනුම් දුන්නාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හත්දෙනකු ඊයේ දිනය වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර ඉන් 6 වන හා 10 වන සැකකරුවන් දෙදෙනා ඇප මත මුදාහරින ලෙසද මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

එම සැකකරුවන් දෙදෙනා රෝගී තත්ත්වයෙන් පසුවන බවට වෛද්‍ය මණ්ඩල වාර්තා මගින් පෙන්වාදී ඇති බව එම දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ දැක්වූ කරුණු හා එම වාර්තා සැලකිල්ලට ගනිමින් මහෙස්ත්‍රාත්වරිය ඔවුන් එසේ ඇප මත මුදාහරින ලෙසට නියම කළාය.

හයවෙනි සැකකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුත්ත හා දසවන සැකකරු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක යන දෙදෙනා එසේ ඇප මත මුදාහැරීමට නියම කෙරුණි.

සැකකරුවන් දෙදෙනාගේ විදෙස් ගමන් තහනම් කළ මහෙස්ත්‍රාත්වරිය ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අධිකරණ භාරයට පත්කරන ලෙසටද නියෝග කළාය.

එමෙන්ම අදාළ ඇපකරුවන් ඔවුන්ගේ ළඟම ඥාතීන් විය යුතු බවට ද අධිකරණයෙන් නියම විය.

මෙම සිද්ධියේ දෙවන සැකකාර කපිල වික්‍රමනායක නැමැති අය ඇප මත මුදාහරින ලෙසට අභියාචනාධිකරණය නියෝගයක් ලබාදී ඇති බවත් එම නියෝගය ප්‍රකාරව ඔහුට එරෙහිව සාක්ෂි නොමැති බවට කරුණු අනාවරණය වන බැවින් ඔහුව මෙම නඩුවෙන් තාවකාලිකව මුදාහරින ලෙසට සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ මහෙස්ත්‍රාත්වරිය එම නඩුවෙන් ඔහුව තාවකාලික මුදාහරිනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබන 22 ප්‍රකාශයට පත් කරන බවද ප්‍රකාශ කළාය.

එමෙන්ම මෙම සිද්ධියේ දොළොස්වන සැකකරුට විජිත් ගුණසේකර නමැති අයට ඇප ලබා දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳ නියෝගය එදිනටම ලබාදෙන බවද මහෙස්ත්‍රාත්වරිය දැනුම් දුන්නාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප ඉල්ලා සිටින සෙසු සැකකරුවන්ගේ වෛද්‍ය වාර්තා මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය එම සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ට නියෝග කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් ඇප ලබාදී නැති සෙසු සැකකරුවන් සිව්දෙනා මෙම මස 22 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළාය.

සුදත් ජානක, රත්න කුමාර හේරත්, කෙහෙළිය රඹුක්වැල්ල, විජිත් ගුණසේකර යන සැකකරුවෝ එසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූහ.
ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment