චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් කැඳවූ රැස්වීමකදී – ශ්‍රීලනිපයේ සිරිපාල වැ. බ. සභාපති – බලය ගනී

319

මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පවතින අර්බුදකාරී තත්ත්වය තවත් තීව්‍ර කරමින්, වැඩබලන සභාපති ලෙස එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨතමයා වන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කර ගන්නා ලදී.

එම පක්‍ෂයේ අනුශාසක, හිටපු ජනාධිපතිනි චන්‍ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ද සහභාගිත්වයෙන් ඊයේ (8 දා) පෙ.ව. 10.15ට පමණ කොළඹ පදනම් ආයතනයේදී පක්‍ෂයේ දේශපාලන මණ්ඩලය හදිසියේම රැස්වූ අතර එහිදී මෙම තීරණය ගෙන තිබේ.

එම අවස්ථාවට ශ්‍රීලනිප සභාපති ලෙස කටයුතු කිරීම අධිකරණයෙන් වාරණයකට ලක්කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, වැඩබලන මහලේකම් සාරතී දුෂ්මන්ත, හිටපු මහලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරු සහභාගි නොවූහ.

වැඩබලන මහලේකම් ලෙස කටයුතු කරන සාරතී දුෂ්මන්ත මහතා එම කටයුතු නිසි පරිදි ඉටුනොකරන බව කියමින්, පක්‍ෂයේ කටයුතු මැතිවරණ කොමිෂන් සභාව සමග සම්බන්ධීකරණය කිරීමටත් ඉදිරි වැඩකටයුතු මෙහෙයවීමටත් තමන්ට පැවරුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ‘දිවයින’ට පැවසීය.

එමෙන්ම පක්‍ෂයේ සභාපතිවරයා අත්තනෝමතිකව සිය බලය පාවිච්චි කරන බැවින් පක්‍ෂයට නායකයකු පත්කර ගැනීමටත්, ඒ සඳහා පක්‍ෂයේ ව්‍යවස්ථා සංශෝධනය කිරීමටත් එම රැස්වීමේදී තීරණය වූ බව ද හෙතෙම පැවසීය.

ශ්‍රීලනිප තනතුරුවලින් ඉවත් කළ මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න යන ඇමැතිවරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

එම සියලු දෙනා මාධ්‍ය වෙත කියා සිටියේ ශ්‍රීලනිපය ප්‍රජාතන්ත්‍රවාදී මඟකට ගැනීම සඳහා මෙම තීරණ ගත් බවත්, හිටපු සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ ක්‍රියාත්මක නොවන බවත්ය.

අකිත පෙරේරා, අරුණ බෝගහවත්ත
ඡායාරූප – නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment