චමරි ගේ නොදැවුණු ලකුණු 195 ට දකුණු අප්‍රිකාව දණින් වැටෙයි

368

චමරි සහ ශ්‍රී ලංකාව ලෝක වාර්තා පිහිටුවමින් තරගාවලිය සම කරයි

කාන්තා ක්‍රිකට් පිටියේ එක් ඉනිමක වැඩිම තෙවැනි ලකුණු වාර්තාව චමරිට

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නොදැවී වාර්තා කළ ලකුණු 195ක අනර්ඝ ඉනිමේ ශක්තිය මතින් ජගත් කාන්තා එක්දින ක්‍රිකට් පිටියේ කණ්ඩායමක් ලකුණු හඹා ගොස් ජයග්‍රහණය කළ ඉහළම වාර්තාව ශ්‍රී ලංකාව ඉදිරියේ පෙරේදා (17 වැනිදා) රාත්‍රියේ සටහන් වූයේය.

සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව කඩුලු 4ක් දැවී ලකුණු 305 ක් වාර්තා කරමින් ශ්‍රී ලංකා කාන්තාවෝ එම අනභිබවනීය ජයග්‍රහණය වාර්තා කළහ.

එම ශ්‍රී ලංකා ජයග්‍රහණයේ මහා සාධකය වූ නායිකා චමරි අතපත්තු පන්දු 139 කින් නොදැවී ලබාගත් ලකුණු 195 සඳහා හයේ පහර 5 ක් හා හතරේ පහර 26 ක් අන්තර්ගත විය.

චමරි එම 4 සහ 6 පහරවලින් ලබා ගත් ලකුණු සංඛ්‍යාවේ එකතුව ලකුණු 134 ක් වූ අතර එම ඉනිමේ ඇයගේ ලකුණු ලබා ගැනීමේ ප්‍රහාරාත්මක වේගය 140.28 ක් වූයේය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දු වාර 50 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 301 ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දු වාර 44.3 ක් තුළ කඩුලු 4 ක් දැවී එම වාර්තාගත ජයග්‍රහණය ලබා ගත්තේය.

මීට පෙර ජගත් කාන්තා එක්දින තරගයකදී වැඩිම ලකුණු ප්‍රමාණයක් හඹා ගොස් තරගයක් ජය ගැනීමේ වාර්තාව ඔස්ටේ්‍රලියාව ඉදිරියේ ලියැවී තිබුණු අතර ඔවුන් 2012 වසරේ දී නවසීලන්තයට එරෙහිව ලකුණු 289 ක් හඹා ගොස් තරගය ජයගෙන තිබුණි.

එසේම ශ්‍රී ලංකාව ලකුණු හඹා යෑමේදී වාර්තා කළ ලකුණු 305 කාන්තා එක්දින ජාත්‍යන්තර ඉතිහාසයේ ලකුණු හඹා යෑමේ දී කණ්ඩායමක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව සම කිරීමක් ලෙස ද සටහන් විය.

මීට පෙර 2017 වසරේ දී එංගලන්තයට එරෙහිව ලකුණු 374 ක ඉලක්කයක් හඹා යෑමකදී දකුණු අප්‍රිකාව විසින් කඩුලු 9ක් දැවී ලකුණු 305 ක් ලබා ගැනීමට සමත්ව තිබුණි.

මෙම ජයග්‍රහණයත් සමඟ දෙරට අතර පැවැති එක්දින තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර පළමු තරගය වර්ෂාව හේතුවෙන් අතරමග නතර කෙරුණු අතර දෙවැනි තරගය දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිව්වැනි කඩුල්ල ලකුණු 126 දී දැවී ගිය අතර එහිදී 5 වැනි කඩුල්ල සඳහා චමරි අතපත්තු සමග එක් වූ නිලක්ෂිකා සිල්වා පන්දු 71 කින් නොදැවී ලකුණු 50 ක් ලබා ගත්තාය.

ඔවුහු දෙදෙනා පන්දු 146 ක් තුළ ලකුණු 179 ක අඛණ්ඩ සම්බන්ධතාවයක් පිහිටුවීමට සමත් වූ අතර එම සම්බන්ධතාවය ද වාර්තාවක් වූයේය.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව වෙනුවෙන් නායිකා ලෝරා වෝල්වාර්ඩ්ට් පන්දු 147 කින් නොදැවී ලකුණු 184 ක් ලබාගත් අතර එම ඉනිමට හයේ පහර 4 ක් හා හතරේ පහර 23 ක් ඇතුළත් වූයේය.

ලෝරාට අමතරව එම තරගයේ දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩිකාව වූයේ ලකුණු 36 ක් ලබාගත් මරිශේන් කාපේන් ය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ද දස්කම් දැක්වූ චමරි සිය පන්දු වාර 10 තුළ දී ලකුණු 59 කට එක් කඩුල්ලක් ලබා ගැනීමට සමත් වූවාය.

කවීෂා දිල්හාරි ලකුණු 47 කට කඩුලු 2 ක් දවා ගත්තාය.

තරගයේ දී බිඳ වැටුණු වාර්තා

ලකුණු 300 කට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් එක්දින කාන්තා ජාත්‍යන්තර තරගයකදී හඹා ගොස් තරගයක් ජයගත් පළමු රට බවට ශ්‍රී ලංකාව පත් වූයේය. මීට පෙර වැඩිම ලකුණු ප්‍රමාණයක් සාර්ථක ලෙස හඹා ගොස් තරගයක් ජය ගෙන තිබුණේ ඔස්ට්‍රේලියාවයි. ඔවුන් 2012 වසරේ දී නවසීලන්තයට එරෙහිව ලකුණු 289 ක් සාර්ථක ලෙස හඹා ගොස් තිබුණි.

ශ්‍රී ලංකාව ලකුණු හඹා යෑමේ දී වාර්තා කළ ලකුණු 305/4 කාන්තා එක්දින ජාත්‍යන්තර ඉතිහාසයේ දී ලකුණු සංඛ්‍යාවක් හඹා යෑමේ දී කණ්ඩායමක් වාර්තා කළ සම ඉහළම ලකුණු සංඛ්‍යාවයි. මීට පෙර 2017 වසරේ දී එංගලන්තයට එරෙහිව ලකුණු 374 ක අසාර්ථක හඹා යෑමකදී දකුණු අප්‍රිකාව විසින් කඩුලු 9ක් දැවී ලකුණු 305 ක් ලබා ගෙන තිබුණි.

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු හා දකුණු අප්‍රිකා නායිකා ලෝරා වෝල්වාර්ඩ්ට් යන පිතිකාරිණියන් දෙදෙනා එක්දින ජාත්‍යන්තර පිටියේ දී (පිරිමි හෝ කාන්තා) ලකුණු 175 කට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් එකම එක්දින තරගයකදී වාර්තා කළ පළමු පිතිකාරිණියන් දෙදෙනා ලෙස වාර්තා අතරට එක් වූහ.

නායිකාවන් දෙදෙනාම විසින් මෙම තරගයේ දී රැස් කළ ලකුණු සංඛ්‍යාවේ එකතුව 390 ක් වූ අතර එය නායකයින්/ නායිකාවන් දෙදෙනකු විසින් එක්දින තරගයකදී වාර්තා කළ ඉහළම ලකුණු ප්‍රමාණයයි. මීට පෙර විරාත් කෝලි (139) හා ඇන්ජලෝ මැතිව්ස් (139) විසින් 2014 වසරේ දී ලකුණු 278 ක් වාර්තා කරමින් එම වාර්තාවට හිමිකම් කියා තිබුණි.

චමරි ගේ නොදැවුණු ලකුණු 195 ට දකුණු අප්‍රිකාව දණින් වැටෙයි

චමරි අතපත්තු මෙම තරගයේ දී රැස් කළ ලකුණු 195 කාන්තා එක්දින ජාත්‍යන්තර තරගයක ලකුණු හඹා යෑමකදී පිතිකාරිණියක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි. පිරිමි එක්දින තරගයකදී ද එම ලකුණු සංඛ්‍යාවට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් වාර්තා කර ඇත්තේ ග්ලේන් මැක්ස්වෙල් විසින් පමණයි. (ඇෆ්ඝනිස්තානයට එරෙහිව 2023 වසරේ දී රැස් කළ ලකුණු 201)

මෙම තරගයේ දී චමරි රැස් කළ ලකුණු 195 එක්දින කාන්තා ජාත්‍යන්තර තරගයකදී පිතිකාරිණියක් වාර්තා කළ තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

ලකුණු 175 කට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් කාන්තා එක්දින ජාත්‍යනන්තර ඉතිහාසයේ දී දෙවරක් වාර්තා කළ පළමු පිතිකාරිණිය ලෙස ද චමරි වාර්තා අතරට එක් වූවාය. චමරි මීට පෙර 2017 වසරේ දී ඔස්ටේ්‍රලියාවට එරෙහිව නොදැවී ලකුණු 178 ක් ලබා ගෙන තිබුණි.

කාන්තා එක්දින ජාත්‍යන්තර ඉතිහාසයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ වන විට ශතක 9 ක් වාර්තා වී ඇති අතර, එම ශතක නවයම වාර්තා කර ඇත්තේ චමරි විසින් වේ. චමරිට වඩා එක්දින ශතක වාර්තා කර ඇත්තේ මෙග් ලැනින්ග් (15) සහ සුෂී බේට්ස් (13) පමණි.

ලෝරා වෝල්වාර්ඩ්ට් වාර්තා කළ 184 එක්දින ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ දී පිතිකාරිණියක් වාර්තා කළ 5 වැනි ඉහළම ලකුණු සංඛ්‍යාව වූයේය. එමෙන්ම එය දකුණු අප්‍රිකාව වෙනුවෙන් වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාව ද වේ.

ලෝරා වාර්තා කළ ලකුණු 184 කණ්ඩායමක් පරාජයට පත් වූ තරගයකදී එම කණ්ඩායම වෙනුවෙන් එක්දින කාන්තා ජාත්‍යන්තර ඉතිහාසයේ දී පිතිකාරිණියක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි. මීට පෙර එම වාර්තාවට ඇතුළත්ව තිබුණේ චමරි අතපත්තු ඔස්ටේ්‍රලියාවට එරෙහිව රැස් කළ ලකුණු 178යි.

චමරි හා නිලක්ෂිකා අතර ගොඩනැඟුණු ලකුණු 179 (146) ක විශිෂ්ට සම්බන්ධතාවය වාර්තා අතරට එක් වුණේ 5 වැනි හෝ ඊට පහළ කඩුල්ලක් වෙනුවෙන් පිතිකාරිණියන් දෙදෙනකු අතර ගොඩනැඟුණු දෙවැනි හොඳම සම්බන්ධතාවය ලෙසයි.

එමෙන්ම එම සම්බන්ධතාවය ශ්‍රී ලංකාව වෙනුවෙන් කාන්තා එක්දින ජාත්‍යන්තර තරගයකදී වාර්තා වූ දෙවැනි හොඳම සම්බන්ධතාවය ද වේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වී ඇති හොඳම සම්බන්ධතාවය වන්නේ නවසීලන්තයට එරෙහිව 2023 වසරේ දී තෙවැනි කඩුල්ල වෙනුවෙන් චමරි හා නිලක්ෂිකා ගොඩනඟා තිබූ ලකුණු 190 ක සම්බන්ධතාවයයි

advertistmentadvertistment
advertistmentadvertistment