චම්පික එදා ලෙඩවෙලා නෑ!

361

වෛද්‍ය වාර්තාව අනුව හෙළිවන බව
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට කියයි

රාජගිරිය රිය අනතුර සම්බන්ධයෙන් වූ නඩුව විභාගයට ගැනීමට දින නියම කර තිබියදී නඩු විභාගයට පෙර දින රාති‍්‍රයේ රෝහල්ගත වී තිබූ පාඨලි චම්පික රණවක මහතාගේ රෝග තත්ත්වය නිශ්චිත කර ගැනීම සඳහා සිදු කළ වෛද්‍ය පරීක්ෂණ දහය අනුව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සාමාන්‍ය බවට කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාව අනුව පැහැදිලි වන්නේ යැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (21දා) කොළඹ ප‍්‍රධාන මහාධිකරණයට පැවසීය. 04 – පිටුවට

නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පැවැත්වීමට නියමිතව තිබියදී පසුගිය 11 වැනිදා අධිකරණය හමුවේ පෙනී නොසිට ඊට පෙරදින රාති‍්‍රයේ නාරාහේන්පිට ප‍්‍රදේශයේ පිහිටි ප‍්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී තිබූ එම විත්තිකරු පරීක්ෂා කර බලා රෝග තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කොට තිබිණි. එම නියෝගය අනුව විත්තිකරු පරීක්ෂා කළ කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන් මහතා වෛද්‍ය පරීක්ෂණ 10ක් සිදු කර ඔහුගේ නිර්දේශ ඇතුළත් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් එකී අධිකරණ වෛද්‍ය වාර්තා අනුව විත්තිකරුට කිසිදු බරපතළ රෝග තත්ත්වයක් නොමැති බව තහවුරු වී ඇති බවත් දිලීප පීරිස් මහතා කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතාට පැවසීය.

මාසයක කාලයකට අධිකරණය හමුවේ පෙනී සිටීමේ හැකියාවක් විත්තිකරුට නොමැති බව පෙනී යන්නේ යැයි පෙන්වා දෙමින් එම පෞද්ගලික රෝහලේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරයකු ලබාදුන් ලිපියක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් විත්තිකරුගේ අරමුණ වී ඇත්තේ නඩු විභාගය චේතනාන්විතවම කල්තබා ගැනීම වන්නේ යැයි ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට පැවසීය. එබැවින් නඩු විභාගය අවසන් වනතුරු විත්තිකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීම හෝ නඩු විභාගය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යෑම කි‍්‍රයාමාර්ග දෙක කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද දිලීප පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. අධිකරණයේ නියෝගය පරිදි කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විත්තිකරුට වෛද්‍ය වාර්තාවක් ලබාදුන් විශේෂඥ වෛද්‍යවරයාගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ඇති බවත් පපුවේ දෙපස රිදෙන බව පෙන්වා දෙමින් රෝහල්ගත වූ විත්තිකරුට මසක පමණ කාලයක් විවේකය අවශ්‍ය බවට උපකල්පනය කර තමා එම ලිපිය ලබාදුන් බවටත් එකී වෛද්‍යවරයා ප‍්‍රකාශ කර ඇතැයි ද දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට වැඩිදුරටත් කීවේය.

වෛද්‍යවරුන් සිදුකරනුයේ උපකල්පනය කිරීම් නොව වෛද්‍ය වාර්තා අනුව රෝග නිශ්චිත කිරීම් වන්නේ යැයි ද එහිදී අධිකරණයට පැවසූ දිලීප පීරිස් මහතා පෙර කී වෛද්‍යවරයාගේ එම කි‍්‍රයා කලාපය උතුම් වෘත්තියක් වන වෛද්‍ය වෘත්තියට කළ නිගරුවක් බව තමාට පෙනී යන්නේ යැයි ද කීවේය. සියලූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා එම නඩුවේ වැඩිදුර විභාගය ලබන පෙබරවාරි 18 වැනිදා යළි ආරම්භ කිරීමට දින නියම කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment