එක් දින ලෝක කුසලාන තරගාවලියට සෘජුව සුදුසුකම් ලබා සිටි කණ්ඩායම් 8 අතරෙන් එක් කණ්ඩායමක් වූ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට අමිහිරි තරගාවලි පරාජයක් එක් කිරීමට මාස 7 කට පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වූ දුෂ්මන්ත චමීර හම්බන්තොටදී ඊයේ (07 වැනිදා) සමත් වූයේය.
නව පන්දුව අතට ගත් චමීර ඇෆ්ගනිස්තාන පිතිකරුවන් එකා පසුපස එකා ක්‍රීඩාගාරයට හරවා යැවීමට ගත් උත්සාහය සහ ඊට වනිඳු ගෙන් ලැබුණු සහයෝගය මත හිස එසවීමට ඉඩක් නොලද ඇෆ්ගනිස්තාන පිතිකරුවෝ සිය එක්දින ක්‍රිකට් චාරිකාවේ අඩුම හයවෙනි ලකුණු සංඛ්‍යාවට දැවී ගිය අතර එක් කඩුල්ලක් පමණක් දැවී ශ්‍රී ලංකාව ජයග්‍රහණය අත්කර ගත්තේය.
ඒ අනුව දෙරට අතර තරගාවලිය 2-1 ක් වශයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර එම ජයග්‍රහණය 2014 ට පසුව ශ්‍රී ලංකාව මෙරටදී පළමු තරගය පරාජය වී 2-1 ක් වශයෙන් තරගාවලියක් ජය ගත් පළමු අවස්ථාව විය.
මීට පෙර ශ්‍රී ලංකාව එම දස්කම ප්‍රදර්ශනය කර තිබුණේ පකිස්තානයට එරෙහිව ය. ලකුණු 116 ක් ලෙස වාර්තා වූ ඇෆ්ගනිස්තාන ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකාවට එරෙහිව ඔවුන් වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාව වූ අතර මීට පෙර ඔවුන් ශ්‍රී ලංකාව හමුවේ දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වූයේ 124 කි.
සිය එක් දින ක්‍රිකට් පිටියේ වේගවත්ම අර්ධ ශතකය දකුණත් ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකගේ පිත්තෙන් ඊයේ වාර්තා වූයේ ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන් ද අන්ත අසරණ කරමිනි.
පැතුම්ට අනගි සහායක් ලබා දුන් දිමුත් කරුණාරත්න මෙම තරගාවලියේ අඛණ්ඩව දෙවන අර්ධ ශතකය ද ඊයේ වාර්තා කිරීමට සමත් වූ අතර ඇෆ්ගනිස්තාන ඉලක්කය පන්දුවාර 16 කින් ඉක්මවා යන විට ද දිමුත් නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය.
ලකුණු 63 කට කඩුලු 4ක් දවා ගත් දුෂ්මන්ත චමීර තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා බවට ද සම්මාන දිනා ගත්තේය.
ආබාධයක් හේතුවෙන් පෙර තරගයට ක්‍රීඩා නොකළ වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර මෙම තරගය සඳහා කැඳවා තිබූ අතර ඇෆ්ගනිස්තාන කඩුලු දඩයමට ආරම්භය ගෙන දුන් ඔහු රහමනුල්ලා ගුර්බාස් ව පළමුව පිටියෙන් ඉවත් කළේය.
චමීර ලහිරු සහ වනිදු ගේ පන්දු හමුවේ අසරණ වූ ඇෆ්ගනිස්ථාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ මොහොමඩ් නබි ලකුණු 23 ක් වාර්තා කළ අතර ඉබ්‍රහිම් සර්ධාන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 22 කි.
මෙම පන්දු යවන්නන් තිදෙනාට හසුව ශ්‍රී ලංකාවට එරෙහිව සිය අඩුම ඉලක්කය ලබා දීමට ඇෆ්ගනිස්තානයට ඊයේ සිදුවිය. ඒ අනුව ලකුණු 117 ක සුළු ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය අතරෙන් පැතුම් නිශ්ශංක පන්දු 32 කදී සිය අර්ධ ශතකය වාර්තා කළ අතර අලංකාර හතරේ පහර 7 කින් සහ හයේ පහර 2කින් සිය ඉනිම වර්ණවත් කිරීමට පැතුම් සමත්ව සිටියේය.
ගුල්බදින් නයිබ්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව පැතුම් දැවී ගිය අතර ඉන් පසු පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් දිමුත් සමග ඉනිම නිමාවන තුරු කඩුල්ලේ රැඳී සිටියේය. පැතුම් ඊයේ වාර්තා කළේ සිය 7 වෙනි අර්ධ ශතකය වූ අතර දිමුත් පන්දු 45 කින් ඊයේ වාර්තා කළේ ඔහුගේ 8 වෙනි අර්ධ ශතකයයි. දිමුත් නොදැවී ලකුණු 56 ක් ලබාගත් අතර කුසල් මෙන්ඩිස් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 11 කි.
ලකුණු සාරාංශය
ඇෆ්ගනිස්තානය 116 /10 (22.2)
මොහොමඩ් නබි 23, ඉබ්‍රහිම් සර්ධාන් 22, ගුල්බදින් නයිබ් 20
දුෂ්මන්ත චමීර 63/4, වනිදු හසරංග 7/3, ලහිරු කුමාර 29/2
ශ්‍රී ලංකාව 120/1 (16)
දිමුත් කරුණාරත්න නොදැවී 56, පැතුම් නිශ්ශංක 51
ගුල්බදින් නයිබ් 19/1