චමුදිතගෙන් සීඅයිඩීය පැය දෙකක් ප්‍රකාශ ගනී

125

සංස්කරණය නොකළ සී ඩීත් සීඅයිඩීය භාරයට

රුවන්වැලිසෑයේ චූඩා මාණික්‍යය සහ කොත්වහන්සේගේ සවිකර තිබූ රුපියල් කෝටි හාරදහසක මැණික් අතුරුදන් වූ බවට කළ චෝදනාව සම්බන්ධයෙන් ආචාර්ය අනුජ ජයසිංහ මහතා සමග සිදු කළ යූටියුබ් සාකච්ඡාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (21 දා) පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගෙන ඇත.

මෙම යූටියුබ් සාකච්ඡාවට අදාළ සංස්කරණය නොකළ සී ඩී පටය ද අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.

රුවන්වැලි සෑයේ චුඩාමාණික්‍යය සහ එහි මැණික්ගල් තොගයක් අතුරුදන් වූයේ යැයි ආචාර්ය අනුජ ජයසිංහ මහතා යූටියුබ් සාකච්ඡාවක් ඕස්සේ කළ චෝදනාව පිළිබඳව වහාම විමර්ශනයක් පවත්වන ලෙස විහාරාධිපති පල්ලේගම හේමරතන හිමියන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කර තිබිණි.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය වෙත නියෝග කර ඇත.

මෙම මාධ්‍ය සාකච්ඡාවට අදාළ සංස්කරණය නොකළ හඬපටය ලබා ගැනීමට අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව කොටුව අධිකරණයෙන් නියෝගයක් ලබා ගත්තේය.

ඒ අනුව අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබා දී අදාළ මාධ්‍ය සාකච්ඡාව සහිත සංස්කරණය නොකළ හඬපටය ලබාදෙන ලෙස අධිකරණය චමුදිත සමරවික්‍රම මහතාට නියෝග කර තිබිණි.

සමරවික්‍රම මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ එම නියෝගය අනුවය.

රුවන්වැලි සෑයේ චුඩාමාණික්‍යය අකුණු සන්නායකය සහ එහි කොත්වහන්සේ වටා සවිකර තිබූ රුපියල් කෝටි 4000 ක් පමණ වටිනා මැණික් ගල් තොගය අතුරුදන් වූ බවත් ඒ පිටුපස රාජපක්‍ෂවරුන් සිටින බවත් ආචාර්ය අනුජ ජයසිංහ මහතා හෙළිදරව්වක් කර තිබුණේ මෙම යූටියුබ් සාකච්ඡාව හරහාය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

හෙමන්ත රන්දුණු
 

advertistmentadvertistment
advertistmentadvertistment