චිත්‍රපටි තුනකට කළ රුපියල් මිලියන හැත්තෑවක ආයෝජන දියවෙමින් යනවා

1001

චිත්‍රපට සංස්ථාවයි නිෂ්පාදකයෝයි කියන්නෙ රේල් පීලි දෙකක් වගේ – ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක රුවන් ජයසිංහ

චිත්‍රපටි තුනකට කළ රුපියල් මිලියන හැත්තෑවක ආයෝජන දියවෙමින් යනවා

ආර්ථික අර්බුදයක් තිබුණා කියලවත් දේශපාලන කැළඹීමක් තිබුණ කියලවත් මිනිස්සු සිනමා ශාලාවලින් ඈත් වෙලා ඉන්නෙ නෑ. මේ අරගල මැද්දෙ මම දැක්කා ලිබර්ටි එකේ රෑ දොළහේ ෂෝ එක හොඳට දිව්වා. එහෙම ප්‍රේක්ෂකයෝ පිරිසක් ලංකාවේ ඉන්නවා. අපි ඒ අයව ගෙන්න ගන්න ක්‍රමවේදයක් හදන්නෙ නැති එකයි වරද. කොළඹට දෙමළ ෆලිම් එකක් ආවම හොඳට දුවන්නෙ කොහොමද? ඒ කියන්නෙ සිංහල ෆිල්ම්වලට විතරක් මේ ප්‍රශ්නෙ එන්න බෑනෙ. ඒ කියන්නෙ අපි ඒක හරියට කරන්නෙ නැතිව අතහැරල තියන එකයි ප්‍රශ්නය.

මෙසේ කියන්නේ ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාකද රුවන් ජයසිංහය. සිනමා කර්මාන්තය හමුවේ පැන නැඟී තිබෙන වත්මන් අර්බුදය ඔහුගේ කියැවීම වෙනස්ය. රුපියල් මිලියන හැත්තෑවකට අධික පිරිවැයක් දරා නිෂ්පාදනය කළ සිනමාපට ත්‍රිත්වයක් වසර ගණනාවක් තිස්සේ තිරගත කරගැනීමට නොහැකිව සිටින ඔහු වත්මන් අර්බුදය හමුවේ පීඩනයට ලක්ව සිටින සිනමා නිෂ්පාදකවරුන්ට එක් උදාහරණයකි. ආර්ථික අර්බුදයෙන් තවදුරටත් අභියෝගයට ලක්වූ සිනමාව පිළිබඳ ඔහු දක්වන්නෙ මෙවැනි අදහසකි.

මම නිෂ්පාදනය කළ චිත්‍රපට තුනක් තිරගත කරන්න තියනවා. ඒ තමයි එරංග සේනාරත්නත් එක්ක කළ “නෝනා හරිම වසයි”, ජයන්ත චන්ද්‍රසිරි සමග කළ “මිදුණු විශ්වය”, ශ්‍රීයානි අමරසේන සමග කළ “යාත්‍රා” නැමති චිත්‍රපට. නෝනා හරිම වසයි කළේ 2018 වර්ෂයෙදී. දැන් වසර හතරක් වෙනවා. නමුත් චිත්‍රපට බෙදාහැරීමේ නිසි ක්‍රමවේදයක් නැති කමින් දවසින් දවස මේවා තතිරගත කිරීම පස්සට යනවා. මේ චිත්‍රපට ප්‍රදර්ශනය ප්‍රමාදය නිසා රුපියල් මිලියන හැත්තෑවක කළ ආයෝජනය දිනෙන් දින දියවෙමින් තිබෙන්නේ.

චිත්‍රපට නිෂ්පාදනය එපා වෙන තරමට ඔබ කලකිරීමෙන්ද ?

කරපු වැඩ ටිකත් තාම අතේ. ඉස්සරහ හරියට පැහැදිලිත් නෑ. මිනිස්සු සිනමාව වටා එකතු කරගන්න ක්‍රමවේදයක් ගන්න බවක් පේන්නෙත් නෑ. කොවිඩ් ඉවරයි කියල හිතාගෙන ජනාවාරිවල චිත්‍රපට ප්‍රදර්ශනය පටන් ගත්තත් අපට නම් සාර්ථකත්වයක් පේන්නෙ නෑ. ආව ෆිල්ම්වල බජට් කවර් වෙලා ඇති. හැබැයි 2018 සිනමා ශාලාවලට මිනිස්සු එකතු වුණ තරමට කෙසේ වෙතත් ඒ මට්ටමින් සියයට හැත්තෑවක තරමටවත් තාම නැති බවයි පේන්නේ.

චිත්‍රපට සංස්ථාව මේකට මැදිහත් වන බව සඳහන් කර තිබුණා නේද?

චිත්‍රපටි තුනකට කළ රුපියල් මිලියන හැත්තෑවක ආයෝජන දියවෙමින් යනවා

චිත්‍රපට සංස්ථාව පැත්තෙන් මේ සඳහා කිසිම මැදිහත් වීමක් නෑ. ඒක තමා මේ ප්‍රශ්නයට ප්‍රධානම හේතුව. මම දන්නෙ නෑ ඇයි එහෙම මැදිහත් වීමක් නොවෙන්නෙ කියල. නිෂ්පාදවරුයි අධ්‍යක්ෂවරුයි අතරමන් කරල ඒ ගොල්ලො වෙනම ගමනක් යන්නෙ. මේ දෙපිරිස අතර කිසිම වෙලාවක සම්බන්ධයක් පවත්වන්න කටයුතු කරන්නෙ නෑ. ඒ ගොල්ලො රජයේ ආයතනයක් විදියට චිත්‍රපට සංස්ථාව පවත්වාගෙන යනවා. අපි බැංකුවකින් හරි උදව් අරගෙන කොහොමහරි අමාරුවෙන් චිත්‍රපටියක් හදාගෙන මේක කරගෙන යනවා. මේක හරියට රේල් පීලි දෙකක් වගේ.

පහුගිය කාලේ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගෙ, නිෂ්පාදකවරුන්ගෙ සංගම් හදාගෙන මේ ප්‍රශ්නයට පිළිතුරු හෙව්වනේ?

එතනදීත් වුණ දේ බලන්න මුලින් චිත්‍රපටි තුනක් දවසකට රිලීස් කරල දවස් දෙකකට පස්සෙ චිත්‍රපට පහක් එකට රිලීස් කරන තැනටම ආවා. තම තමන් අතරෙම එකඟතාවක් නෑ අපි මේක කොහොමද කරන්නෙ කියල. මොන සාකච්ඡා තිබ්බත් අන්තිමට තම තමන්ගෙ ඒවා කොහොම හරි දාගන්න තැනට වැඩ කටයුතු සිදුවුණේ. ඒකෙන් නිෂ්පාදවරු පස්දෙනාටම වුණේ පාඩුවක්.

මේකෙන් ගොඩ එන්න ඔබේ පෞද්ගලික අදහස මොකක්ද?

එකම දේ හැම චිත්‍රපටයකටම කාල පරාසයක් දෙන්න ඕන ප්‍රදර්ශනය සඳහා. ඒක මණ්ඩලයකින් හරි මොකකින් හරි බලල බජට් එක හරි දැවැන්ත බවත් එක්ක හරි බලල කරන්න ඕන දෙයක්.

තිස්ස

advertistmentadvertistment
advertistmentadvertistment