චිත්‍රාගාර ගෙස්ට් හවුස් බවට හැරවීම…’83 කළු ජූලිය පිට දමා සිනමාව හොරකම් කළ හැටි! – 2

373

මෙම සිද්ධිය සිදුවීමට දින කිහිපයකට පෙර සිනමාස් සමාගමේ කේ. ගුණරත්නම් නිෂ්පාදනය කරන ලද ‘‘ධීවරයෝ’’ ‘‘සංදේශය’’ ‘‘අදට වැඩිය හෙට හොඳයි’’ ‘‘චණ්ඩියා’’ ‘‘සුජාතා’’ ‘‘සූර චෞරයා’’ ‘‘සූරයා’’ ‘‘අල්ලපු ගෙදර’’ ‘‘ආත්ම පූජා’’ වැනි චිත‍්‍රපට නැවත ප‍්‍රතිසංස්කරණය කර නව පිටපත් සකස් කිරීම සඳහා ගබඩාවේ සිට රසායනාගාරයට ගෙනැවිත් තබා ඇත. එහෙත් මෙම සිද්ධියෙන් පිටපත් සහ දළ සේයාපටවලට කිසිම හානියක් සිදු වී නොමැත. මෙම ගබඩාවේ තිබූ සමහර චිත‍්‍රපට පිටපත් මේ ගැන ඉතා හොඳින් දන්නා යම්කිසි පුද්ගලයන් කලහාකාරීන් යොදවා සොරකම් කර ඇත. මෙම අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත් සැලසුම් සහගත ක‍්‍රියාවක් බව පැහැදිලි වේ. චිත‍්‍රාගාරය සතුව තිබූ කැමරා, විදුලි ලාම්පු, සිනමා උපකරණසහ වෙනත් භාණ්ඩ සහ සිනමාස් සමාගමෙන් ආනයනය කරන ලද අලූත් ෆූජි දළ සේයාපටද සම්පූර්ණයෙන්ම සොරකම් කර ඇත.

විජය චිත‍්‍රාගාරය කලහාකාරීන් අලාභානි කරන අවස්ථාවේ සිනමාවට සම්බන්ධ වෙනත් වගකිව යුතු කිසිම අයෙක් මෙය අරක්ෂා කර ගැනීමට ඉදිරිපත් වී නැති බව මනාව පැහැදිලි වේ. විනාශකාරීන්ට උපකාර කළ බව පමණක් විමසා බැලීමේදී ඔප්පු වේ. පසුව නාවික හමුදාව පැමිණ මොවුන් පලවා හැර දමා තිබේ.

දැන් මාධ්‍යයට පැමිණ 83 ජූලි කෝලහාලයෙන් සිංහල චිත‍්‍රපට විනාශ වූ බවත්, ඔවුන් ගොස් චිත‍්‍රපට දෙසීයක් පමණ ගිනි ජාලා මැද බේරා ගත් බව බවසන පිරිස් එදා ඔවුන්ගේ ජීවිකාව කරගත් චිත‍්‍රාගාර බේරා ගැනීමට කිසිම වැඩපිළිවෙතක් අනුගමනය කර නැත. අඩුම තරමේ ඔවුන්ගේ ජනප‍්‍රියත්වය හෝ සම්බන්ධතා භාවිතා කර රජයට බලකිරීමක් කර හෝ ආරක්ෂක අංශ දැනුවත් කිරීමක් කිසිසේත්ම කර නැත. එදා එසේ එය රැක ගැනීමට ඕනෑ තරම් අවස්ථාව තිබූ බව ඉතා පැහැදිලිව දැකිය හැකි කිරුණකි.

මා විමසා සිටින්නේ ජීවිතය පරදුවට තබා ගිනි ජාලා මැද ගොස් බේරාගත් චිත‍්‍රපට දෙසීය සංරක්ෂණය කර ඇත්තේ කුමන ස්ථානයකද යන්නයි?

කේ. ගුණරත්නම් මහතා දමිළ ජාතිකයකු බැවින් ඔහුට මේ ප‍්‍රදේශයට පැමිණීමට නිසි ආරක්ෂාවක් එම මොහොතේ නොමැති පසුබිමක විජය චිත‍්‍රාගාරය ආශ‍්‍රිතව පදිංචිව සිටින සිනමා නළුවකුට මෙය රැකබලා ගැනීමට පවරා දී ඇත.

මෙම සිදුවීමෙන් පසු සිනමාස් සමාගම සතු සහ වෙනත් නිෂ්පාදකයන්ට හිමි දළ සේයා පට සහ චිත‍්‍රපට පිටපත් යම්කිසි ප‍්‍රමාණයක් එහි ගබඩාවේ තිබෙන ලදී. ජූලි 25 වැනි දින මෙම සිද්ධිය සිදුවූ අතර 26 වැනි දින උදේ විජය කුමාරතුංග පැමිණ ඔහු රඟ පෑ ‘‘බඹරු ඇවිත්’’ ‘‘පාර දිගේ’’ චිත‍්‍රපට පිටපත් සහ දළ සේයාපට රැගෙන ගොස් ඇත. එම අවස්ථාවේ මෙහි සේවයේ නියුතු පීටර් රේමන් පෙරේරා සහ කේ. ආර්. ජයවර්ධන මෙයට අදටත් සාක්ෂි දරයි.

1983 අගෝස්තු මාසයේ මා චිත‍්‍රපට සංස්කාරක හා අධ්‍යක්‍ෂකවරයකු වන ඇස්. වී. චන්ද්‍රන් සමග විජය චිත‍්‍රාගාරයට ගියෙමි. එහි ඉදිරියේ තිබූ යකඩ පැරණි ආකෘතියට සාදන ලද ගේට්ටුවට තරමක් හානි කර තිබූ අතර එහි ඇතුල්වන ස්ථානයේ තිබූ කෘතිම දිය ඇල්ල කිසිම හානියක් නොමැතිව දක්නට ලැබුණි. බිත්ති පමණක් ඉතිරිව තිබූ නමුත් ශබ්දාගාරය පමණක් සම්පූර්ණයෙන්ම
ගිනිගෙන විනාශ වී තිබුණි.

සංස්කරණ මැදිරියට සුළු සුළු හානිකර තිබුණත් ඒ වන විටත් සංස්කරණ මැදිරියේ චිත‍්‍රපටයක සංස්කරණ කටයුතු කරමින් සිටිනු දැකගත හැකි විය. එවකට හැඳල විජය චිත‍්‍රාගාරය සියලූ චිත‍්‍රපට වැඩකටයුතු සඳහා සම්පූර්ණ පහසුකම්වලින් යුක්තව නිමවා තිබුණි.

1983 කලහාකාරී සිද්ධියෙන් පසු විජය චිත‍්‍රාගාරය සහ ලංකා චිත‍්‍රාගාරය අලූත්වැඩියා කර මෙම චිත‍්‍රපට ආරක්ෂා කරගැනීමට ඕනෑ තරම් අවකාශය තිබුණි. නමුත් කිසිම සිනමා ශිල්පියකුට කිසිම ඕනෑකමක් නොතිබූ බව මනාව පැහැදිලිවම කිව හැකිය. එහෙම අවශ්‍යතාවයක් මේ අයට තිබුණා නම් මෙම වටිනා චිත‍්‍රාගාර දෙක ප‍්‍රතිසංස්කරණය කර අලූත්වැඩියා කර මෙම චිත‍්‍රපට බේරා සංරක්ෂණය කිරීමට රජයට හෝ චිත‍්‍රපට සංස්ථාවට මෙම වටිනා සම්පත ආරක්ෂා කර ගැනීමට හඩක් නගා බලපෑම් කළා නම් රජය මැදිහත් වීම මත මෙය න`ගාසිටුවීමට ඕනෑතරම් ඉඩකඩ තිබුණි. අඩුම තරමේ රජයට පවරා ගැනීමට යෝජනාවක් කිරීමට හැකියාවක් තිබුණි.

කෙසේ නමුත් කේ. ගුණරත්නම් මෙය විදේශීය ආධාර ලබා ගෙන නවීකරණය කිරීමට උත්සාහයක නිරත වූ බව මා හොඳින් දන්නා කරුණකි.

මා හට චිත‍්‍රපට කෙරෙහි තිබූ බලවත් උනන්දුව නිසාම මම කිහිප වතාවක්ම විජය චිත‍්‍රාගාරයට ගියෙමි. මේ වන විට මෙය සොයා බලා ගැනීම සඳහා යොදවා තිබුණේ චිත‍්‍රපට අධ්‍යක්ෂක සහ විකට නළුවකු වන ඇන්. වී. බාලන් ය. මේ අවස්ථාව වෙනකොටත් එහි ගබඩාව තුළ ‘‘ධීවරයෝ’’ ‘‘‘චණ්ඩියා’’ ‘‘අදට වැඩඩි හෙට හොඳයි’’ ‘‘ආත්ම පූජා’’ ‘‘සුජාතා’’ ‘‘හිතහොඳ මිනිහෙක්’’ ‘‘තුෂාරා’’ ‘‘චිං චිං නෝනා’’ වැනි චිත‍්‍රපට යම්කිසි ප‍්‍රමාණයක දළ සේයාපට හා චිත‍්‍රපට පිටපත් දැකගැනීමට හැකිවිය.

1987 සාහසිකයකුගේ වෙඩි පහරින් කේ. ගුණරත්නම් මහතා මියගියාට පසුව මේ චිත‍්‍රාගාරය සම්පූර්ණයෙන්ම එක්තරා සිනමා නළුවකුගේ භාරයට ගෙන මෙහි කොටසක අවන්හලක් (ගෙස්ට් හවුස්) පවත්වාගෙන යන ලදී.

විජය චිත‍්‍රාගාරය තුළ තිබූ විශාල දළ සේයාපට ප‍්‍රමාණයක් ඔහු විසින් දළුගම සරසවි චිත‍්‍රාගාරයට ගෙනැවිත් භාර දෙන ලදී. මේ වකවානුවේ මා නිතර සරසවි චිත‍්‍රාගාරය වෙත යමින් එමින් සිටි වකවානුවකය. විජය චිත‍්‍රාගාරයේ සේවය කළ සේවකයන් කිහිප දෙනෙක් මේ වන විට සරසවි චිත‍්‍රාගාරයේ සේවයේ නියුතුව සිටියහ. කේ. ඞී. නිකලස්, එම්. එස්. අලිමාන්, චන්ද්‍රසේන රූබසිංහ, සිරී. කේ විතාරණ, ජොහාර්, ස්ටැන්ලිද සිල්වා, බර්නාඞ් රෙජිනෝල්ඞ්, සේනක නවරත්න, කුමරසිරි ද සිල්වා වැනි සිනමා ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීණ කාර්මික ශීල්පීන්, අධ්‍යක්ෂකවරු, නළු නිලියන්, ගායක ගායිකාවන්, නිෂ්පාදකවරු නිතර ගැවසෙන ස්ථානයකි සරසවි
චිත‍්‍රාගරය.

විජය චිත‍්‍රාගාරයෙන් ගෙන එන ලද්දේ ඉතා වටිනා චිත‍්‍රපට කිහිපයකම දළ සේයාපටලය. මෙය ඉතා හොඳින් දැක ගැනීමට මා හට හැකි විය.

1987 න් පසුවත් විජය චිත‍්‍රාගාරය් රසායනාගාරය ඉතාම ක‍්‍රියාකාරී තත්ත්වයේ පැවතුනි. 1987 ජීවන් කුමාරතුංගගේ ‘‘හිත හොඳ චණ්ඩියා’’ 1991 ‘‘රජ කෙල්ලො’’ චිත‍්‍රපටියෙත් පිටපත් මුද්‍රණය සිදු කළේ මෙම චිත‍්‍රාගාරය තුළය. මෙය එයට හොඳම නිදසුනකි.

බැප්ටිස් ප‍්‍රනාන්දු සතු ඔහු නිෂ්පාදනය කරන ලද චිත‍්‍රපට සහ පිටපත් විජය චිත‍්‍රාගාරයේ ඇති බවත්, එය ප‍්‍රතිසංස්කරණය කර සිනමා ශාලා තුළ නැවත ප‍්‍රදර්ශනය කිරීම සඳහා සංස්කරණ ශිල්පියකු වන චන්ද්‍රසේන රූබසිංහ සහ සුමිත් අල්ගමට පවරා තිබුණි. පසුව මමද සහභාගි වී අපි මෙය අලූත්වැඩියා කළෙමු. එම මොහොතේ විජය චිත‍්‍රාගාරයේ ගබඩා පරීක්ෂා කිරීමේ දී චිත‍්‍රපට ප‍්‍රමාණයක් මේ මොහොත වන විට සරසවි චිත‍්‍රාගාරයට ගෙන ගොස් තිබුණත් මෙහි තවත් දළ සේයාපට ප‍්‍රමාණයක් සහ චිත‍්‍රපට කිහිපයක් දැක ගැනීමට හැකි විය. ‘‘සසරක හැටි’’ චිත‍්‍රපටයේ ඉතා හොඳ පිටපත් දෙකක් සහ ‘‘ඔක්කොම හරි’’

‘‘යටගිය දවස’’ ‘‘රන් ඔන්චිල්ලා’’ ‘‘මිස් මල්ලිකා’’ ‘‘පුදුම ලේලි’’ ‘‘මගේ රන් පුතා’’ වැනි චිත‍්‍රපට කිහිපයක දළ සේයාපට එහි දැකගත හැකිවිය. කිසිම ආරක්ෂක ක‍්‍රමවේදයක් සලසා නොමැති වී තිබූ බැවින් එය පසුව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. බැප්්ටිස් ප‍්‍රනාන්දුගේ චිත‍්‍රපට කිහිපයක එතුම්පට කිහිපයක් විනාශ වී තිබුණි. ඒ වන විටත් විජය චිත‍්‍රාගාරයේ රසායනාගාරය ක‍්‍රියාකාරී තත්ත්වයේ පැවතුණි. පසුව එම එතුම්පට මෙහි පිටපත් කරන ලදී.

රූපවාහිනී නාලිකා මගින්, පුවත්පත් මගින් මොරදෙන බොහෝ පිරිස් එදත් අදත් සිනමා සංරක්ෂණයක් ගැන සිතුවේ නැත. සිතන්නෙත් නැත. කුමන රජයක් පැවතියත් ඔවුන් සිදුකළේ තමුන්ගේ මඩිය රැස්කර ගැනීමට දේශපාලඥයන්ට ප‍්‍රශස්ති පමණයි. ශ‍්‍රී ලංකාවේ සිනමාව ආරක්ෂා කර ගැනීමට හෝ සිනමාව සංරක්ෂණ කර ගැනීමට මෙයට සම්බන්ධ කිසිම කෙනකුට අවශ්‍යතාවයක් නැත. මෙම සිනමා සංරක්ෂණය තුළ මා හට තේරුම් ගැනීමට හැකිවුණ හොඳම කරුණ එයයි.

එදා විජය චිත‍්‍රාගාරය බේරා ගැනීමට හෝ ප‍්‍රතිසංස්කරණය කර ගොඩනැගීමට උත්සාහ නොකරපු නළු නිළියන් ඇතුළු කලාකරුවන් විනාශ වූ පසු එම භූමිය අල්ලා ගත් නළුවා ගොඩනැගූ අවන්හලේ ප‍්‍රිය සාද පැවැත්වීමට සහභාගි වූ බව මා හොඳින් දන්නා කරුණකි. පසුව මෙම නළුවා මෙම භූමිය සම්පූර්ණයෙන්ම කොටස් කර විකුණා දමන ලදී.

මා ඉදිරියේදී ශ‍්‍රී ලංකාවේ සිනමාව පිළිබඳ සවිස්තරාත්මක ග‍්‍රන්ථයක් ලිිවීමට අදහස් කරන බැවින් මෙම ලිපිය ඉතා කෙටියන් කරුණු දැක්වීමට උත්සාහ කරමි.

ජාතික චිත‍්‍රපට සංස්ථාව බිහිවන්නේ 1972 දීය. එහි ගබඩාවක් එකළ නෙමැති බැවින් සියලූ චිත‍්‍රපට පුද්ගලිකව බෙදා හරින සමාගම් තුළ තබා කාර්යාලය පමණක් චිත‍්‍රපට සංස්ථාව මගින් පවත්වාගෙන යනු ලැබීය. ප‍්‍රථමයෙන්ම චිත‍්‍රපට සංස්ථාව සතුව

ගබඩාවක් සකස් කර බෙදාහරිනු ලබන චිත‍්‍රපටය 1975 මහජන ප‍්‍රදර්ශනය සඳහා මුදාහරිනු ලැබූ ‘‘සූරයා සූරයාමයි’’ චිත‍්‍රපටයයි. පසුව සියලූම සමාගම් සතු සිනමා ශාලා තුළ ප‍්‍රදර්ශනය කරනු ලබන චිත‍්‍රපට පිටපත් චිත‍්‍රපට සංස්ථාවේ ගබඩාව තුළ ගබඩා කර බෙදා හරින ලදී. බොහෝ නිෂ්පාදකයන්ගේ චිත‍්‍රපට පිටපත් සංස්ථාවට භාරදෙන ලදී.

හේමප‍්‍රිය කණ්ඩම්බි

advertistmentadvertistment
advertistmentadvertistment