චිරං ජයතු… 80 වැනි වියට පා තබන ගලබොඩ ඤාණිස්සර නාහිමි

422

(ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ)

පූජාච පූජනීයානං – පිදිය යුත්තන් පිදීම උතුම් මංගල කරුණකි. කොළඹ අගනගරයේ පූජනීය ගංගාරාම මහා විහාර පිං බිමෙහි වසර 70කට අධික කාලයක් ජාතික ආගමික අධ්‍යාපනික ශාසනික යුග මෙහෙවරක් සිදුකළ කොළඹ නව කෝරළයේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝනායක පරම පූජනීය අතිගෞරවාර්හ ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ (ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ) 79 වැනි ජන්ම දිනය 2022.12.14 දිනට යෙදී ඇති බැවින් උන්වහන්සේට ආශිර්වාද පිණිස සැකසුණු ලිපියකි මේ.

කොළඹ හුණුපිටියේ ගංගාරාම මහා විහාරය 19 වැනි සියවස අගභාගයේ බෝධිසත්ත්ව ගුණෝපේත ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක, සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක සහිත ශ්‍රී පාදස්ථානයේ ප්‍රධාන සංඝනායක කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනේ නිර්මාතෘ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූවකි. උන්වහන්සේගේ ශිෂ්‍යවරයන් ලෙස දෙවුන්දර ශ්‍රී ජිනරතන – මහගොඩ සිරි ක්‍ඥාණිස්සර – දෙවුන්දර සිරි වාචිස්සර යන නාහිමිවරුන් ගංගාරාම පුදබිමෙහි ආධිපත්‍යය ඉසිලූහ.

ගංගාරාමය හා පොඩිහාමුදුරුවෝ යන වචන දෙක යමකුගේ මුවින් පිටවූයේ නම් ඒ මහා ආශිර්වාදය නොලද කිසිවකු මේ මිහිපිට නොමැති තරම් ය. ගංගාරාමයත්, පොඩිහාමුදුරුවොත් ගහට පොත්ත මෙන් එකට බැඳුණු වෙන්කළ නොහැකි මේ මහා සමාජය පෝෂණය කළ මහා වනස්පතියක් යැයි මට හැඟේ. මේ පුදබිමෙහි අතීතයේ වැඩවිසූ යතිවරුන් ද පිංවන්තයෝ ම වූහ. යමෙක් ගංගාරාම පුදබිම ඇසුරු කළේ ද ඔවූහු සැම පුණ්‍යවන්තයෝ ම වෙති. අසිරිමත් පුදබිමක පෙළහර පෑ යතිවරයකුගේ සෙවණේ මොහොතක් හෝ වෙසෙන්නට ලැබීම ජීවිතයේ ලද භාග්‍යයක් කොට මා සිතමි.

උන්වහන්සේගේ චරිතය, සිතුම් පැතුම්, ක්‍රියාකාරකම් කිසි දිනක වෙනත් කිසිවකුගේ චරිතයක් තුළින් අප නොටුවෙමි. කථා කළ වචන සරලය, හඬ පෞරුෂය ගාම්භීරය. එඩිතරය. නිර්භීතය. පසුබට නොවන සුළුය. බැල්ම තීක්‍ෂණය. හදවත ලතෙත් ය. ඒ බව නොහඟවයි. එක් පුටුවකට, අසුනකට සීමා වී කතා කරමින් කල්මැරීමක් කිසි දිනක අප දුටුවේ නැත. ඇවිදිමින් ගමන් කරමින් සියලු පරිපාලන කටයුතු සිදුකළේ මනා සිහිකල්පනාවෙනි. පුදබිමෙහි සරල ගල් පඩියක් මත වාඩිවී යන එන දුර බැහැර ගැමියන් සමඟ කතාබහ කළේ පසුදින පුවත්පතකට ලිවීමට අවශ්‍ය තොරතුරු එක්රැස් කරමිනි. රටේ ආර්ථික අපහසුතාවය, දරිත්‍රතාවය, දුරබැහැර සිට පැමිණෙන ගිමියන්ගෙන් අසා විමසා දැනගත් උන්වහන්සේ රජය දැනුවත් කිරීම, පාලකයන්ගේ ඇස් ඇරවීමට නිතර මහන්සි ගත්හ. පුවත්පත්වලට ලිපි සැපයූහ. කෙටි, සරල වචන තුළින් කාටත් කියැවීමට පහසු අදහස් ලිවීම විශේෂය.

දාන ශාලාවට වඩින උන්වහන්සේට වෙන්කළ පාත්‍රයක් හෝ කොප්පයක් නොවුණි. සියලුදෙනා වෙනුවෙන් වෙන්කළ පාත්‍රයක උන්වහන්සේ දන් වැළඳූහ. බත් පැකට් එකක් පාත්‍ර පියන මත දිගහැර වැළඳීමට තරම් උන්වහන්සේ සරලය. අවදිව සිටින අවස්ථා වැඩිය. නිදාගෙන සිටින අවස්ථා අඩුය. අලි ඇතුන් කෙරෙහි මෙන්ම අනෙකුත් සතුන් වෙත දැක්වූයේ ආදරයකි. ගිරව්, වී කුරුල්ලන්, ගම්බද මිනිසුන් අල්ලාගෙන කොළඹට එන්නේ කීයක් හරි සොයාගැනීමේ චේතනාවෙනි. බෝධින් වහන්සේ අබියසට රැගෙන යන එම කුරුලු කූඩු නිදහස් කර උන්වහන්සේ ලැබුවේ පුදුම සතුටකි. අදටත් ගංගාරාම පුදබිමේ ගිරව් රෑන් පිටින් සරන්නේ උන්වහන්සේගේ ගුණ සුවඳ හඳුනන නිසා දැයි අපට හැඟුණු වාර අනන්තය.

මේ මහා පුදබිම ගොඩනැඟූ උන්වහන්සේට කිසි දිනක බැංකුවක පෞද්ගලික ගිණුමක් නොතිබුණි. අදටත් එසේමය. පොදු බව නිතර අගේ කළහ. සංස්කෘතික වටිනාකමක් ඇති පෞරාණික බඩු භාණ්ඩ එක්රැස් කළේ ජාතියේ අභිමානය ගොඩනැඟීමටය. විදේශිකයන්ගේ අමන්දානන්දයට ගංගාරාම පුදබිම ගොඩනැඟූ උන්වහන්සේ, “නිස්සරණ පඤ්හා පරිඤ්ජති” යන බුදු වදනට අනුගත වෙමින් බැඳීම් විරහිත ජාතික දායාදයන් බිහි කළහ. තුන් නිකායටම වැඩසිටිය හැකි නේවාසික පහසුකම්, එකට පොහොය කළ හැකි උදකුfක්‍ඛප සීමා, අධ්‍යාපන ආයතන, පෙර පාසල්, අසරණ දරුවන්ට නවාතැන්, වන්දනාකරුවන්ට ගිමන්හල්, තරුණ දරුවන්ට වෘත්තීය පාඨමාලා, රුක් රෝපණ වැඩමුළු, භාෂාගාර, පිරිවෙන්, මුද්‍රණාල පහසුකම් උන්වහන්සේගේ පොදුජන සේවාවට නිදසුන් කීපයකි.

ජාතික ආපදාවන්හිදී ගංගාරාමයේ පොඩිහාමුදරුවන්ගේ කැපවීම ආදර්ශවත්ය. යුද සමයෙහි මායිම් ගම්මාන ලෙස සැලකූ අතිශය දුෂ්කර සිංහල ගම්මානවලට කෘෂි ආම්පන්න, කැත්ත උදැල්ල, වියළි ආහාර බෙදාදුන් අතර හමුදා සෙබළුන්ගේ අවශ්‍යතා පිළිබඳ සොයා බැලූහ. කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු වාට්ටුවට අවශ්‍ය සියල්ල ගංගාරාමයෙන් පිළියෙල වූහ. නවම් මහා පෙරහැරට ලැබුණු මහජන ආධාර ලක්‍ෂ ගණනින් ජාතික ආරක්‍ෂක අරමුදලකට බැර කළහ. පන්සලේ සකස් කළ පිසූ ආහාර, වියළි ආහාර ගුවනින් හමුදා කඳවුරු වෙත යොමු කළහ. මරදානේ, පිටකොටුවේ බෝම්බ පිපිරූ අවස්ථාවේ දායකයන් විදේශ රටකට යෑමට ගුවන් ටිකට් රැගෙන පොඩිහාමුදරුවන් මුණගැසීමට ආ අවස්ථාවේ උන්වහන්සේ පැවසුවේ දහස් ගණන් දරුවන් මා සුමඟට හරවා ඇති බැවින් තරුණ භීෂණයෙන් තමන් වහන්සේට විපතක් නොවන බවයි.

මේ දිනවල උදෑසන මා බේරේ වටේට පා ගමනින් වැඩම කරන බවත්, මා මැරීමට කිසිවෙක් නොමැති බවත් මා තරම් අභයදානය දී තරුණ පරපුර ආරක්‍ෂා කළ අන් අයෙක් නොමැති බවත් උන්වහන්සේ නිතර පැවසූහ. උන්වහන්සේගේ හදවතේ ඇති වූ පවිත්‍ර චේතනාව උන්වන්සේගේ දිවි රැකීමට හේතු විය. ‘ධම්මො හවෙ රක්ඛති ධම්මචාරී” යන බුදු වදන ගරු පොඩිහාමුදුරුවන් තුළ ජීවමාන විය. රට තුළ තරුණ අසහනය බුර බුරා නගින විට පාසල් හැර යන තරුණ තරුණියන් ඒකරාශි කොට ඔවුන්ගේ දෑත් ශක්තිමත් කිරීමට පොඩි හාමුදුරුවෝ වෘත්තීය පාඨමාලා, පරිගණක පාඨමාලා සකසා තරුණ අසහනය තුරන් කිරීමට සුවිශාල පරිශ්‍රමයක් දැරූ අයුරු අපට සිහිපත් වෙයි.

පොඩිහාමුදුරුවන් තුළ තිබූ තවත් සුවිශේෂී චරිත ලක්‍ෂණයක් වූයේ තම නමට වඩා පැවිදි වූ පංසලේ නාමය ඉදිරියේ තබා ක්‍රියාකිරීමයි. ආගමික කටයුත්තකට භික්‍ෂු පිරිසක් වැඩම කළ අවස්ථාවක ඒ අයගේ නම් ගම් නොකියා මේ කවුරුත් ගංගාරාමයේ හාමුදුරුවරු බව පැවසීම උන්වහන්සේගේ සතුටට හේතුවක් විය. කාලය අනවශ්‍ය ලෙස කා දැමීමට ප්‍රිය නොකළ උන්වහන්සේ හැම විටම කාලය රැකගෙන වැඩ කළහ. හැදෙන වැඩෙන තරුණ භික්‍ෂු පරපුරකට උන්වහන්සේ දායාද කළ චරිතාදර්ශ අගය කළ යුතුය. පවුලේ ඥාතීන් සමීපකර නොගත් උන්වහන්සේ ‘විස්සාසා පරමා ඥාතී’ යනුවෙන් නිතර පවසා විශ්වාසය ඇතිවන ආකාරයට තම භික්‍ෂු පිරිස හැඩගැස්සූහ. මේ නිසා අදටත් භික්ෂූන් වහන්සේ හාරසීයක්, පන්සීයක් වැඩමවා ගැනීමට වැඩි වෙහෙසක් දැරීමට සිදු නොවේ. උන්වහන්සේ අප කෙරෙහි තැබූ විශ්වාසය අපත් එලෙසම ආරක්‍ෂා කර ගතිමි.

උන්වහන්සේ සමඟ පන්සලෙන් බැහැරට වැඩම කළ ඕනෑම අයකුට උන්වහන්සේගේ චරිතයෙන් ගත හැකි ආදර්ශ එමට විය. දිනක් කොළඹ මහ නගර සභාවේ උත්සවයකට පන්සලේ සිට පොඩි හාමුදුරුවන් සමඟ තුන්නමක් වැඩම කළහ. දුරදීම ආසන ගණනාවකට සුදු රෙදි එලා තිබෙනු දුටු උන්වහන්සේ තවත් හාමුදුරුවන් වහන්සේ වැඩම කරනවාදැයි දායකයාගෙන් ඇසීය. නැත ඔබවහන්සේලා තුන්නම පමණි. අනෙකුත් ආගමික පූජකයන් ද පැමිණෙන බව දායකයා පැවසීය. කරුණාකර අනෙකුත් සුදුරෙදි ඉවත් කරන ලෙසත්, සුදු රෙද්දක් එලා පිළිගන්නේ පා දෝවනය කොට පිළිගන්නේ භික්‍ෂුවක් පමණක් බවත් එය අපේ සංස්කෘතිය බව මතක තබා ගත යුතුයි යනුවෙන් උන්වහන්සේ පැවසූ විට දායකයා හිස්මුදුනින් එය පිළිගෙන නොදැන කළ වරදට සමාව ගත්හ.

තවත් දිනක කටුනායක ගුවන් තොටුපළට විදේශගතව සිට පැමිණෙන ජනාධිපතිවරයකුට ආශිර්වාද කිරීමට ගිය අවස්ථාවකදී තමන් වහන්සේ වැඩම කළ වාහනය ප්‍රධාන දොරටුවෙන් මෑත්කොට අගමැතිතුමා පැමිණි රථවලට ආරක්‍ෂක නිලධාරියා දොරටුව විවර කළේය. වාහනයෙන් බැසගත් පොඩිහාමුදුරුවෝ ආරක්‍ෂක නිලධාරියා වෙත ගොස් ඔබ බෞද්ධයෙක්දැයි විමසීය. තුෂ්ණිම්භූතව ඔහු බලා සිටියහ. ජනාධිපතිවරු අගමැතිවරු මෙතැනට පැමිණෙන්නේ අපගෙන් ආශිර්වාද ලබා ගැනීමටය. එහෙත් භික්‍ෂුවට ලැබුණේ ප්‍රධාන දොරටුවේ දෙවන තැනය. මේ දුටු අගමැති ඩී. බී. විජේතුංග මහතා ආරක්‍ෂක නිලධාරියා කැඳවා කළ වරදට පොඩි හාමුදුරුවන්ගෙන් සමාව අයදින ලෙස දැන්වූහ.

පොඩිහාමුදුරුවෝ හැම විටම භික්‍ෂුවට හිමි තැන ආරක්‍ෂා කළහ. ගෞරවය රැකගත්හ. නූතන තරුණ භික්‍ෂුන්ට උන්වහන්සේ අපූර්ව පූර්වාදර්ශයකි. බුදුන් වහන්සේ රාජ්‍ය පාලකයන්ට අනුශාසනා කළා මිස රාජ්‍ය තන්ත්‍රය පෙරළීමට උත්සාහ නොගත්හ.

“රාජානං අනුවත්තිතුං” රාජ්‍ය භීතියට අනුවර්ථනය වීමට භික්‍ෂුවට කියා දුන්හ. ශාස්තෘවරයකු ලෙස පාලකයන් සමඟ කිසි විටෙක ගැටුම් ඇතිකර නොගත්හ. ආදර්ශවත් බුද්ධ පුත්‍රයකු ලෙස පොඩිහාමුදුරුවන් වහන්සේ තුළ ද මේ අනුශාසකත්වය නිවැරදිව පිහිටා තිබුණි.

රජීව් ගාන්ධි අගමැතිතුමා ගිවිසුමක් අත්සන් කිරීමට පැමිණි අවස්ථාවේ එය ජාතිද්‍රෝහී ක්‍රියාවක් ලෙස රටේ ජනතාව සමඟ මුසු වී ගංගාරාම පංසල අවට පරිසරය කළු කොඩිවලින් වසා ජනතා මතය කුමක් දැයි පෙන්වාදුන් උන්වහන්සේ පාලකයන්ට කිසි විටෙකත් භික්‍ෂුත්වයට නිගාදෙන ලෙසින් ක්‍රියා නොකළහ.

දිනක් යොවුන්පුර භූමියක ප්‍රධාන උත්සවයකට වැඩම කළ උන්වහන්සේ යෞවන යෞවනියන්ගේ හැකියාවන්, දක්‍ෂතාවයන් දැක තරුණ භික්‍ෂූන් යොවුන් පුරයට සම්බන්ධ නොකිරීමේ අඩුපාඩුව පෙන්වා දුන්හ. ඉන්පසු පැවැති හැම යොවුන්පුර වැඩසටහනකම සර්ව ආගමික මධ්‍යස්ථාන ඉදිකොට රටේ දරු දැරියන්ට ආගමික සහනශීලී බව හා ආගමික මිත්‍රත්වයක් වටහා දුන්හ. උන්වහන්සේ කිසි විටෙකත් ජාතිවාදී නොවූහ. රටේ පුරවැසියන් ලෙස සැමට සමානාත්මතාවයෙන් සැලකූහ.

අභියෝගවලට බිය නොවූ පොඩිහාමුදුරුවෝ ගැටුම් අරගල ඇති නොකොට අභියෝග ජය ගත්හ. උතුරු – නැඟෙනහිර සටන් ඇරඹුන අවස්ථාවකදී ඉන්දියාව ගුවනින් ආහාර පාර්සල් බෙදාහැරීමට විරෝධය පාමින් ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වී රටේ ජනතා විරෝධය පෙන්වා දුන්හ. රට තුළ සාමකාමී ආකල්ප ඇති කළහ.

නවම් පෙරහැර සංවිධානය කරන ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලයේ දරුවන්ගේ ශ්‍රමය අයුතු ලෙස පැහැර ගැනීමේ චේතනාවෙන් පෙරහැර බැලීමට පැමිණෙන විදේශිකයන්ට ප්‍රවේශපත්‍ර විකුණා මුදල් ඉපැයීමට සැරසුණු එක්තරා තරුපහේ හෝටලයකට උන්වහන්සේ අපූරු පාඩමක් ඉගැන්වූහ. ඔබේ හෝටලය අසලින් පෙරහැර ගමන් කරන්නේ ආවරණයක් ඇතුළතින් බව දැන්වීමෙන් බියට පත් වූ හිමිකරු, අධ්‍යක්‍ෂ මණ්ඩලය විදේශිකයන්ගේ සියලු ප්‍රවේශපත්‍ර පන්සලෙන් මිලදී ගැනීමට එකඟ වූහ. පන්සලට යාබදව තිබූ පෙට්ටි මඩුවේ අමිහිරි නාදය සමඟ උරණ නොවූ උන්වහන්සේ ඔවුන් ප්‍රමෝදයට පත්කොට එම භූමිය විහාරස්ථානයේ පොදු පරිහරණයට යටත් කොට ගැනීමට සමත් වූහ. දැනට කාර්මික විද්‍යාලයේ ප්‍රධාන ගොඩනැඟිල්ල පිහිටි ස්ථානයේ එකල තිබුණේ සම් පදම්කරන නිතර දුගඳ හමන ආයතනයකි. රාජ්‍යයන් සමඟ ගැටුම් අරගල නොපවත්වා භික්‍ෂූත්වයට නිගරු නොකොට අභියෝග ජයගත් පොඩිහාමුදුරුවෝ සැමවිටම ජාතියට ජීවය දුන් ආදර්ශවත් යතිවරයෙක් වූහ.

බුදු දහමට අනුගත වූ බෞද්ධ වූ අප විසින් සිතිය යුතු යමක් ඇත. බුදුන්වහන්සේ අපට දායාද කොට ඇත්තේ භෞතික වස්තු සමුදායක් නොවේ. ජන්ම භූමිය, බුදු වූ ස්ථානය, පිරිනිවන් මක්‍ඳ්චකය, භෞතික වූ දෙයක් ලෙස පෙනුනත් ඒවා අපගේ සංස්කෘතික උරුමයන් පමණි. උන්වහන්සේගේ ජීවන දර්ශනය තුළින් අප උකහා ගත් ජීවන ප්‍රතිපදාවක් තිබේ. ඊට අනුගත වී ලෝ සසුන් වැඩ කැමැතිවීම සුදුසුමය.

ගංගාරාමයේ පොඩිහාමුදුරුවෝ එකී බුදුන් වහන්සේගේ ජීවන දර්ශනය මැනවින් අභ්‍යාස කළ යතිවරයාණන් කෙනෙකි. පොඩිහාමුදුරුවන්ගේ ජීවන ගමනේ අපට ඉතිරි කළ යමක් තිබේ. හැදෙන වැඩෙන නූතන භික්‍ෂු පරපුරට උන්වහන්සේ දායාද කළ චරිතාදර්ශ අනන්තය. යමකු දෙස ඉවසීමෙන් බලා සිටින්න. නුවණින් මෙනෙහි කරන්න. සතිසම්පජක්‍ඳ්ක්‍ඳයෙන් විමර්ශනය කර බලන්න. භෞතිකව ගොඩනැඟූ දේට වඩා ජීවන දර්ශනයෙන් උකහා ගත යුතු දේට ප්‍රමුඛස්ථානය දෙන්න. අපේ උරුමය හා දායාදය වන්නේ එයයි. බුදුන් වහන්සේ ද අපට දායාද කොට ඇත්තේ ජීවන ප්‍රතිපදාවකි. බහුලව ප්‍රකාශ කරන පිරිස් දුටුවත් ප්‍රායෝගිකව පුරුදු පුහුණු කළ අය දක්නට දුර්ලභය. අපේ පොඩිහාමුදරුවන්ගේ ජීවන දර්ශනය තුළ එකී චින්තාවන් ප්‍රායෝගිකව දැකිය හැකිය. උන්වහන්සේ ජාතික වස්තුවක් ලෙස අප සලකන්නේ එබැවිනි.

“ආරෝග්‍ය පරමා ලාභා” පොඩි හාමුදරුවන්ගේ අනුශාසනා අතර නිතර අසන්නට ලැබුණු දහම් පාඨයකි. එහෙත් දෛවයේ සරදමට මෙන් උන්වහන්සේ පසුගිය දිනක ගිලන් විය.

“සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ” යන බුදු වදන සිහිගන්වමින් ශතවර්ෂාධික කාලයක් අපේ ආයුෂත් රැගෙන ලෝ සසුන් වැඩ කැමැතිව වැඩසිටීමට ජනතා ආශිර්වාදයත් උන්වහන්සේට හිමිවේවා යි ප්‍රාර්ථනා කරමි. පොඩිහාමුදුරුවන් වහන්සේට සුභ උපන් දිනයක් වේවා. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා.

අවිස්සාවේල්ල කොටහැර ශ්‍රී රාජගිර විහාරාධිපති රාජකීය පණ්ඩිත, ගෞරව ශාස්ත්‍රවේදී, කොළඹ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක,
● මාදොල නන්දරතන ස්ථවිර

advertistmentadvertistment
advertistmentadvertistment