* හයත් හෝටලය සඳහා යුරෝ මිලියන දහයක වන්දියක්’’’
* කලාපීය බලවතුන් සැනසීමට කොළඹ කැත කරන ඇත්තෝ
සෙලන්දිවා ආයතනයේ ක‍්‍රමවේදය කුමක්දැයි අවස්ථා ගණනාවකදී ප‍්‍රශ්න කෙරී තිබේ. එම ප‍්‍රශ්න කිරීම දැනුවත්භාවය සඳහා හෝ එම යාන්ත‍්‍රණය වඩාත් සුබවාදී බවට පත් කර ගැනීම සඳහා නොවන්නක් බව පෙනී යයි. කොළඹ නගරයේ දියුණුව සම්බන්ධයෙන් මෙරට ජනතාවටත් වඩා උනන්දුවෙන් ක‍්‍රියාකරනු ලබන්නේ අවට සහ කලාපීය රටවල් ගණනාවක්ය. නිදහසින් පසු යුගයේදී, කොළඹ නාගරිකය මූලික කර ගත් භෞතික සංවර්ධන සැලසුම සම්බන්ධයෙන් මෙසේ වෙනත් රටවල් අවධානය යොමු කරන ලද්දේ, ඌන සංවර්ධිත තත්ත්වයකින් කොළඹ නාගරිකය පවත්වාගෙන යෑමේ බරපතල වුවමනාවක් එම රටවල් වෙත තිබූ බැවිනි. කොළඹ වරාය සම්බන්ධයෙන් ද මෙම තත්ත්වය රටවල් කිහිපයකට පැවතියේය. ප‍්‍රචලිතව ඇති කාරණයක් වන්නේ කොළඹ වරාය සංවර්ධනයවීම වැළැක්වීම සඳහා සිංගප්පූරුව විසින් කොළඹ වරාය වෘත්තීය සමිති ගණනාවක් ලවා දැවැන්ත වර්ජනයක් දියත් කරන ලද බවයි. මෙම වර්ජනය හේතුවෙන් එතෙක් කොළඹ වරාය වෙත තිබූ, කලාපීය දැවැන්තභාවය සිංගප්පූරුව වෙත මාරු වූ බව පැවසේ.
මෙසේ කොළඹ දියුණුව වළක්වාලීම අත්‍යවශ්‍ය, කලාපීය බලවතුන් ගණනාවක් සිටියි. ඔවුන් සිය රාජ්‍යයේ සුඛ විහරණය පතා, මෙරට පක්ෂ සංවිධාන ආදිය ලවා විවිධාකාරයෙන් සංවර්ධන බාධක පනවන බව කිව හැකිය. සෙලන්දිවා විරෝධය සම්බන්ධයෙන් කතා කළ යුත්තේ මෙම චිත‍්‍රය මනසේ තබාගෙනය.
නාගරික සංවර්ධන විෂයය සම්බන්ධයෙන් මෑත කාලයේ පෙරළිකාර පියවරක් තබන ලද්දේ, ගෝඨාභය රාජපක්ෂ මහතා, නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ධුරය භාර ගැනීමත් සමගය. ඔහු ජනාධිපති තනතුර දක්වා රැගෙන ඒමේ විශ්වාසය ජනතාව තුළ ඇති වන්නේ, යුද ජයග‍්‍රහණය සඳහා බලපාන ලද ‘ගෝඨාභය සාධකය’ මෙන්ම නාගරික සංවර්ධනය සඳහා ඔහු දක්වන ලද පෙරළිකාර පියවර ද හේතුකොට ගනිමිනි. මේ හේතුවෙන් ඊළඟ ජනාධිපති සිහින ඇතුව වැඩ කරන චම්පික රණවක මහතා ද 2015 යහපාලන ආණ්ඩුව තුළ නාගරික සංවර්ධන විෂය සඳහා අමාත්‍ය මට්ටමෙන් ප‍්‍රවේශ විය.
ගෝඨාභය රාජපක්ෂ මහතා, නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ලෙස මුලින්ම කොළඹ නාගරික සංවර්ධනය ලෙස අර්ථ දක්වා ගනු ලැබුවේ පාර්ශ්ව හතරකි. එම ප‍්‍රධාන පාර්ශ්ව මුල් කර ගනිමින් කටයුතු කරන ලෙස රාජපක්ෂ ලේකම්වරයා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස පත් කරනු ලැබූ සිරිනිමල් පෙරේරා මහතා වෙත උපදෙස් ලබාදී තිබුණි. අඩු ආදායම්ලාභී නිවාස ව්‍යාපෘතිය හෙවත් පැල්පත්වලින් තොර කොළඹක්, කසළ ඉවත් කිරීම දෛනිකව සහ විද්‍යාත්මක ආකාරයෙන් සිදුකිරීම හෙවත් කුණු නැති කොළඹක්, ගංවතුර පාලනය, නගර අලංකරණය යන කරුණු මුල් කරගනිමින් ‘කොළඹ දියුණුවේ ගෝඨාභය සැලසුම’ ක‍්‍රියාවට නැගෙද්දී, අනෙක් පසින් නාගරික සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය වූ තවත් කාරණයක් ආරක්ෂක ලේකම් යන පාර්ශ්වයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉටු කරමින් සිටියේය. මත්ද්‍රව්‍ය, පාතාල මර්දනය කරමින් කොළඹ සහජීවනය කඩතොළු කරන ලද කල්ලි ද ඔහු දමනය කරමින් සිටියේය.
සිය කාලය තුළ එතෙක් මෙතෙක් කොළඹ පැල්පත්වාසී නිවාස පිළිබඳව සිදුකරන ලද දැවැන්ත සමීක්ෂණය සිදු කරමින් නාගරික සංවර්ධන අධිකාරිය ‘පැල්පත් නැති කොළඹක්’ යන සිහිනය සැබෑ කර ගැනීම සඳහා වේගවත් පියවරක් අනුගමනය කළේය. එසේම කොළඹ පිහිටි පැරණි තුරඟ තරග පිටිය, විගණකාධිපති ගොඩනැගිල්ල, බත්තරමුල්ල දියත උයන, නුගේගොඩ වැලි රථ ගාල, බේරේ වැව සහ ආශ‍්‍රිත ප‍්‍රදේශ සංවර්ධනය ආදිය මෙම සමයේදී ඉටු කරනු ලැබීය. යහපාලන ආණ්ඩුව බලයට පත්වී මෙම ඉදිකිරීම් සහ සංවර්ධන ක‍්‍රියාදාමය දෙස බලනු ලැබුවේ, වෛරී සහගත ආකාරයෙනි. තමන් ඉදිරියේ දේශපාලන අභියෝගයක් ලෙස නැගී එන්නේ, ගෝඨාභය රාජපක්ෂ චරිතය බැවින්, මෙම අනගි ක‍්‍රියාදාමයට ‘වසුරු’ හෙළන්නේ නැතිව ඔහු දේශපාලන වශයෙන් දමනය කළ නොහැකිය යන්න, යහපාලන න්‍යාය විය. යහපාලන ආණ්ඩුව බලයට පැමිණ දින කිහිපයක් ඇතුළත රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍යවරයා, කොළඹ ජනාධිපති මන්දිරය අවට ඇති, ඒ වන විටත් හමුදාවන් විසින් නවීකරණය කරනු ලබන ගොඩනැගිලි නැරඹීම සඳහා සිය අමාත්‍ය මණ්ඩලයේ කිහිපදෙනෙකු සමග පැමිණියහ. එම ගොඩනැගිලි අලූත්වැඩියාව වහාම නතර කරන ලෙස පැවසූ අගමැතිවරයා, නව ආයෝජකයන් වෙත ඒවා ලබාදෙන බව මාධ්‍ය ඉදිරියේ පවසා සිටියේය. මෙදා සෙලන්දිවා යනුවෙන් ආරම්භ කර ඇති ව්‍යාපෘතියේ මූලික අභිප‍්‍රාය වී ඇත්තේ රනිල් වික‍්‍රමසිංහ මහතා එදා නතර කරන ලද හෝ විකුණා දැමීම සඳහා සූදානම් වූ කොළඹ ජනාධිපති නිල නිවස අවට බි‍්‍රතාන්‍ය සමයේ ඉදිකරන ලද ‘අද අසරණ වී සිටින දැවැන්තයන්’ නගා සිටුවීමය.
පසුගිය මැයි මාසයේ 17 දින අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇත්තේ 2020 මාර්තු මස 4 වැනිදා කැබිනට් මණ්ඩලය විසින් දෙන ලද අනුමැතිය පරිදි භාණ්ඩාගාරයට 100% හිමිකාරත්වය සහිතව සෙලෙන්දිවා ආයෝජන සමාගම ස්ථාපිත කරන බවයි.
”සෙලෙන්දිව ආයෝජන සමාගම විසින් රජය සතුව පවතින හඳුනාගත් ආයතන සහ ආයෝජනයන් සඳහා පහසුකම් සැලසීම පිණිස පුද්ගලික-රාජ්‍ය හවුල්කාරිත්ව පදනම යටතේ ආයෝජන පහසුකම් සැපයීමේ ආකෘතියක් සැලසුම් කර ඇති අතර, ඒ යටතේ ‘කොළඹ කොටුව Heritage Square’,‘නිශ්චල දේපළ සංවර්ධන’ සහ ‘රජයට අයත් සත්කාරක අංශය’ වශයෙන් ආයෝජන කළඹ තුනක් (03) ක‍්‍රියාත්මක කිරීමට හඳුනාගෙන ඇතැ’ යි රජය විසින් ප‍්‍රකාශයට පත් කර ඇති 2021 මැයි 17 අමාත්‍ය මණ්ඩල තීරණවල දැක්වේ.
මෙම ආයෝජන කලබ තුනක් ලෙස හඳුන්වනු ලබන්නේ කොළඹ කොටුව අවට හෙරිටේජ් චතුරශ‍්‍රය ලෙස හැඳින්වෙන ප‍්‍රදේශය සංවර්ධනය, දේපොළ සංවර්ධනය සහ රජයට අයත් ඌන උපයෝජන සහ ඌන සංවර්ධිත හෝටල් සංවර්ධනය යන අංශ තුනය.
1. කොළඹ කොටුව හෙරිටේජ් ස්ක්වෙයාර් යටතේ පවරා ගැනෙන දේපල:
i. ග‍්‍රෑන්ඞ් ඔරියන්ටල් හෝටලය සහිත යෝර්ක් වීදිය ගොඩනැගිල්ල – අක්කර 1.57 ක භූමි ප‍්‍රමාණය
ii. ගෆූර් ගොඩනැගිල්ල – අක්කර 0.57
iii. විදේශ කටයුතු අමාත්‍යාංශ ගොඩනැගිල්ල – අක්කර 1.5
iv. මහ තැපැල් කාර්යාල ගොඩනැගිල්ල – අක්කර 0.81
2. නිශ්චල දේපල සංවර්ධන පහසුකම් සැලසීම යටතේ පවරා ගැනෙන දේපල
i. සී නෝර් අවන්හල – අක්කර 1.37
ii. වෝටර්ස්එජ් විශ්ව සංවර්ධන ව්‍යාපෘතිය
iii. යාපනය කන්කසන්තුරේ පිහිටි ජාත්‍යන්තර සම්බන්ධීකරණ මධ්‍යස්ථානය
3. රජයට අයත් සත්කාරක අංශය ලෙස හඳුන්වමින් පවරා ගැනෙන දේපල
i. කොළඹ හිල්ටන් හෝටලය
ii. කොල්ලූටියේ ඉදිකෙරෙමින් පවතින ග‍්‍රෑන්ඞ් හයට් හෝටලය
මෙම සංවර්ධනයන් අපේක්ෂාවෙන් රජය වෙත විශාල මුදලක් ආයෝජනය කළ යුතු හෙයින් ඒ සඳහා ණය ලබා ගැනීම, සම්පූර්ණයෙන්ම ආයෝජකයන් වෙත විකුණා දැමීම නැතහොත් රජයේ අඩු කොටස් ප‍්‍රමාණයක් සහිතව පුද්ගලික ආයෝජන සමග ඒකාබද්ධවීම, රාජ්‍ය හිමිකම අඩකට වඩා සහිතව කොටස් වෙළෙඳ පොළ වෙත ප‍්‍රවේශවීම යන අවස්ථා තිබුණි. මෙම අවස්ථා අතුරෙන් වත්මන් රජයේ තේරීම වී තිබුණේ රජයට සම්පුර්ණ ව්‍යාපාරයෙන් අර්ධයකට වඩා හිමිකම් සහිත ඉතිරි 49% සඳහා කොටස් වෙළෙඳ පොළ වෙත ප‍්‍රවේශ වීමය. අද විපක්ෂය විසින් ප‍්‍රශ්න කරනු ලබන්නේ මෙම 49% කොටස් වෙළෙඳ පොළ ප‍්‍රවේශයය.
මේ සඳහා ආදර්ශයට ගෙන ඇත්තේ සිංගප්පූරු රජය අනුගමනය කරනු ලබන තමාසෙක් ආකෘතිය ය. තමාසෙක් ආකෘතිය පිළිබඳව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස සිටියදීම වත්මන් ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප‍්‍රමුඛ නිලධාරීන් පිරිසක් හදාරනු ලැබ තිබුණි. ඒ අනුව රාජ්‍ය හිමිකම ආරක්ෂා කර ගනිමින්, කොටස් වෙළෙඳ පොළ ලැයිස්තු ගත සමාගම් බවට තම සංවර්ධන අවශ්‍යතාවය රජය විසින් පත් කරගෙන තිබෙන බව කිව හැකිය. තනි ආයෝජකයන් සොයා වෙහෙසීම මෙන්ම තනි ආයෝජකයාගේ අවදානම ද පහ කරමින්, රටේ ඕනෑම පුරවැසියකුට, වෙනකක් තබා අතේ සුළු මුදලක් ඇති උසස් අධ්‍යාපනය ලබන දරුවකුට පවා මෙම සමාගමේ කොටස් හිමියකු බවට පත්විය හැකිය. සෙලන්දිවා ආකෘතිය මගින් අහුරා ඇත්තේ, යම් ආයෝජකයකු වෙත මෙම දේපලක් හෝ ව්‍යාපාරයක බහුතර හිමිකම සඳහා ඇති අවකාශයය.
රජය විසින් මුදල් යෙදවීමෙන් පසු ඒ සඳහා ද වෙනත් ආයෝජකයකුට සේම රජයට ප‍්‍රතිලාභ ලැබිය යුත්තේය. එසේ වුවත්, සෙලන්දිවා යටතේ පවතින ඌන උපයෝජන ව්‍යාපාර දෙකක් ගෙන බැලූවහොත් ඒ සඳහා රජයට ලැබිය යුතු මුල්‍ය ප‍්‍රතිලාභ ලබාදී ඇත්තේ කෙසේද යන්න පෙන්වා දීමට හැකිය. කොළඹ නගර මධ්‍යයේ වටිනා පරිශ‍්‍රයක පිහිටි හිල්ටන් හෝටලය සඳහා ශ‍්‍රී ලංකා රජය ආයෝජනය කර ඇති මුදල රුපියල් බිලියන 14 කට ආසන්නය. එසේ වුවත් මේ වන තෙක් ඒ වෙනුවෙන් රජයට කිසිදු ලාභාංශයක් ලබාදී නොමැත.
දැනට ලංකා බැංකුවේ වත්කමක් ලෙස පවතින ඓතිහාසික පසුබිමක් සහිත ජී. ඕ.එච්. හෝටලය දැන් පවතින්නේ හතරවෙනි හරස් විදියේ පිහිටි පෙට්ටි කඩයකට වඩා මදක් හොඳ තත්ත්වයකය. නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මෙම හෝටලය නිරීක්ෂණය සදහා සහභාගී වූ අවස්ථාවේ දී එහි තත්ත්වය දැක කම්පනයට පත්වූ බව ආරංචිය. මෙම හෝටලය සඳහා වසර හතක් පුරා කිසිදු ප‍්‍රතිලාභයක් මුල්‍ය ලාභාංශ ලෙස ලංකා බැංකුවට ලැබී නැත.
ඒ එක පැත්තකි. අනෙක් පැත්තෙන් මෙම ව්‍යාපාර ඔහේ පරණ වාහනයක් දිරා යෑමට දමා සිටිනවා සේ, පැත්කට දමා සිටීමෙන් ඒවා වැසී යෑම සේම නව රැකියා අවස්ථා, ව්‍යාපාරික අවස්ථා සඳහා ඇති ඉඩකඩ අහුරා දැමීමක් ද සිදුවෙනවා ඇත. එසේ වූ විට ද බැණුම ආණ්ඩුවටය. මෙවැනි සාධනීය ආකෘතියක් යටතේ එම ආයතන සඳහා නව ආයෝජන අවස්ථා, රජයේ බහුතර කොටස් අයිතිය සහිතව හිමිකර දෙන විට, ඒ සඳහා ද මේ පිරිස් විරෝධය පාති.
පසුගිය රජය සමයේදී මෙම ව්‍යාපාර සඳහා අත්කරදුන් ඉරණමට හොඳ උදාහරණයක් වන්නේ, කොළඹ අරලියගහ මන්දිරයට ඉදිරිපසින් මදක් ගාලූමුවදොර පිටිය දෙසට වන්නට පිහිටා ඇති, හයත් හෝටලයේ ඉදිකිරීමය. මේ සඳහා අභ්‍යන්තර අලංකරණ කටයුතු භාර දෙන ලද්දේ විධිමත් ටෙන්ඩර් පටිපාටින්ට අනුව, ඉතාලියේ ප‍්‍රසිද්ධ සමාගමකටය. 2012 වසරේදී මහින්ද රාජපක්ෂ රජය යටතේ විධිමත් පටිපාටින්ට අනුව ඉදිකෙරුණු එම හෝටලයේ අභ්‍යන්තර අලංකරණය, කිසිසේත්ම නොවිමසා, අදාළ පාර්ශ්වයෙන් ඉවත් කිරීමට යහපාලන ආණ්ඩුව තීරණය කළේය. මේ හේතුවෙන් තරගකාරී ලෙස ටෙන්ඩරය ලබා ගත් සමාගම අධිකරණ ක‍්‍රියාදාමයට ගිය අතර ඒ වෙනුවෙන් අදාළ සමාගමට යුරෝ මිලියන 9.7ක මුදලක් වන්දි ලෙස ගෙවීමට සිදුව තිබේ. අද මේ සෙලන්දිවා සඳහා විරෝධය පානා පිරිස ආණ්ඩු බලය පැවති කාලයේදී මෙම ව්‍යාපාර සඳහා අත්කරදුන් ඉරණම එසේය. තමන්ට අවශ්‍ය පිරිසට ව්‍යාපාර ලබාදීම සඳහා සිදුකරන ලද කූට කටයුතු හි වන්දි ගෙවීම එතරම් ප‍්‍රබලය.
අනෙක් අතට වැදගත් වන්නේ සෙලන්දිවා හි විනිවිදභාවයය. එය විගණකාධිපති යටතේ විගණනය වන්නා සේම, කෝප් කමිටුවට ද මෙම ආයතනය වගකීමෙන් බැදී සිටියි. සෑම කාර්තුවකට වරක්ම අමාත්‍ය මණ්ඩලය වෙත ගිණුම් සහ තත්ත්ව වාර්තා ලබාදීම සඳහා සෙලන්දිවා බැඳී සිටියි. එසේම කොටස් වෙළෙඳ පොළ යාන්ත‍්‍රණය තුළ ද මෙම සමාගම විගණනය වන හෙයින් ආකෘති කිහිපයකට සෙලන්දිවා විගණනයෙන් අනාවරණය වේ.
සංවාද පැවැත්වීම, විමසීම් සිදු කිරීම අත්‍යවශ්‍යය. සමහර ගස් කපන්නේ නැසීමටය. සමහරක් ගස් කපන්නේ පලදායිතාවය ඉහළ නැංවීමටය. මේ ඌන උපයෝජන සහ ඌන සංවර්ධිත විවේචකයන් පැමිණෙන්නේ, මේ රටේ සංවර්ධනය නසා දමා රට එක තැන පල් කරන්නටය. ඒ එය බොහෝ කලාපීය රටවල අවශ්‍යතාවය ය. යහපාලන රජය සමයේ, රාජපක්ෂ ආණ්ඩුව ආරම්භ කරන ලද ව්‍යාපෘති පවා පස්සට අද්දන ලද්දේ, අකාර්යක්ෂමතාව නිසාම පමණක් නොවේ. මෙවැනි කුමන්ත‍්‍රණ වංගු ද ඒ අතර තිබෙන බව පෙනේ.
මනෝජ් අබයදීර