චීනයේ දරුණු පාඩම

1843

ඉන්දියානුවාගෙන් බේරුනාට චීනාගෙන් බේරෙන්නට බැරි බව මේ මොහොතේදී අපට සක් සුදක් සේ පසක් වී තිබේ. (සක්සුදක් යනු හක් ගෙඩියේ සුදු පැහැය යන අරුත ඇති පැරණි උපමාවකි. ඔය කියන තරම් සුදු පාටක් හක් ගෙඩිවල නැත. ඇතැම් හක් ගෙඩි මුහුදින් මතු වෙන්නේම කහ ගැහී දුර්වර්ණ වෙලාය. එබැවින් මේ උපමාව සාධනීය නැති බව අප පෙන්වා දෙන්නේ ප‍්‍රයෝගික ලෙස සිංහල ලිවීමට කැමති පාඨකයන් වෙනුවෙනි). ඉන්දියානුවා බටහිර ජැටිය ඉල්ලූවේය. ඔවුන් එම ඉල්ලීම කළේ බටහිර ජැටිය ඔවුන්ට දෙන බවට අපේ රට දුන් පොරොන්දුවක් අනුවය. එහෙත් ආණ්ඩුව නැගෙනහිර ජැටිය නොදී ඒ වෙනුවට ජැටියක් හදාගැනීම පිණිස කොළඹ වරායේ දකුණු කොටසේ වූ සාගර කලාපයක් කෝටිපති ඉන්දියානු ව්‍යාපාරික ගෞතම් අදානිට වික්කේය. තමන්

 රැුවටීමකට ලක් කිරීම ගැන කලබලයක් නොකළ ඉන්දියානුවෝ තමන්ට ලැබුණු සාගර කලාපයෙන් සැනසීමට පත්වූහ. චීනා එසේ නොවෙයි. ඔහු අර්වීනියා බැක්ටීරියාව සහිත කාබනික පොහොර ටොන් 20000 ක් රැගත් නැව ගෙනවුත් විටින් විට ආණ්ඩුවේ හප්පන බව දැන් පැහැදිලිය.

 ශ‍්‍රී ලංකාව විසින් මෑත ඉතිහාසයේදී කරන ලද ලොකුම මෝඩකම හම්බන්තොට වරාය චීනුන්ට විකිණීම බව ඔබ හිතනවා ඇත. එහෙත් ලංකාව කළ බලගතුම මෝඩකම වන්නේ කාබනික පොහොර තොගයක් චීනයෙන් ඕඩර් කිරීමය. රසායනික පොහොර පිටුදැකීමේ ජාතික අරගලයේ කොටසක් වශයෙන් මහ කන්නයේ වගාව සඳහා කාබනික පොහොර ටොන් විසි ලක්ෂයක් ක්ෂණිකව චීනයෙන් ගෙන්වීම පිණිස ඩොලර් මිලියන අටක ටෙන්ඩරයක් මීට දෙමසකට පමණ පෙර චීනයේ ක්වින්ඩා ඕ බයෝ ටෙක් නමැති කාබනික පොහොර සමාගමට භාරදීමේ කතාව මේවන විට අපේ පාඨකයන්ට කට පාඩම් ය. එම පොහොර තොගයේ සාම්පල් ශ‍්‍රී ලංකාවේ ජාතික පැළෑටි නිරෝධායන ආයතනය විසින් පරීක්ෂා කරන ලදුව එම සාම්පල් තුළ තිබූ අර්වීනියා නමැති ක්ෂුද්‍ර ජීවියා හඳුනාගැනීමේ කතාවද අපේ පාඨකයාට කට පාඩම් ය. අර්වීනියා ක්ෂුද්‍ර ජීවියා මනුෂ්‍යයාගේ මහා අන්ත‍්‍රයට හෝ කුඩා අන්ත‍්‍රයට ගියොත් මුළු මහත් ආහාර ජීර්ණ පද්ධතියම කාබනික පොහොර තොගයක් බවට පත්වෙයි. (මේ ටික අපේ පාඨකයාට කට පාඩම් නැත) එබැවින් චීන පොහොර තොගය වහාම ප‍්‍රතික්ෂේප කරන ලදී. එහෙත් එය නොතැකූ චීන්නු Hippo Sprint නමැති භාණ්ඩ ප‍්‍රවාහන නෞකාවට පොහොර ටොන් 20000 පටවා ටෙන්ඩර් ගිවිසුමේ අඩංගු වගන්ති ප‍්‍රකාරව ලංකාවට එව්වේය. එතැන් සිට කතාව පාඨකයාට කට පාඩම් ය. පොහොර තොගය ලංකාවට ඒම වැළැක්වීම සඳහා ආණ්ඩුවේ පොහොර ඒජන්සිය වන ලංකා පොහොර සමාගම උසාවි ගොස් චීන පොහොර තොගයට මුදල් ගෙවීමට නියමිතව සිටි මහජන බැංකුවට විරුද්ධව වාරණ නියෝගයක් ගනී. එවිට චීනය මහජන බැංකුව බ්ලැක් ලිස්ට් කරයි. ඒ අතර චීන පොහොර නැව ලංකාව ආශ‍්‍රිත මුහුදේ යාත‍්‍රා කරමින් පවතී. මේ නැව ඉකුත් සෙනසුරාදා රාත‍්‍රියේදී කොළඹ වරායට මුහුදු සැතපුම් 25 ක් ඈතින් කළුතර පැත්තේ යාත‍්‍රා කරන බව දැන ගැනීමට ලැබිණ. ඊට පෙර සතියේදී මේ නැව සම්පූර්ණයෙන්ම අතුරුදන් විය. ඊටත් පෙර සතියේදී එය ලංකා මුහුදු සීමාවේදී දක්නා ලදී. මෙහිදී මේ පුවත්පත පෙර කතුවැකියකින් කියා සිටියේ මෙය පොහොර නැවක් නොව පොහොර සබ්මැරීනයක් බවය. විටෙක දිය මතුපිට පෙනී සිටීමටත් තවත් විටෙක නොපෙනී යෑමටත් හැකියාව ඇත්තේ නාවික යාත‍්‍රා වර්ග දෙකකටය. ඉන් පළමුවැන්න මධ්‍යකාලීන යුගයට අයත් මනඃකල්පිත භූත නෞකාය. දෙවැන්න සබ්මැරීන් ය.

 කෙසේ වුවද අවසාන ප‍්‍රතිඵලය වශයෙන් පොහොර නැවේ ප‍්‍රශ්නය විසඳා ගැනීමට චීනයට වුවමනා වූ බව අපට දැනගන්නට ලැබිණ. ඒ සඳහා චීනය කොන්දේසි ඉදිරිපත් කර ඇත. ඒ මෙසේය. පොහොර ටෙන්ඩරයේ ගිවිසගත් මුදල වන ඇමරිකානු ඩොලර් මිලියන අටෙන් 70% ක ප‍්‍රමාණයක් එනම් ඩොලර් මිලියන 5.6 ක් ලංකා ආණ්ඩුව විසින් චීනයේ කාබනික පොහොර කොම්පැනියට ගෙවිය යුතුය. ඊට අමතරව පොහොර තොගය කොළඹ වරායට ගොඩබෑමට සිදුවීම නිසා ඉන්දියන් සාගරය පුරා රස්තියාදුවීමට සිදුවීම නිමිත්තෙන් තවත් ඩොලර් මිලියන 36 ක ගාස්තුවක් ද පොහොර කොම්පැනියට ගෙවිය යුතුය. (මේ සියලූ මුදල් එකතුකර ලංකාව ඇතුළේම කාබනික පොහොර කොම්පැනියක් පටන්ගත හැක.) ඊටත් අමතරව ලංකා ආණ්ඩුව විසින් චීන පොහොර නැව හරවා යවන ලද්දේ අර්වීනියා විෂබීජය පොහොරවල තිබූ නිසා නොව පොහොර ආනයන බලපත‍්‍රයේ තිබූ දෝෂයක් නිසා බවට ලංකා ආණ්ඩුව ප‍්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කළ යුතුය. මේ කතාවෙන් අපට හැඟී යන්නේ චීනා යනු රවටන්නට නොහැකි නමුත් සිය කැමැත්තෙන් රැවටීමට කැමති ජාතියක් බවය. ලංකා ආණ්ඩුව චීන පොහොර තොගය ප‍්‍රතික්ෂේප කළේ එහි තිබූ ක්ෂුද්‍ර ජීවීන් නිසා බව මුළු මහත් ආසියාවම මේවන විට දනී. මේ නිසා ඉදිරියේදී චීනයේ ක්වින්ඩා ඕ පොහොර සමාගමෙන් ඒ රටේ මිනිස්සුවත් පොහොර නොගන්නවා ඇත. පොහොර කේස් එක නිසා ඔවුන්ට වූ ඩැමේජ් එක එපමණටම විශාලය. ඉහත සඳහන් නිවේදනය ඇත්ත දැන දැනම චීනුන් සිය කැමැත්තෙන් රැවටීමට ලක්වීමකි. අවසන් වශයෙන් අපට හැඟී යන්නේ පොහොර තොගය ආපසු රැුගෙන යෑම සඳහා ටෙන්ඩර් මුදලින් 70% ක් ද නැව් ගාස්තු ඩොලර් මිලියන  32 ක් ද පොහොර ආනයන බලපත‍්‍ර සම්බන්ධයෙන් නිවේදනයක්ද ඉල්ලා සිටීමෙන් චීනය අපට දරුණු පාඩමක් උගැන්වීමට සූදානම් වන බවය. චීනය තම දේශසීමාවේ පිහිටි රටවල් සම්බන්ධයෙන් අනුගමනය කරන හිංසාකාරී ප‍්‍රතිපත්තිය ගැන මේ පුවත්පත තවමත් වචනයක්වත් කතා කර නැත. ඒ ගැන හෙළි කිරීමට ඉදිරියේදී අපට සිදු නොවේවා.

advertistmentadvertistment