චීනය, ඉන්දියාව සහ ලබන සිංහල අවුරුද්ද

1166

ඉකුත් සති අන්තයේ හැටන් නගරයේ මහජන වෙළෙඳපොළේ මාළු මිරිස් කිලෝවක් රුපියල් 750 කි. ඒ අනුව එක් මාළු මිරිස් කරලක් රුපියල් 50 ක් වෙයි. මෙකල බිත්තරයක උපරිම මිල රුපියල් 24 කි. ඒ අනුව මාළු මිරිස් කරලක් ගන්නා සල්ලිවලින් බිත්තර දෙකක් ගෙන රුපියල් 2 ක් ඉතිරි කර ගැනීමටත් පුළුවන. ඉකුත් සති අන්තයේදී මේ කියන හැටන් මහජන පොළේ හැම එළවලූවක්ම කිලෝව රුපියල් 400 ඉක්මවීය. හැටන් යනු එළවලූ නිෂ්පාදනය කරන පළාතකි. මේ එළවලූ ලොරිවල පටවාගෙන කොළඹ පැමිණි කල තත්ත්වය තවත් දරුණුය. ඉකුත් සෙනසුරාදා බෝංචි කිලෝවක කොළඹ මිල රුපියල් 600 කි. එනම් බෝංචි කරලක් රුපියල් 6 ක් පමණ වෙයි. බෝංචි කරල් 4 ක් ගන්නා මුදලින් බිත්තරයක් ගත හැකිය. මෙකල මිල අඩුම එළවලූව වට්ටක්කාය. එහි කිලෝවක මිල රුපියල් 40 කි. ලාභම පලතුර ඇඹුල් කෙසෙල් ය. එයින් කිලෝවක් එක්කෝ රුපියල් 50 කි. නොඑසේ නම් රුපියල් 60 කි. ශ‍්‍රී ලංකාව හිටි හැටියේම වට්ටක්කා සහ ඇඹුල් කෙසෙල් වලින් ස්වයං පෝෂිත වූයේ කෙසේද? මේ අතර විද්වතුන්ගේ විද්වත් කටවල් වලින් ඉතා භයානක කතාවක් පැතිර යමින් පවතී. ඒ වූ කලී ලබන අවුරුද්දේ අපේ‍්‍රල් මාසය වන විට රටේ මිනිසුන්ට කන්නත් නැතිවන බවය. මොනවා නැතිවන බව කීවත් ගණන් නොගන්නා මිනිස් චින්තනය කන්න නැතිවන බව කීමෙන් මහත් සේ අර්බුදකාරී තත්ත්වයකට පත්වෙයි. සියලූම මිනිසුන්ටත් සතුන්ටත් ජීවත් වීමට කෑම අවශ්‍යය. ගහ කොළ වලට පොහොර අවශ්‍යය. කිසියම් රටක ආහාර නැතිවීමට පටන් ගත් විට ඒ රටවල Food Riot පටන් ගැනීමට ඉඩ ඇත. ෆුඞ් රයට් එකක් යනුවෙන් හඳුන්වන්නේ ආහාර හිඟය නිමිති කරගෙන හටගන්නා කැරැල්ලකි. පොහොර නැතිව නන්නත්තාර වන ගහ කොළ වලට කැරලි ගැසීමට නොහැක. එයට හේතුව ගහ කොළ වලට මොළය නැති වීමත් එහා මෙහා ගමන් කිරීමේ හැකියාව නැති වීමත්ය. එහෙත් මිනිස්සු එසේ නොවෙති. කෑම හිඟය දරුණුවට පටන් ගත් විට ඔවුහු කඩ කඩා බලෙන් බඩු රැගෙන ගොස් උයා පිහාගෙන කති. 1789 දී ප‍්‍රංශයේ කෑම හිඟයක් ඇතිවිය. එවිට කඩු පොලූ රැුගත් ගෘහණියෝ රජ මාලිගය වැටලූහ. 1977 දී ඊජිප්තුවේ පාන් හිඟයක් ඇතිවිය. එවිට කඩු පොලූ අතින් ගත් මිනිස්සු පාරට බැස රථ වාහනද බිල්ඩින් ද ගිනි තබන්නට පටන් ගත්හ. ෆුඞ් රයට් එකක් නිතරම පටන් ගන්නේ රටේ පහළ මධ්‍යම පන්තිය සහ දුප්පත් පන්තියේ ජනයාගෙනි. මේ කට්ටිය අරගලයක් කරන්නට යන බව දැනගත් සැණින් එම සටනට නායකත්වය දීම සඳහා දේශපාලනඥයෝ රොක් වෙති. මේ සටනේ පෙරමුණ ගන්නා දේශපාලනඥයා අවසානයේදී නවතින්නේ පාර්ලිමේන්තුවේය. සටන් කළ ජනයා තුවාලවලට බේත් දමා ගැනීම පිණිස නිරාහාරවම ගෙදර ගොස් කඳුළු බී සුළං අනුභව කර ඊළ`ග තෙක් නිදති. මේ තමයි මේ රටේ කම්කරු පන්තියේ නූතන යථාර්ථය. ඇත්තම කතාව නම් අද මේ රටට කම්කරු පන්තියක් නැත. ඉන්නේ මධ්‍යම පාංතික හෝ පහළ මධ්‍යම පාංතිකයන් පමණි. එදා කම්කරු පංතිය නාවර පෙරාගෙන සිටියාක් මෙන් අද කම්කරු පංතිය නාවර පෙරාගෙන ඉන්නේ නැත. ඔවුන්ගෙන් වැඩිදෙනා අත ස්මාර්ට් ෆෝන් එකක් ඇති අතර හැමදාම එයට ඬේටා කාඞ් එකක් එබීමට ඔවුන්ට පුළුවන. එයින් අදහස් කෙරෙන්නේ ඬේටා ගැනීමට ඔවුන්ට සල්ලි ඇති බවයි. එහෙත් සල්ලි දීලත් ආහාර ගන්නට බැරි නම් එතැන් සිට පටන් ගන්නේ භයානක ආරවුලකි.

 ශ‍්‍රී ලංකාව තුළ ආහාර අර්බුදයක් හටගැනීම වළක්වාලීම සඳහා ආණ්ඩුව හැම ගැටයක්ම ගහයි. ඒත් ලෙහන්නට බැරි ගැටයක් ගසා ගැනීමට ආණ්ඩුවට තවම හැකිව නැත. මේ මොහොතේදී ආහාර වර්ග සියල්ලෙහිම වාගේ මිල පාලනයෙන් ඉවත්වී තිබේ. එක තැනක රුපියල් 134 ට දෙන සීනි කිලෝව තව තැනකදී 144 කි. තවත් තැනක රුපියල් 200 කි. මෙහෙම යනවිට දරන්නට බැරි තරම් මිල ඉහළ යෑම නිසා අත්‍යවශ්‍ය බඩු ගැනීමට ජනයාට නොහැකි වනවා ඇත. එහෙත් විද්වතුන්ගේ මතය අනුව ලබන අපේ‍්‍රල් මාසය වනවිට අපට කන්න නැතිවනු ඇත්ද? ඒ පිළිබඳව අප දන්නා කරුණු ආශ‍්‍රයෙන් ගොඩන`ගා ගන්නා ලද අපගේ මතය මෙසේය.

 ශ‍්‍රී ලංකාව තුළ ආහාර කැරැුල්ලක් හැට ගැනීමට ඉන්දියාව කිසිසේත්ම ඉඩදෙන්නේ නැත. එබඳු දෙයක් හට ගත්තොත් එය ඉන්දියාවට නරකය. ඕනෑම රටක ආහාර කැරැුල්ලක් දරුණුවටම හට ගත්තොත් අවසාන ඵලයේදී එය එම රටේ ආණ්ඩුවේ පැවැත්මට බරපතළ හානියක් වෙයි. එය තවදුරටත් කළමනාකරණය කර ගැනීමට බැරි තරම් දරුණු තත්ත්වයකි. ඉන්දියාව අපේක්ෂා කරන්නේ මේ රට තුළ ආණ්ඩු පෙරළියක් වෙතොත් එය නිත්‍යානුකූල ලෙස පාර්ලිමේන්තුව හරහා මහජන ඡුන්දයකට පසුව සිදුවනු දැකීමය. එසේ නොවී කිසියම් රස්තියාදුකාරයන් පිරිසක් අතට මේ රටේ බලය යෑම ඉන්දියාව ඉවසන්නේ නැත. ලංකාව තුළ ඉන්දියානු දේපල රැුසක් තිබේ. ඉන්දියාව තව දේපල රැුසකට ආයෝජනය කිරීමට ද සූදානම්ය. මිනිසුන්ට කන්න නැතිව ගොස් ආහාර කැරැුල්ලක් හටගෙන රටේ පාලනය හරක් කටා, ලඩියා වැනි රස්තියාදුකාරයන් අතට ගියොත් එය ඉන්දියාවට ලොකු හානියකි. ඒ නිසා මේ රටේ ජනතාවට කන්න දී ආණ්ඩුව රැුකදීමට ඉන්දියාව ඉදිරිපත් විය හැකි බව අපගේ විශ්වාසය වේ. ලංකාව සම්බන්ධයෙන් චීනයටද මෙවැනිම කැක්කුමක් තිබේ. හරක් කටා හෝ ලඩියාගේ ස්ටෑන්ඩඞ් එකේ කෙනකු රටේ බලයට පත් වුණොත් හම්බන්තොට චීන වරාය, ගෝල්ෆේස් එකේ චීන ඉඩම්, කොළඹ පෝර්ට් සිටි එක වැනි සියල්ල අවදානමේ දමා ගැනීමට චීනයට සිදුවෙයි. කවුරුත් බලන්නේ තමන්ගේ පර්චස් භාගය රැුක ගන්නේ කොහොමද යන්න ගැනය. මේ නිසා අපේ‍්‍රල් මාසයේ බරපතළ කෑම හිඟයක් ඇතිවී ජනතාව කලබලයට පත්වීමක් සිදුනොවන බව අපට විශ්වාසය. (හැබැයි අපගේ විශ්වාසය කඩවුණු අවස්ථා බොහොමයක් තිබේ.)

advertistmentadvertistment
advertistmentadvertistment