මධ්‍යම කඳුකරයේ මිටියාවතක පිහිටි නුවරඑළිය මෙරට සුවිශේෂී නගරයවලින් එකකි. කඳු මුදුන්වලින් කඩා හැළෙන මහ දියඇලි, විසල් තේ වතු, එළවළු වගා බිම්, මල්, පලතුරුවලින් පෝෂිත නුවරඑළිය දෙස්, විදෙස් සංචාරකයන්ගේ පාරාදීසයක් බවට පත්ව ඇත. නුවරඑළිය, රම්බොඩ ප්‍රදේශය පසු කර ගෙන ඉදිරියට යනවිට මඟ දෙපස වාහන පසුපස දුවමින් මල් විකුණන පොඩිත්තන්, තරුණයන් අප නෙතට සුලභ දසුනකි. දේශීය සංචාරකයන් මේ එතරම් නොතකන දර්ශනය වුව ද විදේශීය සංචාරකයන්ට මෙය මහත් විශ්මයජනක අත්දැකීමක් වේ. එලෙස තම මහන්සියෙන් ජීවිතය ජය ගැනීමට වෙර දරන පුංචි දරුවෙක් පිළිබඳ මේ වනවිට සමාජ මාධ්‍ය තුළ බොහෝ සෙයින් කතාබහට ලක්ව ඇත. චීනයේ ප්‍රසිද්ධ අපේ රටේ මල් කොල්ලෙක් ගැන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙමින් තිබේ. ස්වෝත්සාහයෙන් සිය ජීවන ගමන ගෙන යන මේ උත්සාහවන්ත තරුණයාගේ වීඩියෝව දැනට නැරඹුම් වාර කෝටි 13ක් ද ඉක්මවා තිබීම විශේෂත්වයකි. චීනයේ සමාජ මාධ්‍ය තුළ ඉතා වේගයෙන් සංසරණය වූ අතේ මල් පොකුරක් තබාගෙන සංචාරකයන්ට පෙන්වමින් පාර දෙපසට සිනහමුසුව දිව යන මේ තරුණයා කොත්මලේ ප්‍රදේශයේ ජීවත්වන වයස අවුරුදු 17ක් වන දිලීප් මදුසංකයි.

තම අව්‍යාජ සිනාවෙන් මිත්‍රශීලීව සංචාරකයන් සමග කටයුතු කිරීම නිසා මොහු මෙලෙස ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. දිලීප් ජීවත් වන්නේ තම මව පියා හා සහෝදරියන් දෙදෙනා සමගය. 10 වසරෙන් පසු පවුලේ ඇති වූ ආර්ථික ප්‍රශ්න නිසාවෙන් තම පාසල් ජීවිතයට සමු දීමට සිදුවූ බව ඔහු පවසයි. දිලීප් අවට නිවෙස්වලින් මල් කඩා, කැලේට ගොස් කොළ ගෙනැවිත් ඒවා මල් පොකුරුසේ මිටි බැඳ සංචාරකයන්ට අලෙවි කරයි. බැලූ බැල්මට මේ ඉතා සුළු ක්‍රියාවක් සේ හැඟුණ ද ඔහු එක මලක් හෝ විකුණා ගැනීමට දරන උත්සාහය ඉතාමත් කර්කශය. මෙලෙස සාදාගන්නා මල් පොකුරු ඔහු අලෙවි කරන්නේ රම්බොඩ පසු වනවිට හමුවන සුන්දර කොණ්ඩගල නම් ප්‍රදේශයේ මාර්ගය දෙපස සිට ය. ඔහු සංචාරකයන්ගේ වාහන පසුපස මාර්ග කිහිපයක් ඔස්සේ ම කිලෝමීටර් 4ක් 5ක් දුවමින් වාහනේ ඉදිරිපසට පැමිණෙමින් මල් කළඹ සංචාරකයන්ට පෙනෙන සේ ඔසවා සිනාමුසු මුහුණින් මල් අලෙවි කිරීමට මහත් වෙහෙසක් දරයි. දිලීප් පවසන ආකාරයට කොතරම් මහන්සි වුවද එක් මලක් හෝ විකුණා ගැනීමට නොහැකිව හිස් අතින් ගෙදර යෑමට සිදුවන දවස් බොහෝමයක් ඔහු අත්විඳ ඇත. දිනකට කිලෝමීටර් ගණනාවක් කඳු බෑවුම් දිගේ ඉහළ පහළ දුවමින් ජීවත්වීම සඳහා දරන වෑයම දන්නේ ඔහු ම පමණි.

තම කටුක රැකියාව සිනහවෙන් භාර ගන්නා දිලීප් අද වනවිට චීනයේ මහත් ජනප්‍රියත්වයට පත්ව ඇත. වාහන පසුපස දිව ගොස් මාර්ගයේ කිහිප තැනකින්ම වාහනය ඉදිරිපසට සිනහ මුසු මුහුණින් පැමිණෙන දීලීප්ගේ මෙම ක්‍රියාව විදෙස් සංචාරකයන්ට මහත් විස්මයක් ගෙන දෙන්නක් විය. දිලීප් චීනයේ කොතරම් ජනප්‍රිය වී ඇත්දැයි කිවහොත් චීනයේ සිත්තරුන් මෙන්ම කුඩා දරුවන් ද ඔහුව සිතුවමට නඟා තිබේ. ඔහුගේ මෙම වීඩියෝවට චීන ජාතිකයන් අදහස් දක්වා තිබුණේ මෙලසිනි.

‘එයා වෙනුවෙන් ශ්‍රී ලංකාවට යන්න ආස හිතුණා. වෙන දෙයක් නිසා නෙවෙයි එයාගේ දිලිසෙන ඇස් නිසා’

‘මැයි මාසේ මම ලංකාවට යන්න තීරණය කළා. මේ මල්ලිගේ සිනාව හා එයාගේ මල් නිසාම’

‘එයා මල් පොකුර ඔසවාගෙන ඉන්නෙ හරියට පුංචි කුමාරයෙක් වගේ’

‘එයා හරිම කෙට්ටුයි, නමුත් ජීවිතේට ආදරය කරන ගොඩක් වෙහෙස මහන්සි වෙන ඔහු ඇත්තටම කඩවසම්. මම දවසක ලංකාවට ගියොත් මමයි මගේ යාළුවොයි එයාගේ මල්වලට කැමති වේවි. එයාව හඳුනගන්න ආසයි’

මෙම වීඩියෝවෙන් පසුව දිලීප් සොයා පැමිණෙන චීන ජාතිකයකු දිලීප්ගේ නිවස වෙත ගොස් සංවේදී වන ආකාරය ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ. අද වනවිට අප රටේ මේ පුංචි මල් කොල්ලා සොයා ගෙන පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් ඔහුගෙන් මල් රැගෙන ඔහු සමග ඡායාරූපයක් ගැනීමට ද අමතක නොකරයි. ඒනිසා ම ඔහුගේ මල් වෙනදාටත් වඩා අලෙවි වන බව දිලීප් පවසයි. දිලීප් මාධ්‍ය වෙත පවසා තිබුණේ ඔහුගේ නිවස හා ඔහුගේ ආච්චිගේ නිවස සාදාගැනීම සිය බලාපොරොත්තුව වන බවයි.

ලෝකයේ මල් විකුණන අය බොහෝ ඇතත් දිලීප් වෙත ලෝකයේ අවධානය යොමු වූයේ කඳුහෙල් පසු කර සැතපුම් ගණනක් දිවූව ද ඒ හති මැද්දෙන් පවා මිහිරිව සිනාසෙන නිසාය. දුක මැදින් සිනාසෙන අපේ මල් කොල්ලා ජාත්‍යන්තරයට ගියේ ඒනිසා වෙනි. දිලීප්ගේ සිනාවෙන් මෙරට සංචාරක ව්‍යාපාරයට වටිනාකමක් එක් කළාට අප සැවොම දිලීප්ට කෘතවේදී විය යුතුය. ජීවිතයට කෙතරම් බාධක පැමිණියත් තම ජීවිතය අත් නොහරින දිලීප් මඩ ගොහුරක අලංකාරව පිපෙන නෙළුම් මලක් වැනි ය. ජීවිතය දිනන්නට කටුක වුවත්, ආදරණීය මාර්ගයක් තෝරා ගත් දිලීප් අප රටේ තරුණ පරපුරට ද මහත් ආදර්ශයකි. ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් දහදිය හෙළන, කැපවෙන සියලුදෙනාට සමාජයේ උපරිම ගෞරවය කෙදිනක හෝ හිමිවිය යුතුම ය. ඔබත් නුවරඑළිය, මහනුවර ප්‍රධාන මාර්ගය පසුකර සංචාරයේ යෙදෙන්නේ නම් මෙම තරුණයන්ගෙන් මලක් හෝ ලබාගෙන ඔවුනට ජීවිතය ගැටගසා ගැනීමට හැකි පමණින් උපකාර වන්න. ලංකාවේ දහදිය වගුරන පීඩිත ජනතාවගේ එක් කඳුළක් හෝ වියකෙනවා දැකීම අපගේ ප්‍රාර්ථනය යි.

රශ්මි කරුණාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment