චීනය සමග යුද නොකළ යුත්තේ ඇයි?

2296

දෙවන ලෝක යුද්ධයේදී ජර්මනිය පරදවාලීමට සුවිශාල කාර්යභාරයක් ඉටුකළ බි‍්‍රතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් ගේ චරිතාපදානය ලියන ලද්දේ ඔහුගේම පුත‍්‍රයා වූ රැන්ඩොල්ෆ් චර්චිල් විසිනි. චීනය සමග කිසි කලෙකත් කිසිවකුත් විසින් යුද්ධයක් ආරම්භ නොකළ යුතු බවත් ඒ යුද්ධයට සහභාගි වනු පිණිස කූඹි ගුල් වලින් කූඹින් එන්නාක් මෙන් චීනුන් ඉදිරියට එන බවත් එසේ එන පරම්පරාව මරා ඉවර කිරීමට අවුරුදු හතළිහක් පමණ ගතවිය හැකි බවත් එම අවුරුදු හතළිහ තුළදී තවත් චීනුන් පරම්පරා දෙකක් යුද කිරීම පිණිස පෝලිමේ සිටින බවත් මේ පොත ලිවීමේදී චර්චිල් තම පුත‍්‍රයාට කීවේය. චීනය පිළිබඳ එදාටත් අදටත් හෙටටත් වලංගු විය හැකි පරම සත්‍යය මෙය වේ. චීනය යනු ඇඟපතින් මෙන්ම ධන බලයෙන්ද යෝධයකු බවට පත්ව සිටින රාජ්‍යයකි. ඉදිරි අවුරුදු තිහ තුළ ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ තිබෙන සියලූම ගොඩනැගිලි චීන බැංකුවලට සින්නවන බවට කතාවක් තිබේ. චීනය දැනට සිටින තත්ත්වයට පත්ව සිටින්නේ ඉමහත් දුක් කන්දරාවක් දරාගැනීමෙන් පසුවය. එසේම මෙයට ශත වර්ෂයකට පමණ පෙර චීනයේ පිහිටි ධනවාදී වැඩවසම් ක‍්‍රමය පරාජය කර සමාජවාදයට පැමිණීම සඳහා චීන ජන සමාජය විශාල කැප කිරීමක් කළේය. ඒ නිසා මේවනවිට ලෝකය තුළ ඕනෑම ගේමක් ගසා ගැනීමට චීනයට පුළුවන. එබැවින් චීනය සමග හැපෙන්නට යෑම හොඳම නැත.

ශ‍්‍රී ලංකාව විසින් පසුගිය කාලයේදී ගන්නා ලද මෝඩ දේශපාලන තීන්දු කිහිපයක් තිබේ. ඉන් පළමුවැන්න වන්නේ අවශ්‍ය ප‍්‍රමාණයට වඩා ඉන්දියාවට විරුද්ධ වීමය. ජනාධිපති පේ‍්‍රමදාස ඉන්දියාව සමග ඕනෑවට වඩා හැප්පෙන්නට යෑමෙන් ඉතා නරක ඉරණමක් බුක්ති වින්දේය.

ශ‍්‍රී ලංකාව විසින් ගන්නා ලද දෙවැනි මෝඩ තීන්දුව වන්නේ ඕනෑවට වඩා චීනයට කිට්ටු වී පෝර නැවේ සිද්ධියේදී ඕනෑවට වඩා චීනය සමග හැප්පෙන්නට යෑමය. මීටත් එහා යමක් 2015 යහපාලන ආණ්ඩුව බලයට පත්වීමේදී සිදුවිය. ඒ වූකලී පෝර්ට් සිටි ගිවිසුම අවලංගු කිරීමට ඒ ආණ්ඩුවේ සිටි සමහරු උත්සාහ කිරීමය. යහපාලන ආණ්ඩුව බලයට පත්වන විට පෝර්ට් සිටියෙන් අඩකටත් වඩා ගොඩකර තිබුණි. තම දේශසීමාවේ පිහිටි රටක් තමන් සම්බන්ධයෙන් මෙවන් උත්සාහයක් දැරුවේ නම් චීනය ඒ රට කණපිට හරවනවා ඇත. අපේ වෙලාවට ලංකාව පිහිටියේ ඉන්දියානු සාගරයේය. චීනයේ සිට මුහුදෙන් ආවොත් ශ‍්‍රී ලංකාවට පැමිණීමට දවස් දෙක තුනකට වැඩි කලක් ගතවෙයි. එබැවින් සහ තවත් රාජතාන්ත‍්‍රික හේතූන් කිහිපයක් නිසා චීනය පෝර්ට් සිටි සිද්ධියේදී කරබාගෙන සිටියේය. ඒ අතර යහපාලන ආණ්ඩුව හම්බන්තොට ගුවන්තොටුපළ අනූ නව අවුරුද්දකට චීනයට බදු දුන්නේය. ඒ නිසා ලංකාව සම්බන්ධයෙන් ආක‍්‍රමණික සිතක් ඇතිකර නොගැනීමට චීනය කල්පනා කරන්නට ඇති. ශ‍්‍රී ලංකාව 100% ක් කාබනික පොහොර භාවිත කරන ලෝකයේ පළමුවැනි රට බවට පත් කරන්නට පොහොට්ටු ආණ්ඩුවට තිබුණේ පුදුම හදිසියකි. ඒ හදිසිය හටගන්නේ මුළු ලෝකයම ආර්ථික අවපාතයක් තුළ සිරවීමත් කොවිඞ් 19 වසංගතය විසින් එම ආර්ථික අවපාතය ඩබල් කිරීමත් එසේ ඩබල් කරනු ලැබීම ශ‍්‍රී ලංකාවට ඉතා තදින් දැනීමත් යන කාරණාත් එක්කය. සෑම අවුරුදු 200 ට වරක්ම ලෝකය පුරා අර්ධ හිම යුගයක් පැතිරෙයි. තවත් අවුරුදු 20 කින් එම යුගය උදාවන බව කියනු ලැබේ. එසේම සෑම අවුරුදු හතකට හෝ අටකට වරක්ම ලෝක ආර්ථිකය තුළ කිසියම් අවපාත තත්ත්වයක් හටගනී. වැඩිදෙනා නොදන්නවාට 2020 වූකලී එම අවුරුදු අටේ හත්වන අවුරුද්දය. ඒ අනුව 2021 අවසානය වනවිට තත්ත්වය වඩාත් නරක්වී 2022 මැද හරිය වනවිට ලෝක ජනතාවට ගොක්කොල පෙනෙන්නට පටන් ගනී. මෙසේ උත්සන්න වූ ආර්ථික අවපාතය ඊළඟ අවුරුදු කිහිපයේදී ක‍්‍රමයෙන් පහව ගොස් හරියට අවුරුදු හතක් හෝ අටක් පිරෙන විට යළි උච්ච වෙයි. අපට සල්ලි එන්නේ පිට රටිනි. අපිට කොරෝනා ආවේත් පිට රටිනි. මේ සියලූ දේ සඳහා මුහුණ දීමටත් ජනතාව වස විස කෑමෙන් ඇතිවන රෝගාබාධවලට බෙහෙත් කිරීමට යන වියදමත් බැලන්ස් කර ගැනීමට ආණ්ඩුව රැයක් එළිවන විට සමස්ත ලංකා මට්ටමෙන් කාබනික පොහොරවලට ගියේය. දැන් ඉතිං හදිසියේ කාබනික පොහොර කොහෙන් හොයන්නද? අනෙක් හැම දේකටම මෙන්ම කාබනික පොහොර සිද්ධියේදී ද ඉදිරියට ආවේ හෝ ඉදිරියට ගන්නා ලද්දේ චීනයයි. අන්තිමට චීනයෙන් ඕඩර් කරන ලද පොහොර තොගය ක්ෂුද්‍ර ජීවීන්ගෙන් දූෂණය වී ඇති නිසාත් එම පොහොරවල ඇති අර්වීනියා බැක්ටීරියාව මනුෂ්‍යයන්ගේ ආහාර ජීර්ණ පද්ධතියටත් කැරට් සහ අර්තාපල් වලටත් විස නිසාත් ආපසු හරවා යැවීමට තීරණය කරන ලදී. චීනය මෙයට පළි ගත්තේ ක‍්‍රම කිහිපයකටය. මුලින්ම ඔවුහු එම පොහොර ගනුදෙනුවට මුදල් ගෙවන අතරමැදි බැංකුකරුවා වූ මහජන බැංකුව බ්ලැක් ලිස්ට් කළේය. ඊළඟට දැනටමත් ලංකා සාගර කලාපයට ගෙනවිත් තියෙන කාබනික පොහොර තොගය වෙනුවෙන් එහි වටිනාකමින් 70% ක වන්දියක් ඉල්ලා සිටියේය. මේ කාබනික පොහොර සාදන ලද්දේ ක්වින්ඩා ඕ සීවින් නමැති කොම්පැනියකි. මුහුදු පැළෑටි (ඇල්ගී සහ ප්ලවාංග) ආශ‍්‍රයෙන් කාබනික පොහොර නිපදවන එය ලොව ලොකුම පොහොර කොම්පැනි වලින් එකකි. එවැනි සමාගමක් නිපදවූ පොහොරවල අහිතකර විෂ බීජ අඩංගු බව හෙළිවූ විට එම සමාගමට ලොකු හානියක් සිදුවෙයි. ඉන්පසු මල්ගහකට දැමීමටවත් ඒ සමාගමෙන් පොහොර නොගැනීමට මිනිස්සු පරිස්සම් වෙති. චීනයෙන් ගෙනා කාබනික පොහොර තොගයේ විෂබීජ අඩංගු බවට විශාල ප‍්‍රචාරයක් දෙන ලදී. ආණ්ඩුවේ ආයතන එම ප‍්‍රචාරය දීම සඳහා වෙසෙසින් දායක වූහ. මේ වැඬේ මීට වඩා අඩු ලංසුවක ප‍්‍රචාරයක් දී කරගැනීමට තිබූ වැඩකි. මෙය රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමින් විසඳාගත යුතුව තිබිණ. චීන කාබනික පොහොර නැව අදටත් කළුතරට සැතපුම් 26 ක් ඈතින් සාගරයේ අර්ධ යාත‍්‍රික තත්ත්වයක පවතී. වන්දි ලැබෙන තුරු චීනා නැව නොසෙල්වන බව අපට විශ්වාසය. ආණ්ඩුව ද කිසියම් සුළු ගනුදෙනුවක් පිරිනමා නැවෙන් ගැලවෙන්නට යන බව දැනගන්නට තිබේ. මේ සියලූ කාරණා වලින් අප ඉගෙනගත යුතු පාඩම වන්නේ ආණ්ඩුව පෝර්ට් සිටිය සම්බන්ධයෙන් ඉතා ප‍්‍රවේශමෙන් කටයුතු කළ යුතු බවය. පෝර්ට් සිටිය සම්බන්ධයෙන් හිත් රිදවීමක් හටගන්නා ඊළඟ අවස්ථාවේදී චීනුන් පෝර්ට් සිටිය පමණක් නොව කොළඹින් කෑල්ලකුත් ගලවාගෙන යනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment