වෙසක් පොහොය උදාවීමට ඇත්තේ තව දින හතරකි. වෙනදා මෙන් මෙවරද වෙසක් උත්සවය සැමරීමට රටේ බෞද්ධ ජනයා ලකලැහැස්ති වෙන්නේද විවිධ සැරසිලි යොදා නිර්මාණය කරන ලද වෙසක් කූඩු, බකට්, බෞද්ධ කොඩි ආදී නෙක සැරසිලි හා දන්සල් වලින් මුළු රටම නගරයම සැණකෙළි සිරියක් ගන්වන්නටය. නගරයේ මෙන්ම ග්‍රාමීය පරිසරයේද වෙසක් පොහොය සැමරීමට සෑම නිවසකම පාහේම වෙසක් කූඩුවක්, විවිධ ආලෝක රටා මවන බල්බ් වැල්, කොඩි වැනි දේ වලින් සැරසිලි කරන්නට කිසිවකුද අමතක නොකරන්නේය. මේ වනවිට පවතින ආර්ථිකය මිනිසාගේ ජීවිතයට කොතරම් බලපෑවද වෙසක් උත්සවය සැමරීමට කිසිවකු පසුබට නොවන්නේ ඒ තරමට බුදු දහමේ එන ආමිස පූජාව උතුම්වන හෙයිනි.

ලාභෙට වෙසක් බඩු ගන්න කොළඹ එන මිනිස්සු

රටේ අගනගරය යනු මෙරට වෙසක් සිරි නැරඹිය හැකි ප්‍රධානම ස්ථානයකි. එදා මෙන් අදත් වෙසක් උත්සවය සැමරීමට තමන්ට අවශ්‍ය දෑ ගෙන ඒමට රටේ අගනගරය වන කොළඹ එන යන පිරිස් බොහෝය. වෙසක් බඩු වලට වැඩි ප්‍රසිද්ධියක් උසුලන්නේ කොළඹ පීපල්ස් පාර්ක් වෙළෙඳ සංකීර්ණයයි. එහි ගිය අපට දැකගත හැකි වූයේද මෙම වෙළෙඳ සංකීර්ණයේ බොහෝ කඩසාප්පු වෙසක් බඩු වලින් ඇඟිල්ලක් ගැසීමට නොහැකි ආකාරයෙන් පිරී ඉතිරී යන ආකාරයයි. ඇතැම් ස්ථානවල බොහෝ උසට එකඋඩ එක අසුරා ඇති අටපට්ටම් කූඩුය. තවත් තැනෙක කාඩ්බෝඩ් හා සෙලෝපේන් කොළ යොදා නිර්මාණය කරන ලද චීන රටේ නිෂ්පාදිත කූඩු එල්ලා ඇත. තවත් තැනෙක ඇත්තේ පෙට්ටි වලට අසුරා ඇති සවිනොකරන ලද කාඩ්බෝඩ් කූඩුය.

වෙළෙඳසලට ඇතුළුවන තැන සිටම ඇත්තේ පුදුමාකාර කලබල ගතියකි. ඇතැම් වෙළෙඳුන් වටකරගත් බොහෝ දෙනෙකු වෙසක් බඩුවල ගණන් අසා ආපසු හැරී වෙනෙත් වෙළෙඳසලක් වෙත යෑමේ අවස්ථා කිහිපවිටක්ම අපගේ නෙත් ගැටෙන්නටද එහි විය. වෙනදා මෙන් මෙරට නිෂ්පාදිත සාම්ප්‍රදායි අටපට්ටම් කූඩු දැන් එහි අඩුය. ඇත්තේ විවිධ වර්ණ හැඩතල යොදා සැකසූ චීන කූඩුය. මෙවැනි කූඩු 6ක් එකමිටට තබා පොලිතින් ඇසුරුමක බහාලූ කූඩු 6ක මිල රුපියල් 6000කි. ඇතැම් කාඩ්බෝඩ් වලින් සැකසූ කූඩුවක් රුපියල් 150 සිට 450 යන ගණන් යටතේද අලෙවි කරයි. බකට් වර්ගද විවිධ මිල ගණන් යටතේ අලෙවි කිරීමට තබා ඇත. බකට් 12 ක තොග මිල සටහන් කර ඇත්තේ රුපියල් 250ක් ලෙසිනි. ඇතැම් බකට්වල තොග මිල රුපියල් 14කි. මීට පෙර වර්ෂවල බකට් එකක මිල වූයේ රුපියල් 5ක් වැනි මුදලකි. එහෙත් දැන් එම මුදල දෙගුණ තෙගුණ වී ඇති සැටියක් පෙන්නුම් කරන නිසාවෙන් අපට හැඟී ගියේ වෙසක්වලට පත්තුකිරීමට ඇති බකට් වලට නම් මෙවර ‘බකට් එකක්’ වැටී ඇති බවය. කුඩා බෞද්ධ කොඩි 6ක් රුපියල් 300 ගාණේ ඇතැම් තැනෙක අලෙවි කරන අතර ප්‍රමාණයෙන් විශාල කොඩියක් විකුණන්නේ රුපියල් 100කටය. එවැනි චීනයෙන් ආනයනය කරන ලද බොහෝ දෑ වලින් මේ කියන පීපල්ස් පාර්ක් වෙළෙඳ සංකීර්ණය පිරී ඉතිරී ගොස් ඇත්තේ ඒ තරමට මෙහි ගැනුම්කරුවන්ගෙන්ද පිරී ඇති හෙයිනි.

අතගා බලා පාරිභෝගිකයන් හැරී යන හැටි

වෙනදාට සාපේක්‍ෂව මෙවර වෙසෙක් බඩු ගණන් බව එහි සිටි බොහෝ දෙනකු අප සමඟ කියන්නට විය. ගාල්ල ප්‍රදේශයේ සිට පැමිණි වික්‍රමනායක මහතා කියා සිටින්නේ මෙවර වෙසක් සැරසිලි ඉහළගොස් ඇත්තේ තමන් එදා සිට කරගෙන ආ කර්මාන්තය දැන් නැවැත්වීමට කාලය උදාවී ඇති බවද මතක් කරමිනි. මේ ඔහුගේ හඬය.

“මම පාන්දර 5.00ට විතර ගාල්ලෙන් ආවේ කොළඹට වෙසක් බඩු ටිකක් අරගෙන යන්න. ඒත් දැන් හැම එකක්ම ගණන් වැඩියි. හැම බඩුවක්ම වාගේ පිටරටින් ගෙනාපු ඒවා. වෙනදා ලක්‍ෂයකට අරගෙන ගිය බඩු අද අරන් යන්න ලක්‍ෂ තුනක්වත් යනවා. දැනට අවුරුදු 25ක ඉඳන් අපි වෙසක් කාලෙට කොළඹින් බඩු අරන් යනවා. හැබැයි අපි මෙතෙක් කලක් කරගෙන ආපු කර්මාන්තෙ මේ පාර තමයි කරගන්න අමාරු. බස් වියදමුත් දරාගෙන අපි කොළඹට එන්නෙ කීයක් හරි අඩුවෙන් අරන් යන්න. ඒත් දැන් ගොඩක් දේවල් ගන්න අතේ සල්ලි ඉතිරි වෙන්නෙ නෑ.

වෙළෙඳසලක් තුළ ගොඩගසා තිබූ ලයිට් වැල් කිහිපයක ගණන් අසා හැරීයන පාරිභෝගිකයෝද දැකීම එහිදී අප දැකපු සුලභම දසුනකි. එහි වෙළෙන්දාගෙන් ගණන් විමසා හැරී යන පාරිභෝගිකයකු අහම්බෙන් මෙන් අපට මුණ ගැසුණෙමු. මේ ඔහුගේ කතාවයි.

“බල්බ් වැල් හරිම ගණන් මේ පාර. ඉස්සර රුපියල් 150-200 ට තිබුණ ඒවත් දැන් 280-300 කියනව. මම මේ ආවේ ගෙදරට ඕන කරන බල්බ් වැලක් ගන්න. ඒවා හරි ගණන් නේ. ඉතිං මම හැරිල යනවා. ගෙදර තියෙන පරණ එකම හදාගන්න එක හොඳයි.

මේ පාර වෙසෙක් ජය වෙළෙඳුන්ට

පාරිභෝගිකයන් මෙන්ම වෙළෙඳාමේ නියුතු පිරිස සමගද කතාබහ කිරීම අපගේ අරමුණ වන්නට වූයෙන් වෙළෙන්දකු ළඟ අපි නතර වූවෙමු.

එහිදී බොහෝ කඩිසරව සිය වෙළෙඳාමේ නියුතු තරුණයකු අපිට මුණ ගැසුනෙමු. නමින් ඔහු මිනෝෂ් ය. කාඩ්බෝඩ් යොදා සාදන ලද වෙසක් කූඩු විශාල ප්‍රමාණයක අලෙවි කිරීමට තබා ඇති ඔහු මෙවර වෙසක් බඩු වෙළෙඳාම ගැන කීවේ මෙවැන්නකි.

“අපි හැමපාරම වෙසක් කූඩු ලොරි දෙකක් විතර විකුණනවා. මේ පාරත් ගෙනාවා. අපි ළඟ තියෙන්නෙ වැඩ ඉවර කරපු කූඩු. අපි මේ කූඩු පහම 850 ගාණේ තමයි තොග විකුණන්නේ. එකකොට එක කූඩුවක් වෙන්නේ 212 ක් විතර. තව අපි ළඟ වෙහිකල්වලට දාන කූඩුත් තියෙනවා. ඒවා 550ක් වෙනවා. බකට් 500ක්ම 5500ක් වෙනවා. එතකොට ඔයිල් බකට් එකක් රුපියල් 11ක් විතර වෙනවා. අනෙක් සෙලෝපේන් වර්ගයේ බකට් කෑලි 500 රුපියල් 8000ක් වෙනවා. එකක් රුපියල් 16ක් විතර වෙනවා. මේ වනවිට වෙළෙඳපොළ තුළ පවතින මිල ගණන් ගැන ඔහු සිය අදහස් දැක්වූයේ එලෙසය.

“එතකොට කොහොමද මේ දවස් වල බිස්නස්?” අපි ඔහුගෙන් අසන්නට වූවෙමු.

“ගිය අවුරුද්දට වඩා මේ සැරේ බිස්නස් එකක් තියෙනවා. ගොඩක් හදපු නැති කූඩු තමයි මිනිස්සු ඉල්ලන්නෙ. මොකද ඒවායේ ගාණ අඩුයි. කූඩු දෙකක් හාරසිය පනහක් වගේ වෙන්නේ. අනික් කූඩු චයිනා වලින් ගෙනාපුව. ඒවයේ ඉතින් මිල වැඩියි. සමහර කූඩු අපේ රටේ ඒවා. ඒව කඩවත, නුවර පැත්තෙන් තමයි එන්නෙ. ඒවා අපි අඩුවට දෙනවා. හැබැයි චයිනා කූඩු එහෙම අඩුවට දෙන්න බැහැ. අප ඔහුට සමුදී වෙළෙඳසල් කිහිපයක් පසුකර ඉදිරියට ගොස් නැවතුණේ බල්බ් වැල් වෙළෙන්දකු ළඟය.

අප එහි යනවිට විවිධ ආලෝක වර්ණ රටා මවමින් දැල්වෙන විදුලි බල්බ් වැල් වලින් ඔහුගේ වෙළෙඳසල අලංකාරවත් වී තිබුණේ වෙසක් සිරි මවමිනි. රුපියල් 150ක් වැනි ඉතා අවම මුදලක සිට රුපියල් 3500 දක්වා විවිධ මිල ගණන් යටතේ විකිණීමට තබා ඇති චීනයේ නිෂ්පාදිත බල්බ් වැල් වලින් ඔහුගේ වෙළෙඳසල පිරී ඇත. නමින් ඔහු මොහොමඩ් මනාෆ්ය. බොහෝ කාර්ය බහුල තත්ත්වයක් උසුලන ඔහු සිය වටිනා කාලය මඳකට අප වෙනුවෙන් වෙන්කිරීමටද නිර්ලෝභී වූවේය.

චීනෙන් ඇවිත් අල්ලපු අපේ වෙසක්

“මේ පාර අපට ගිය අවුරුදු කිහිපයට වඩා බිස්නස් එකක් තියෙනවා. ගොඩක්ම චයිනා බල්බ් වැල් තමයි අපි ළඟ තියෙන්නෙ. මොකද ඒව තමයි මිලෙන් අඩු. මිනිස්සු හොයන්නෙ අඩුවට තියෙන ඒවනේ. කල්පැවැත්මට වඩා මිලෙන් අඩුනම් මිනිස්සු අරගෙන යනවා. ඒ කියන්නෙ අපේ රටේ නිෂ්පාදනය කරන දේවල් ගණන් නිසා චීනය වගේ රටවල් වල හදන දේවල් වලට තමා දැන් මාර්කට් එකක් තියෙන්නේ. බලන්න මේ බල්බ් වැලක් වෙන්නේ රුපියල් 150යි” කියා ඔහු කාඩ්බෝඩ් පෙට්ටියක අසුරා තිබූ බල්බ් වැල් කිහිපයකින් එකක් අප අත තැබීය. මේ බල්බ් වැලක් මෙහේ හැදුව නම් රුපියල් 600ක්වත් වෙනවා. ඉතින් අපේ රටේ නිෂ්පාදනවලට මෙහෙ ගොඩක් තැන අඩුයි ගණන් වැඩිනිසා. චීනයේ බඩු තමයි වෙසෙක්වලට වැඩිපුරම විකිණෙන්නේ. අටපට්ටම් කූඩුවේ ඉඳන් බල්බ් වැල්, බකට් පවා ඒ රටවලින් ගෙන්වපු ඒවා. ගියපාර රුපියල් 90ට 100ට තිබුණ වොට් පහේ බල්බ් එකක් මේ පාර රුපියල් 75 ක් වගේ ගාණකට දෙන්න පුළුන්. දැන් මෙහේ ඒවට තැන අඩුයි. ගොඩක් මිනිස්සු වෙසක්වලට බල්බ් වැලක් හරි දාලා ළමයි එක්ක වෙසක් සමරන්න කැමැතියි. ඉතින් දැන් ජීවත් වෙන්න අමාරු කාලයක් නිසා මේ වගේ දේවල් වලට වෙන්කරන්න මිනිස්සු අතේ සල්ලි නෑ. එයාල කරන්නේ අඩුවට තියෙන බල්බ් වැල් දෙකතුනක් අරන් ගිහින් දාලා ගෙදර පොඩි දරුවන්ව සතුටු කරන එකනේ.” මම මුස්ලිම් ව්‍යාපාරිකයෙක්. ඒත් අපි බලන්නේ අපි ළඟට එන පාරිභෝගිකයට සාධාරණ මිලට භාණ්ඩ විකුණන එක. එතකොට අපි දෙගොල්ලන්ටම සතුටුයි. අපි කවුරුත් මිනිස්සුනේ යැයි කියමින් පවතින තත්ත්වය අප වෙත කියා පෑවේ එලෙසය. වෙසක් සමයේ වැඩි වශයෙන්ම අලෙවි වන්නේ පහන් කූඩු කොළ හෙවත් සව්කොළය. දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වෙළෙඳුන් හා පාරිභෝගිකයන් මෙහි පැමිණෙන්නේ පහන් කූඩු කොළ තොග වශයෙන් මෙහිදී මිලදී ගැනීමටය. එහිදී විවිධ මිල ගණන් යටතේ විකිණෙන සව්කොළ හෙවත් පහන් කූඩු කොළද, තෙල් කොළද මෙහි විකිණෙන්නේ දිවයිනේ සෙසු පළාත්වල විකිණෙන මුදලට වඩා අඩුවෙන්. මේ නිසා රටේ බොහෝ දුරබැහැරින් ජනී ජනයා කොළඹ ඇදී එන්නේ පවතින මිලට වඩා කීයක් හෝ අඩුවෙන් ගැනීමේ අරමුණෙන්. එහි ගිය අප ඊළඟට නතර වූයේ මහා පරිමාණයෙන් සව්කොළ හා තෙල් කොළ වෙළඳාමේ නියුතු වෙළෙඳ හිමියෙකු ළඟය. දැනට අවුරුදු 30 ක පමණ සව්කොළ වෙළෙඳාමේ ඉතිහාසයක් මේ කියන වෙළෙඳ හිමියන්ට හිමිය.

රාම්දාස්ටද සව්කොළ වෙළෙඳාම ගැන ඇත්තේ පුළුල් දැනුමකි. පවතින තත්ත්වය ගැන අපට ඔහු මෙසේ කියන්නට විය.

“පසුගිය අවුරුදු කීපයේම අපට හරියට බිස්නස් එකක් කරගන්න බැරිවුණා. කොරෝනා, බෝම්බ ප්‍රශ්න නිසා ගොඩක් මිනිස්සුන්ට බඩු ගන්නත් එන්න බැරිවුණා. හැබැයි මේ පාර ටිකක් බිස්නස් එක හොඳයි. ගිය අවුරුද්දට වඩා සව්කොළ වලත් ගාන අඩුයි. සුදු කොළ හාරසිය අසූවේ බණ්ඩලයක් වෙන්නේ දෙදාස් අටසිය අසූවයි. පාට කොළ බණ්ඩලයක් තුන්දාස් අටසිය හතළිහයි. කොළයක් වෙන්නේ රුපියල් 7-8 ක් වගේ මිලක්. තෙල් කොළත් ගිය පාරට වඩා අඩුයි. දැන් ටිකක් මිනිස්සු මෙහෙ එනවා.”

මේ කොළ කොහෙන්ද එන්නේ. මේවා ලංකාවේ ඒවා නෙවෙයිද? අප ඔහුගෙන් අසන්නට විය.

“නෑ… මේ මාර්කට් එකේ තියෙන වෙසක් බඩු වලින් භාගෙටත් වැඩිය චීන බඩු තමයි තියෙන්නේ. පහන් කූඩු චීනයේ ඒවා ගොඩක්. ප්ලාස්ටික් කූඩු සැකිලි, සව් කොළ වර්ග මේ කියන ඔක්කොම චීන බඩු. ලංකාවේ ඒවා මේ ගාණට දෙන්න බෑ. අනික ලංකාවේ ව්‍යාපාර මේ වෙනකොට ගොඩක් විනාස වෙලා තියෙන්නේ. අපේ මාර්කට් එක චීනය අල්ලලා ඉවරයි” ඔහුගේ කතාව අවසන් කළේ එසේය.

‘බණ්ඩා වෙසක් බලන්න ගියා’ වගේ යැයි ජනප්‍රවාද තුළ කතාවක් පවතින්නේ බණ්ඩා කොළඹ ගොස් බැලුවේ එකම තොරණක් නිසා බවය. එහෙත් දැන් කොළඹ වෙසක් සිරි බලන්න පැමිණියහොත් ඇත්තටම සිදුවන්නේ බණ්ඩාට සිදුවුණ දෙයමය. එනම් මුළු කොළඹම වෙසක් සිරි ගැන්වෙන්නේ චීනයේ වෙසක් බඩු වලින් බව කීමෙහි වැරැද්දක් නැත. මේ නිසා මුළු කොළඹම නොව ගමේ නගරයද අද චීන වෙසක් බඩු ආක්‍රමණය කොට හමාරය. අප කළ සංචාරයේදී දැකගත හැකිවූයේ රටේ ජනතාව හොයන්නේද ලාභෙට වෙසක් සමරන්නටය. ලාභෙට වෙසක් සමරන්නට චීන බඩු නම් කදිමය. එහෙත් රටේ ව්‍යවසායකයාට වෙසක් සමය තුළ ව්‍යාපාරික අවස්ථා අවම වීම තුළ අපට ඇත්තේ බලවත් කනගාටුවකි.

රමින්ද මාවතගේ
ඡායාරූප – සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment