මේ දිනවල වඩාත්ම කතාබහට ලක්වන කරුණක් වන්නේ අපේ පහත වැටී ඇති විදේශ සංචිත මට්ටම ගැනයි. පසුගියදා ෆිච් රේටින්ග්ස් ආයතනය ද අපේ ණය ශ්‍රේණිය පහත හෙළනු ලැබුවේය. ඔවුන් සඳහන් කළේ දැනට පවතින විදේශ සංචිත ප්‍රමාණවත් වන්නේ තවත් මසක කාලයකට පමණක් බවයි. අපේ විදේශ විනිමය ලැබීම් සීමිත වී ඇති නිසාත් සංචිත පහත වැටීමත් සමග ශ්‍රී ලංකාවේ ණය පැහැර හැරීමේ සම්භාවිතාව ඉහළ ගොස් ඇති බව ද එම ණය ශ්‍රේණිගත ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබුණි. එහෙත් එම නිවේදනයේ ද සඳහන් වූ පරිදි අපට ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් ඇති වනු ඇත්තේ නව විදේශ විනිමය මාර්ග නොමැති වුවහොත්ය. එහෙත් රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව අලූතින් මූල්‍ය සහාය ලබා ගැනීමේ පියවරයන්ට එළඹ තිබේ. ඒවා මගින් අලූතින් අපට විදේශ විනිමය සොයා ගැනීමට හැකි වුවහොත් අපට අපේ විදේශ ණය ගෙවා ගැනීමට නොහැකි වන්නේ නැත. ඉතාම අභියෝගාත්මක නමුත් අපේ විදෙස් ණය ගෙවමින් ඉදිරියට ගමන් කළ හැකිය.
- භාණ්ඩ මිල පීඩනය සහ භාණ්ඩ හිඟය
මෙසේ අලූතින් කෙටිකාලීනව හෝ විදේශ විනිමය අතමාරු පහසුකම් ලබා ගනිමින් මේ විනිමය අර්බුදය කළමනාකරණය කරගන්නා විට ණය පැහැර හැරීමක් නොවූවත් දිගටම එහි පීඩාවන්ට මුහුණ දීමට අපට සිදුවනු ඇත. රටට ලැබෙන විදේශ විනිමයෙන් වැඩි ප්‍රමාණයක් විදෙස් ණය පියවීමට යොදා ගන්නා විට දිගටම සංචිත තත්ත්වය පහත වැටීමට අමතරව අපේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයන සඳහා විදේශ විනිමය සීමිත වීමෙන් මේ රටේ ජනයාට බොහෝ පීඩාවන්ට මුහුණ දීමට ද සිදුවනු ඇත. වෙනදා ජනයා රජයට චෝදනා කරන්නේ බඩු මිල වැඩියි කියාය. එහෙත් අද වන විට ඇතැම් භාණ්ඩ සම්බන්ධයෙන් ජනයා චෝදනා කරන්නේ වැඩි මිලටවත් ගැනීමට භාණ්ඩ නැතැයි කියාය. මේ දිනවල ගෑස් සහ කිරිපිටි සම්බන්ධයෙන් මේ තත්ත්වය තිබේ. මේ නිසා භාණ්ඩ මිල ගණන් දිගටම වැඩි වීම නිසා දිගටම විශාල මිල පීඩනයකට මුහුණ දීමට සිදු වීම, භාණ්ඩ හිඟයන් සහ භාණ්ඩ මිලදී ගැනීමට පෝලිම්වල සිටීමට සිදුවීම වැනි තත්ත්වයන්ට මහජනයාට මුහුණ දීමට සිදුවනු ඇත.
- 2022 වසරේ ණය වගකීම
විදේශ සංචිත ඉතාම අවම මට්ටමක් දක්වා අඩු වීම තුළ විශාල විදේශ ණය වගකීම් පියවීමට සිදු වීම අප මුහුණ දී සිටින විශාලම අභියෝගයයි. 2022 වර්ෂයේ පමණක් නොව 2026 වර්ෂය දක්වාම මේ ණය ප්රශ්නය උග්‍ර ලෙස තිබේ. 2022 ජනවාරි 18 වැනිදා ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක් පියවීමට තිබේ. එසේම මැයි මාසයේ තවත් ඇමෙරිකානු ඩොලර් බිලියනයක් ණය ගෙවීමට තිබේ. ඒවා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කරවලින් අප ලබාගෙන ඇති ණය මුදල්ය. එහෙත් පියවීමට ඇත්තේ එම ණය මුදල් පමණක් නොවේ. 2022 වසර පුරා වෙනත් ණය වාරික හා පොළී මුදල් ද සමග ඇමෙරිකානු ඩොලර් බිලියන 6.9 ක පමණ මුළු ණය ප්‍රමාණයක් ගෙවීමට ද තිබේ.
- විදේශ සංචිත රැක ගැනීම
දැනට ගනු ලබන ක්‍රියාමාර්ග තුළින් මේ වසර (2021) අවසාන වන විට රටේ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3 කට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව නිල නිවේදනයක් මගින් මහජනතාවට දැනුම් දී ඇත. එහි තවදුරටත් සඳහන් වන්නේ අපේක්ෂිත විදේශ විනිමය ගලාඒම් සමඟ නිල විදේශ සංචිත තත්ත්වය 2022 වසර පුරා හිතකර මට්ටමක පවතිනු ඇති බවයි. දෙසැම්බර් 31 දිනට ඇත්තේ තවත් දින කිහිපයකි. නොවැම්බර් මස අග වන විට පැවති නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1587 ක් විය. එසේම ද්‍රවශීල එනම් විදේශ විනිමය සංචිත තත්ත්වය නොවැම්බර් අගවන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 1009.5 දක්වා තවදුරටත් අඩු වේ. මහ බැංකුව රටේ නිල සංචිත තත්ත්වය මේ වසර අගවන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක් දක්වා වර්ධනය කරගන්නේ කෙසේ ද? ඒ සඳහා අපේ රටට විදේශ මුදල් ලැබෙන්නේ කොහෙන්ද? අපට ආරංචි වී ඇති පරිදි මේ සඳහා මූල්‍ය පහසුකම් ලැබෙන්නේ චීනයෙන් සහ ඉන්දියාවෙනි. චීනයෙන් ලැබීමට නියමිතව ඇත්තේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක් පමණ වන විදේශ විනිමය හුවමාරු පහසුකමක් වන අතර ඉන්දියාවෙන් මූල්‍ය සහන පැකේජයක් සඳහා සාකච්ඡා වී ඇත.
- චීන විදේශ විනිමය හුවමාරු පහසුකම
දැනට විදේශ සංචිතවලට ඇතුළත් කර නැති චීන විදේශ විනිමය හුවමාරු පහසුකමක් තිබේ. මහ බැංකුව එය ලබාගෙන අපේ නිල විනිමය සංචිතයට එක් කර ගැනීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත. එහෙත් මේ මුදල් ලැබෙන්නේ චීන මුදල් වලිනි. එනම් යුවාන් වලිනි. මෙය අපේ නිල සංචිතයට එක් කරගනු ලැබුවද එය අප ඩොලර් වලින් ලබාගෙන ඇති විදේශ ණය ගෙවීමට යොදාගත නොහැකිය. මේ මුදල් වලින් ණය ගෙවීමට නම් ඒවා ඇමෙරිකානු ඩොලර්වලට පරිවර්තනය කරගත යුතු වේ. එහෙත් එය ඉතා අමාරු කාර්යයකි. මේවා ණය පියවන්න යොදාගත නොහැකි නම් මින් කළ හැකි වන්නේ චීනයෙන් අපට අවශ්‍ය බඩු ගෙන්වා ගැනීමට මේ චීන මුදල් යොදාගත හැකි වීමයි. එහෙත් අපේ එක් මාසයක ආනයන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 1500 ට අධිකය. ඒ නිසා එම චීන විනිමය පහසුකම අපේ එක මාසයක ආනයන වියදම පියවා ගැනීමටවත් ප්‍රමාණවත් නොවන බව පැහැදිලි වේ. මෙසේ චීනයෙන් භාණ්ඩ ගැනීමේ දී චීනයෙන් කාබනික පොහොර මිලදී ගැනීමේ දී මෑතදී ඇති වූ ප්රශ්නය වැනි ප්‍රශ්නවලට ද ඇතැම් විට අපට මුහුණ දීමට සිදුවිය හැකිය.
- ඉන්දියානු මූල්‍ය පහසුකම්
බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයා පසුගියදා සිදු කළ ඉන්දියානු සංචාරයෙන් පසු ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශයක් නිකුත් කර තිබුණි. එහි ශ්‍රී ලංකාවට සහාය දැක්වීමේ කරුණු හතරක් අන්තර්ගතව තිබිණි. මේ යටතේ සඳහන් වූයේ ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ආහාර, ඖෂධ සහ අනෙකුත් ද්‍රව්‍ය ආනයනය කිරීමට හැකිවන පරිදි පළමුව ඉන්දියාව අපට ණය පහසුකම් ලබා දෙනු ඇති බවයි. දෙවනුව, ත්‍රිකුණාමලයේ භාවිතයට නොගත් තෙල් ටැංකි සංකීර්ණය කඩිනමින් නවීකරණය කිරීමට එකඟ වන අතරම, ඉන්දියාවෙන් පිරිපහදු කළ තෙල් ආනයනය කිරීම සඳහා ඉන්දියාව තවදුරටත් අපට ණය පහසුකම් ලබා දෙනු ඇත. තෙවනුව, ඉන්දියානු සංචිත බැංකුව විසින් අපේ මහ බැංකුව වෙත මුදල් විදේශ විනිමය හුවමාරු පහසුකම ලබා දෙනු ඇත. හතරවන අංගය වන්නේ ඉන්දීය ආයෝජන ශ්‍රී ලංකාවට ගලා ඒමට පහසුකම් සැලසීමයි. අප මුහුණ දී සිටින විනිමය අර්බුදය හමුවේ චීන මූල්‍ය පහසුකම් මෙන්ම මේ ඉන්දියානු මූල්‍ය සහාය ද කඩිනමින් ලබා ගැනීමේ අවශ්‍යතාවක් මතුව තිබේ.
- ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට
මේ ඉන්දියානු මූල්‍ය සහාය ලබා ගැනීමේ දී අපගේ ත්‍රිකුණාමලයේ තිබෙන තෙල් ටැංකි නවීකරණය කිරීමට දෙපාර්ශ්වයට එකඟ වීමට සිදුවනු ඇත. එහි දේශපාලන හොඳ නරක හෝ අවදානම් ගැන වෙනම සාකච්ඡා කළ හැකිය. ඒ ගැන දැනටමත් විවේචන ද තිබේ. කෙසේ හෝ ත්‍රිකුණාමලයේ මේ කියන තෙල් ටැංකි 98 ක් තිබේ. ඉන් භාවිතා කළ නොහැකි ටැංකි දෙක සහ එල්.අයි. ඕ.සී. සමාගම දැනටමත් භාවිත කරන තෙල් ටැංකි හතර හැර තවත් තෙල් ටැංකි 92 ක් තිබේ. ඉන්දියාවෙන් මේ මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ දී එම තෙල් ටැංකි නවීකරණය කර ඉන්දියාවට බදු වශයෙන් ලබා දීම සඳහා එකඟ වීමට සිදුවනු ඇත. එමගින් සෑම වසරකම යම් කුළී ආදායමක් උපයා ගැනීමට ද අපට හැකි වේ. මේ මූල්‍ය පහසුකම් සමග එන කොන්දේසි නිසා මෙරට ඉන්ධන ඒකාධිකාරය ඉන්දීය තෙල් සමාගමට හිමිවනු ඇති බවට ද විවේචන ඉදිරිපත්ව ඇත. මේ සම්බන්ධව ඛනිජ තෙල් සංස්ථා සේවකයන්, තෙල් වෘත්තිය සමිති මෙන්ම ආණ්ඩුවේම හවුල්කාර පක්ෂවල යම් විරෝධයන් ද එල්ල වීමට ඉඩ තිබේ. මේ සමගම කිව යුත්තේ අයි.එම්.එෆ්. කොන්දේසි ඉතා අහිතකර බවට අප කතා කළත් වෙනත් රටවලින් ණය ගැනීමේදීත් අපට ඇතැම් විට ඊට වඩා අවදානම් කොන්දේසිවලට යටත් වීමට ද සිදු විය හැකිය. මේ ඉන්දීය මූල්‍ය සහන පැකේජය යටතේ කවර වටිනාකම්වලින් යුත් මූල්‍ය පහසුකම් අපට ලැබේද යන්න ඉදිරි සාකච්ඡා අනුව නිශ්චිතව තීරණය වනු ඇත. එබැවින් ඉදිරි සති කිහිපයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දැඩි විදේශ විනිමය අර්බුදය අනුව මේ පැකේජය කෙතරම් ප්‍රමාණවත් වනු ඇතිද යන්න තවමත් කිව නොහැකිය. එහෙත් අපේ සංචිත තත්ත්වය හොඳටම පහත වැටී ඇති නිසා ණය වගකීම් පියවීම කලට වෙලාවට කිරීමට නම් අනිවාර්යෙන්ම කොහෙන් හෝ විදේශ විනිමය සොයා ගැනීමට අපට සිදු වේ.
- නිල සංචිත ගොඩනඟීම
නිල විදේශ සංචිත නැවත ගොඩනැඟීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සඳහා මහ බැංකුව සහ රජය ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටින බව ද මහ බැංකුව පවසයි. අපේක්ෂිත විදේශ විනිමය ලැබීම් සහ රටේ නිල සංචිත තත්ත්වය ගැන කරුණු දක්වමින් මහ බැංකුව මෙසේ ද පවසයි.
‘පවතින විදේශීය ණය තිරසාර ලෙස කළමනාකරණය කරගත හැකි වන පරිදි ණය නොවන ප්රවාහයන් දිරිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් නිල සංචිත නැවත ගොඩනැඟීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සඳහා වසර ආරම්භයේ සිට මහ බැංකුව සහ රජය ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටී. 2021 වසරේ ඔක්තෝබර් මාසයේ සිට මෙම ප්රයත්නයන් වේගවත් කරන ලද්දේ සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායිතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්ම ප්‍රකාශයට පත් කිරීමත් සමඟ වන අතර, එමඟින් කෙටිකාලීනව නිල සංචිත ගොඩනැඟීම සඳහා අපේක්ෂිත ඉලක්ක දැක්වීය.
සය මාසික පෙර දැක්මෙහි ප්‍රකාශිත පරිදි, නුදුරේදී විදේශ විනිමය ලැබීම් ගණනාවක් අපේක්ෂා කෙරේ. මහ බැංකුවට ලැබෙන ප්‍රධාන විදේශ විනිමය ලැබීම් අතර මැද පෙරදිග සහ අනෙකුත් කලාපීය මහ බැංකු සමඟ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.0ක පමණ විදේශ විනිමය හුවමාරු පහසුකම් ඇතුළත් වේ. රජය විසින්, ද්වීපාර්ශ්වික මූල්‍ය පහසුකම් ලබාගැනීම්, ඒකාබද්ධ ණය පහසුකම් ලබාගැනීම් මෙන්ම බහුපාර්ශ්වික සංවිධාන තුළින් ණය ලබා ගැනීමේ ක්‍රියාවලියක ද යෙදී සිටී. මීට අමතරව, බලධාරීන් විසින් ඉහළ මට්ටමේ විදේශ සංචාරවලදී සාකච්ඡා කරන ලද අපේක්ෂිත විදේශ විනිමය පහසුකම් ලැබීම් ද ඉදිරියේදී සාර්ථක වනු ඇත. තවද, විදේශ සේවා නියුක්තිකයන්ගේ පේ‍්‍රෂණ සඳහා හඳුන්වා දී ඇති දිරි දීමනා ක්‍රමය සහ අපනයන ආදායම් නැවත මෙරටට ගෙන්වා ගැනීම හා පරිවර්තන කිරීමේ අවශ්‍යතා වැනි විදේශ විනිමය වෙළෙඳපොළේ පැති කිහිපයක් සම්බන්ධයෙන් මහ බැංකුව විසින් කරන ලද මැදිහත්වීම් මඟින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ ද්‍රවශීලතාව වැඩිදියුණු වනු ඇති අතර එමඟින් මහ බැංකුවට නිල සංචිත තවදුරටත් ගොඩන`ගා ගැනීමට හැකි වේ. මෙම අපේක්ෂිත විදේශ විනිමය ගලාඒම් සමඟ නිල සංචිත තත්ත්වය 2022 වසර පුරා හිතකර මට්ටමක පවතිනු ඇති බවට රජය සහ මහ බැංකුව අපේක්ෂා කරයි.
- විදේශ විනිමය පේ‍්‍රෂණ තවත් අඩු වේ
මෙලෙස වෙනත් රටවල සහ මහ බැංකුවල මූල්‍ය සහාය ලබා ගන්නා අතරම අපට දිගටම ලැබෙමින් තිබූ විදේශ විනිමය ප්රවාහයන් රැක ගැනීම සහ එය තවදුරටත් වර්ධනය කර ගැනීම ද අත්‍යවශ්‍ය වේ. මෙහිදී අපට ලැබෙමින් තිබූ විදේශ විනිමය පේ‍්‍රෂණ මුදල් සැලකිය යුතු ලෙස පසුගිය කාලයේ දී පහත වැටීම දැඩි අවධානයට යොමුකර නිවැරදි කරගත යුතු තත්ත්වයකි. මෙයට වහාම ප්‍රතිකර්ම අවශ්‍ය වේ. පසුගිය සැප්තැම්බර්, ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාස තුනේ දීම ගිය වසරේ (2020) එම මාසවලට සාපේක්ෂව සැලකිය යුතු ලෙස විදේශ විනිමය පේ‍්‍රෂණ ලැබීම් පහත වැටී ඇත. මේ අනුව සැප්තැම්බර් මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 350 ක් ද, ඔක්තෝබර් මාසයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 314 ක් සහ නොවැම්බර් මාසයේ තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 340.7 ක් වශයෙන් එම මාස තුනේ දී පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 1004.5 ක මුදලක් අඩු වී ඇත. එම අඩු වීම ඇමෙරිකානු ඩොලර් බිලියනකට අධික මුදලකි. මේ නිසා මේ විදේශ විනිමය පේ‍්‍රෂණ මුදල් අඩු වීමේ ප්‍රතිපලයට පිළියම් යොදනවාට වඩා අවශ්‍ය වන්නේ මේ තත්ත්වයට සැබෑ හේතු සොයා පිළියම් යෙදීමයි. එවිට අප වෙනත් රටකට ණය වන මුදල් ප්‍රමාණයටත් වඩා වැඩි විදේශ විනිමය මුදලක් අපේ විදෙස්ගත ශ්රමිකයන්ගෙන්ම රටට ලබාගත හැකිය. එහෙත් ඒ සඳහා ඔවුන්ට නිසි ප්රතිලාභ ලබාදෙන වැඩපිළිවෙලක් අවශ්‍ය අතර ඒ බව එම විදෙස්ගත ප්‍රජාව නිසි පරිදි දැනුවත් කිරීම ද අවශ්‍ය වේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]