චීන යුවාන් ඩොලර් කර ගැනීම අර්බුදයක – මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන

429

විදෙස් ණය ගෙවීමට යොදා ගැනීමත් දුෂ්කර වෙයි

චීන විනිමය හුවමාරු පහසුකමෙන් ලැබෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක් පමණ වන මුදල් ලැබෙන්නේ චීන මුදල්වලින් නිසා ඇමෙරිකානු ඩොලර්වලින් ලබාගත් අපේ විදෙස් ණය ගෙවීමට ඒවා යොදාගත නොහැකි යැයි ශ‍්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා ඊයේ (23 දා) ‘දිවයින’ට පැවසීය.

‘‘මේ චීන මුදල් අපේ විදේශ ණය ගෙවීමට යොදා ගැනීමට නම් ඒවා ඩොලර් බවට පරිවර්තනය කර ගැනීමට සිදුවෙනවා. එහෙත් ඒවා ඇමෙරිකානු ඩොලර් බවට පරිවර්තනය කිරීම දුෂ්කර කටයුත්තක්’’ බව ද ඔහු සඳහන් කළේය.

එහෙත් මේ මොහොතේ අපේ පහත වැටී ඇති විදේශ සංචිත තත්ත්වය වර්ධනය කර ගැනීම සදහා චීනයෙන් විනිමය හුවමාරු පහසුකමක් ලබා ගැනීම හොද දෙයක් බව ද එය අපේ ආනයන පරිමාව පවත්වාගෙන යෑමට හේතුවනු ඇති බව ද ආචාර්ය විජේවර්ධන මහතා කීවේය.

මේ නිසා චීන විනිමය හුවමාරු පහසුකමෙන් ලැබෙන මුදල් ඩොලර්වලින් ලබාගෙන තිබෙන අපේ විදේශ ණය ගෙවීමට භාවිත කළ නොහැකියි. එසේම චීනයෙන් ගත් ණය ගෙවන්නත් නොහැකියි. හේතුව අපි චීනයෙන් ණය අරන් තියෙන්නෙත් ඩොලර්වලින් නිසා. ණය ගෙවන්න යොදා ගැනීමට නම් මේවා අපට ඩොලර්වලට හරවා ගන්න වෙනවා. එහෙත් එය දුෂ්කර කටයුත්තක්. එහෙත් මේ මුදල් යුවාන්වලින් අපට භාවිත කරන්න පුළුවන්. මේ නිසා අපට මේ මුදල්වලින් චීනයෙන් භාණ්ඩ ගෙන්වාගත හැකියි. එහෙත් චීනයෙන් භාණ්ඩ ගෙන්වා ගැනීමත් සමග සංචිතයේ ඇති මේ විනිමය ප‍්‍රමාණය ද ක‍්‍රමයෙන් අඩුවෙනවා යැයි ද ඒ මහතා ස`දහන් කළේය.

චීනයෙන් භාණ්ඩ ගෙන්වා ගැනීමට මේ මුදල් යොදා ගැනීමේදී එම විනිමය ප‍්‍රමාණය වේගයෙන් දියවෙලා යනවා. ඉන්පසු මේක නැවත චීනයට ගෙවීම ස`දහා යුවාන් අපට වෙළෙඳපොළෙන් මිලදී ගැනීමට සිදුවන බව ද විජේවර්ධන මහතා පෙන්වා දෙයි.

ඉන්දියාවෙන් ලැබෙන මුල්‍ය පහසුකමත් එහෙමයි. ඒවායින් ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගන්න පුළුවන්. ඒ නිසා ඉන්දියාවෙන් සහ චීනයෙන් ලැබෙන මේ මුදල්වලින් එම රටවල්වලින් භාණ්ඩ ගෙන්වා ගනිමින් අපේ ආනයන පරිමාව පවත්වාගෙන යෑමට මේ චීන සහ ඉන්දියානු මුල්‍ය පහසුකම් ප‍්‍රයෝජනවත් වනු ඇති බව ද ආචාර්ය විජේවර්ධන මහතා තවදුරටත් ‘දිවයින’ට පැවසීය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment