ජනාධිපති අනුර කුමාර දිසානායක කටුකුරුන්දේදී කියයි
බය වෙන්න එපා පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ තිතට යනවා
චීන සංචාරයෙන් රුපියල් මිලියන 20000ක ආධාරයක් ලබාදුන්නා
දුම්රිය සංඥා පද්ධති සකස් කිරීමේ ඉන්දියානු ණය ආධාරයක් කරගත්තා
මේ සතියේ විදුලි බල මණ්ඩලය සමග සාකච්ඡා කර අඩු කිරීම ස්ථාවර කරනවා
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික සංස්ථාවයි, ඉන්දියානු සමාගමකයි එකතුවෙන් ඒකාබද්ධ සමාගමක් හදමු
විදුලිබල මණ්ඩලය ඉන්දියානු සමාගමක් සමග සාම්පූර්වල සූර්ය බලාගාරයක් හදනවා
අපි බැඳී සිටින්නේ මහජනතාව මිස මාධ්‍ය ආයතනවලටජාවාරම්කරුවන්ට, බදු පැහැර හරින්නන්ට අප බැඳී නැහැ
චීන රජයේ ප්‍රදානයක් ලෙස බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවටත් වඩා විශාල ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ ශාලාවක් කොළඹ වරාය නගරය තුළ ඉදිකිරීමට ඉතා ඉක්මනින් කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කීවේය.
පෙරේදා (19දා) කටුකුරුන්ද ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා එම අදහස් පළ කළේය.
මෙම සම්මන්ත්‍රණ ශාලාව තුළ ජාත්‍යන්තර වෙළෙඳ සමුළු ආදිය පැවැත්වීමට හැකියාව තිබෙන බවද ජනාධිපතිවරයා මෙහිදී කීවේය.
මෙම ජනහමුව අමතා තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.
අද ජනවාරි 19. මාස දෙකක් වගේ කාලයක් ගත වී තිබෙන්නේ අපි ජනාධිපතිවරණය අවසන් වෙලා, මහ මැතිවරණය අවසන් වෙලා තමුන්නාන්සේලා හමු වීමට එන්න හිතන් සිටියත් අපට අවශ්‍යතාව තිබුණා ආර්ථිකයේ, දේශපාලනයේ යම් ස්ථාවර භාවයක් නිර්මාණය කරලාම ඔබ හමුවීමට එන්න. මේ ජයග්‍රහණය මුළුමනින්ම රඳා පවතින්නේ ඔබේ අතෙයි. මීට පෙර ආණ්ඩු හදලා තිබෙනවා, ආණ්ඩු පෙරළා තිබෙනවා. ඒ වගේම ආණ්ඩු හදන්න විවිධ කුමන්ත්‍රණකාරී වැඩ වෙලා තිබෙනවා. පාස්කු ප්‍රහාර වගේ ඒවා. බය වෙන්න එපා ඒ පිළිබඳ පරීක්ෂණය තිතට යනවා. එහෙම නැත්නම් මහා විශාල ලෙස සල්ලි පොම්ප කර තිබෙනවා. සාරි බෙදන, ඔරලෝසු බෙදන, හාල් බෙදන, තහඩු බෙදන වැඩ කරලා තිබෙනවා. එහෙම තමයි ආණ්ඩු පෙරළලා නැන්නම් ආණ්ඩු හදලා තිබෙන්නේ. අද ලංකාවේ පළමු වතාවට ආණ්ඩුවක් හැදුණා කුමන්ත්‍රණ නැති, විදෙස් මැදිහත්වීම් නැති, මුදල් බෙදන්නේ නැති, මාධ්‍ය බලය නැති, රාජ්‍ය බලය නැති කණ්ඩායමක් ආණ්ඩුවක් හැදුවා. එය පිටුපස සිටියේ මේ රටේ ජනතාවයි. ඒ නිසා මේ ජයග්‍රහණයේ ගෞරවය වැඩියෙන්ම ලබාදිය යුත්තේ ඔබටයි. ඒ නිසා තමයි අපි ඊට ක්‍රියාකාරීව මැදිහත් වූ කණ්ඩායම් මුණ ගැසී ස්තුති කිරීමට කල්පනා කළේ. බොහොම ස්තුතියි තමුන්නාන්සේලාට මේ රටේ මේ නව පරිවර්තනය වෙනුවෙන් ගත් පියවරට.
මේ පෙබරවාරි මාසේ අලුත් වාහනගේන්න ඉඩදෙනවා. ඒත් එක්කම වාහනවල මිලෙහි යම් වෙනසක් වෙනවා. අන්න එතකොට මේ වාහන ඔක්කොම වෙන්දේසි කරලා
භාණ්ඩාගාරයට සල්ලි එකතු කරනවා. ඔක්කොම වෙන්දේසියේ දාන්න ලෑස්ති කරලා තියෙන්නේ. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අරන් දීලා තියෙන්නේ. ඒ ඒ අමාත්‍යාංශවල වාහන වෙන්දේසි කරලා භාණ්ඩාගාරයට සල්ලි එවන්න කියලා. කරන්න ඕන නැද්ද? කරන්න ඕන. මේ රටක් හදන්න ඕන. මෙච්චර කල් මොකක්ද කරලා තියෙන්නේ? රටේ ජනතාව රැවටීමකට භාජනය කරනවා. රැවටීමට භාජනය කරලා ඒ ගොල්ලෝ මහජනයාගේ ධනයෙන් විරාජමාන ලෙස වැජඹෙනවා. ඉතිං ඒ ගොල්ලන්ට දුක නැද්ද? ඔය කෙඳිරිය තියෙන්නේ ඒකයි. උදේ හවස ටී.වීවල, අපේ නලින්ද සහෝදරයා කිව්වේ සාලයේ පුටුව තියාගන්නවා. මයික් ටිකක් ඉස්සරහින් තියා ගන්නවා. ඉතිං අඬනවා. දුක කියනවා. වේදනාව කියනවා. ඒ ගොල්ලන්ට තව දශක එක හමාරක් විතර අඬ අඬා ඉන්න වෙනවා. මතක තියාගන්න එහෙමයි මේක හදන්නේ. මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ යෝජනාව ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ගේනවා. විශ්‍රාම වැටුප අහෝසි කරනවා. පාර්ලිමේන්තුවේ කැන්ටීන් එක ගැන ලොකු විවාදයක් තියෙනවානේ. ඔන්න තව සතියකින් දෙකකින් වෙන වැඩේ මම කියන්නද? කෑම එක ඔතා ගෙන පාර්ලිමේන්තුවට එන්න කියලා අපි කියන්නේ නෑ. හැබැයි පාර්ලිමේන්තුවෙන් කෑම එක ගන්නවා නම් හරි ගණන ගෙවන්න ඕන. කෑම එකට රුපියල් දෙදාහක් යනවා නම් ඒක දෙන්න. කමක් නෑනේ? නේද? ඒක කරනවා. තව පොඩි දවසක් ඕන සමහර යෝජනා තියෙනවා සම්මත කරගන්න. කැන්ටින් එක ඇරලා තියෙනවා. ගණන ගෙවලා කන්න පුළුවන්. හොඳයිද? හොඳයි.
පළමු කොටම, ලෝකයේ රාජ්‍යයන් සමග ශක්තිමත්ව මිතුරුකම් ගොඩනඟා ගත යුතුයි. එහිදී වැදගත්ම ඉන්දියාවයි. ඉන්දියාව අපට ඓතිහාසික, සංස්කෘතිමය වශයෙන් සබඳතාව තිබෙන රටක්. වර්තමානයේ ලෝකයේ වේගවත්ම ආර්ථික වර්ධනයක් අත්පත් කරගෙන තිබෙන රටක්. විශාල ආර්ථිකයකට හිමිකම් කියන රටක්. අපේ රට ඒ ආසන්නයේ පිහිටා තිබෙනවා නම්, අපේ සංවර්ධන මාවතේදී ඔවුන් අපේ මිතුරන්. එනිසා අපි ආණ්ඩුව පිහිටුවලා කෙටි කාලයකින් අප ඉන්දියාවේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරගැනීම සඳහා ගියා. අප ඔවුන් සමග විශාල ලෙස සාකච්ඡා කළා. ඒ වන විට මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය සංඥා පද්ධතියක් සකස් කිරීමට ණයක් ලබා දී තිබුණා. අප ඉන්දියානු සංචාරයේදී එම ණය මුළුමනින්ම නැවත නොගෙවන ණය ආධාරයක් බවට පරිවර්තනය කර ගැනීමට හැකියාව ලැබුණා. අනතුරුව සංවර්ධනය ගලා නොගිය නැගෙනහිර පළාතේ සාමාන්‍ය ජනතාවගේ ආර්ථිකය නංවාලීමට ඔවුන් විශාල ප්‍රදානයක් ලබාදුන්නා. ඒ ප්‍රදානයන් පෙබරවාරි මාසයේ සිටම ඒ පළාතේ සාමාන්‍ය ජනතාවගේ ආර්ථිකය නඟාසිටුවීම වෙනුවෙන් කෘෂිකර්මාන්තය, සත්ත්ව පාලනය ආදී කේෂ්ත්‍ර වෙනුවෙන් ක්‍රියාත්මක කරනවා.
අප රටේ බලශක්ති කේෂ්ත්‍රයේ අර්බුදයක් තිබෙනවා. සාම්පූර්වල සූර්ය බලශක්තිය පිළිබඳ යෝජනා තිබුණා. සාම්පූර්වල අප සූර්ය බලාගාරය හදනවා. ශ්‍රී ලංකාවේ විදුලිබල මණ්ඩලයයි, ඉන්දියානු සමාගමයි එකතුව නව සමාගමක් හදනවා. දෙරටටම 50%-50% අයිතියි. ඇයි අපට එහෙම ඕන වෙන්නේ. අපට
බලාගාරයක් ගොඩනඟන්න ප්‍රාග්ධනයක් නැහැ. එහෙම නම් අපට තිබෙන්නේ ණයක් ගන්නයි. අපි කැමති නැහැ තවදුරටත් මේ රට තවත් ණයට බවට පත් කරන්න. මේ රටට ආයෝජන කැඳවන්නයි අපි කැමති. අපි එකතු වෙලා බලාගාරය හදමු. ඒ අනුව දෙරටම සාම්පූර්වල සූර්ය බලාගාරයක් හැදීමට මූලික වශයෙන් අප එකඟ වුණා. විදුලි ඒකකයක් ඩොලර් 5.97කට අප අවසන් කළා. ඊළඟ කැබිනට් මණ්ඩලයට බලාගාරය හැදීමේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනවා. මේවා ආයෝජන. රැකී රක්ෂා ලැබෙනවා, අඩු මිලට විදුලිය ගන්න පුළුවන්කම ලැබෙනවා. බලශක්ති කේෂ්ත්‍රයේ පිම්මක් ගන්න පුළුවන්.
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99ක් අපට තිබෙනවා. එක තෙල් ටැංකියක මෙටි්‍රක් ටොන් 10,000ක් ගබඩා කරන්න පුළුවන්. ආසන්න වශයෙන් ගත්තොත් තෙල් මෙටි්‍රක් ටොන් ලක්ෂ 10ක් ඒ තෙල් ටැංකිවල ගබඩා කරන්න පුළුවන්. දශක ගණනාවක් තිස්සේ ඔය තෙල් ටැංකි දිරාපත් වෙමින් තිබෙනවා. 1960 වසරේදී සිරිමාවෝ බණ්ඩාරනායක බි්‍රතාන්‍ය සමාගමකට අයත්ව තිබූ එම තෙල් ටැංකි පවුම් ලක්ෂ 2.5ක් දීලා ආණ්ඩුවට ගත්තා. දැන් මොකද වෙලා තිබෙන්නේ? දැන් දිරාපත් වෙමින් තිබෙනවා. මේ තෙල් ටැංකි 99 රටට තෙල් බෙදන්න වැඩියි. අපට තෙල් බෙදන්න අපට එච්චර ගබඩා අවශ්‍ය නැහැ. කොළොන්නාව, මුතුරාජවෙල තෙල් පර්යන්ත අපට තිබෙනවා. අපට තවත්
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99 අපට අවශ්‍ය නැහැ. අපේ
ගණනයට අනුව ඒ පළාතේ තෙල් බෙදන්න ටැංකි 24ක් ඇති. ඒ තෙල් ටැංකි 24 අප තෙල් සංස්ථාවට ලබාගත්තා. අයිඕසී සමාගමට යම් ප්‍රමාණයක් ලබාදීමට අප එකඟ වුණා. ඔවුන්ටත් 9-10ක් දුන්නා. එහෙම නම් අපට තෙල් ටැංකි 61ක් ඉතුරු වුණා. ඒ කියන්නේ මෙටි්‍රක් ටොන් හයලක්ෂ දසදහසක් ගබඩා කරන්න පුළුවන්. අපේ රටට එච්චර ගබඩා කරන්න තෙල් අවශ්‍ය නැහැ. අපේ තෙල් සංස්ථාවයි, ඉන්දියානු සමාගමකයි එකතු වෙලා ඒකාබද්ධ සමාගමක් හදන්න හදමු. පුළුවන් නම් පිරිපහදුවක් දාමු. දැන් සාකච්ඡා පැවැත්වෙනවා. අපි තෙල් පිරිපහදු කරලා, ඒ තෙල් ටැංකිවල ගබඩා කරලා ලෝක වෙළෙඳ පොළට තෙල් විකුණන රාජ්‍යයක් බවට පත් කරන්න අවශ්‍යයි.
අපි ඊළඟට චීනයේ සංචාරය කළා. දෙරට අතර බැඳීම් ශක්තිමත් කරගත යුතුයි. ආරම්භයේදීම අපට යුවාන් මිලියන 500ක්, ආසන්න වශයෙන් ගත් විට රුපියල් මිලියන 20000ක ආධාරයක් ලබාදුන්නා. අපි නැවත ගෙවන්න අව්‍ය නැහැ. ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමට, පොදු සේවාවන් වර්ධනය කිරීමට ඒ මුදල් අපට යොදවන්න පුළුවන්. ඒ වගේම බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට වඩා ඉක්මවා යන අලුත් ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ ශාලාවක් කොළඹ වරාය නගරයේ ඉදිකිරීමට නොමිලේ ආධාරයක් ලබාදෙනවා. අප එයත් ඉතා ඉක්මනින්ම ආරම්භ කරනවා. ඒ තුළින් ජාත්‍යන්තර වෙළෙඳ සමාගම්වල සමුළු, විශාල උත්සව පවත්වන්න පුළුවන් කේන්ද්‍රස්ථානය බවට එතැන පත් කරනවා.ඒ වගේම ඔවුන් ලෝකයේ කෘෂිකර්මාන්තයේ ප්‍රගතියක් අත්පත් කරගෙන පත් කරගෙන තිබෙනවා. ඒ තාක්ෂණය හුවමාරු කර ගැනීමට එකගතාව පළ වුණා. මේ ආදී කේෂ්ත්‍ර ගණානවකටම එකඟතා ඇති වුණා. හම්බන්තොට ඩොලර් බිලියන 3.7ක් වටින පිරිපහදුවක ආයෝජනයක් කිරීමටත් ඔවුන් එකඟතාව පළ වුණා. මේ රට ගොඩනැගීමට අවශ්‍ය වන ජාත්‍යන්තර සබඳතාවන් අපි අපේක්ෂා කරනවා. අපට මැද පෙරදිග කලාපයෙන් අපට ආරාධනාවක් ලැබී තිබෙනවා. දැනටමත් මැද පෙරදිග තානාපති කාර්යාලයත් සමග තෙල් ආණ්ඩු – ආණ්ඩු හරහා ගන්න පුළුවන්ද කියා සාකච්ඡා දැනටමත් ආරම්භ කර තිබෙනවා. එහෙම නම් අපට වාසියක් තිබෙනවා. ඉතා ඉක්මනින්ම මැද පෙරදිග කලාපය සමඟත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීමට සාකච්ඡා ආරම්භ වී තිබෙනවා.
එපමණක් නොව, ආර්ථිකය බිඳ වැටීමේ අපහසුතාවයට පත් වෙලා සිටින ජනතාව වෙනුවෙන් ඒ ආර්ථික අර්බුදයෙන් යම් සහනයක් සැලසීමට සැලසුම් සකස් කර තිබෙනවා. අපි ආරම්භයේදීමවිශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප රුපියල් 3000 කින් වැඩි කළා. තවත් යම් ප්‍රමාණයක් එළැඹෙන අයවැයෙන් වැඩි කරනවා. ඒ වගේම අස්වැසුම ගැන ලොකු සංවාදයක් තිබෙනවා. අස්වැසුම ලැබෙන්නේ නැති ලැබිය යුතු කණ්ඩායමක් ඉන්නවා. අස්වැසුම නොලැබිය යුතු ලැබෙන කණ්ඩායමකුත් සිටිනවා. ඒ ඇත්ත තත්ත්වය අපි දන්නවා. එනිසා අප නැවත මේපිළිබඳව සමීක්ෂණයක් කරලා, ලැබිය යුතු කණ්ඩායම හඳුනාගත යුතුයි. ආධාර ලබාදිය යුතු කණ්ඩායම්වලට ආධාර ලබාදීමට අප සියලුම දෙනා එකඟ විය යුතුයි.
මට ජීවත් වෙන්න පුළුවන්, මට ආධාර අවශ්‍ය නැහැ කියන පුරුද්දක් තිබිය යුතුයි. හැබැයි දෙනවා නම් ඕන දෙයක් කියන සංස්කෘතියක් අපේ තිබෙනවා. එහෙම බැහැ රටක් හදන්න. ලෝකයේ සෑම රටකම මොකක්ද වෙලා තිබෙන්නේ? ආධාර ලබා දිය යුතු කණ්ඩායම් ඉතා හොඳින් හඳුනා ගන්නවා. හඳුනාගෙන ඒ අයට ආධාර ලබාදෙනවා. එහෙම එකක් හොඳ නැද්ද? ඔක්කෝටම ඕනද? නැහැ. තමන්ට ජීවත් විය හැකි, ආර්ථික පසුබිමක් තිබෙන, ව්‍යාපාරයක්, රැකියාවක් තියෙන, ඉඩකඩම් තියෙන, දරුවන්ට ආදායම් මාර්ග තියෙන පවුල් විශාල ප්‍රමාණයක් අප රටේ සිටිනවා. හැබැයි, ආබාධිත බවට පත්වුණු, වයෝවෘද්ධභාවයට පත් වුණු, හරිහමන් ආදායම් මාර්ග නැති, ඉන්න තැනක් නැති ප්‍රජාවක් රටේ ඉන්නවා. ආණ්ඩුවක වගකීම මොකක්ද? ඉලක්ක සහගත ප්‍රජාවට ඒ ආධාර ලබාදීමයි ආණ්ඩුවක වගකීම. දැන් අස්වැසුම යටතේ තමයි ආධාර ලැබිය යුතු කණ්ඩායම කියන්නේ. ඒකයි දැන් අප ළඟ තිබෙන දත්ත. කැමති වුණත් අකමැති වුණත් ඒකයි අප ගාව තිබෙන්නේ.
අපේ ආණ්ඩුව නැති බැරි අය ආරක්ෂා කරලා, ඔවුන් නැවත ආර්ථිකයට උරා ගන්න සැලැස්මක් හදනවා. සමහර පාසල් දරුවන්ට ඔවුන්ගේ දෙමාපියන්ට ආදායම මදි නිසා පොත්පත් මිලදී ගන්න විදිහක් නැහැ. එවැනි දරුවන් තෝරා ගැනීමට තිබෙන එකම නිර්නායකය අස්වැසුම. අස්වැසුම ලබන පවුල්වල පාසල් යන දරුවෙක් සිටිනවා නම්, මේ වසරේ පාසල් යෑමට රුපියල් 6000ක් දීමට අප තිරණය කළා. ලැබිය යුතු අයට ලැබෙන්නේ නැහැ කියන අසාධාරණයක් තිබුණා. අපට එක එක ළමයින් තෝරා ගන්න බැහැ. මේක ලොකු ව්‍යායාමයක්. අපි එහෙම නම් ළමුන් 300ට වඩා අඩු සියලු පාසල්වල දරුවන්ට රුපියල් 6000 දීමනාව දෙන්න අප තීරණය කළා. ඒත් අත්හැරෙන කණ්ඩායමකුත් සිටිනවා. අපි බැඳී සිටින්නේමහජනතාවටයි. අප මාධ්‍ය ආයතනවලට බැඳී නැහැ. ජාවාරම්කරුවන්ට, බදු පැහැර හරින්නන්ට අප බැඳී නැහැ.
පොල් ප්‍රශ්නය ආවා.පොල් ටිකක් ගණන් ගිය බව අප
පිළිගන්නවා. සාමාන්‍යයෙන් වසරකට පොල් මුර 6ක් තිබෙනවා. එක මුරයකින් පොල් ගෙඩි මිලියන 500ක් වගේ එනවා. වසරකට මිලියන 3000ක පොල් එනවා. නමුත් ගිය වසරේ පොල් ගෙඩි මිලියන 2600 – 2700ත් අතර තමයි නිෂ්පාදනය වෙලා තිබෙන්නේ. පොල් නිෂ්පාදනය මිලියන 300කින් පමණ අඩු වෙලා තිබෙනවා. ඒ වගේම ලෝක වෙළෙඳ පොළේ ඉල්ලුම වැඩි වෙලා තිබෙනවා. වෙනදාට වඩා පොල් ආශ්‍රිත කර්මාන්තවලට, නිෂ්පාදනයන්ට ලෝක වෙළෙඳ පොළේ විශාල ඉල්ලුමක් ලැබී තිබෙනවා. එනිසා එයටත් ශක්තියක් ලබා දෙමින් ඩොලර් උපයන්න, රැකියා බිහි කරන්න, කර්මාන්ත හදන්න ධෛර්යයක් ලබාදිය යුතුයි. හැබැයි පොල් හිඟයක් මතු වුණා. අපි රජයක් වශයෙන් රජය සතු සියලු වතුවල පොල් පාරිභෝගික ජනතාවට ලබාදීමේ ජාලයක් නිර්මාණය කළා. අප ඉතා කෙටි කාලයකින් පොල් හිඟය තුරන් කළත් තවමත් පොල් මිල ටිකක් ඉහළව පවතිනවා. ඒකට මොකද කරන්නේ? ඒ සඳහා අපේ පොල් වගාව ශක්තිමත් කරන්න ඕන. උතුරු පළාතේ අලුතින් අක්කර 40,000ක වගා කිරීමට ඉඩම් අප හඳුනාගෙන තිබෙනවා. ඒ සඳහා එළැඹෙන අයවැයෙන් පොල් වගාව සඳහා සහන සැලසීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ වගේම දැනට වගා කරමින් තිබෙන පොල් ගස්වලින් පොල් ඵලදාව වැඩි කර ගැනීමට පොහොර සහ අනෙකුත් යෙදවුම් සඳහා යම් වැඩපිළිවෙළක් සකස් කිරීමට අප ලෑස්තියි. ආණ්ඩුවක් මාරු වුණා කියලා පොල් ගහේ ගෙඩි එන්නේ නැහැ. පොල් ගහ පොල් ගහමයි. නැවත එවැනි අර්බුදයක් මතුවීම වැළැක්වීම සඳහා සැලසුම් සකස් කිරීම තමයි ආණ්ඩුවක වගකීම. ජාතික ජන බලවේග ආණ්ඩුව පොල් අර්බුදය නැවත ඇති නොවීමට සැලසුමක් සකස් කර තිබෙනවා, මැයි මාසයේ පොල් හොඳයි, දෙසැම්බර් මාසයේ පොල් අඩුයි. එහෙම කියන්න ආණ්ඩු අවශ්‍ය නැහැ.
සහල් අර්බුදයක් ආවා. ලෝකයේ ඕනෑම රටක් ඕනෑම ආර්ථිකයක් දුවන්නේ දත්ත මතයි. අප ආණ්ඩුව පිහිටුවලා ඉතා කෙටි කාලයකින් කෘෂිකර්ම අමාත්‍යාංශය කැඳවනු ලැබුවා. කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් අප හාල්වල තත්ත්වය කුමක්ද කියා අප විමසීමක් කළා. බය වෙන්න දෙයක් නැහැ, හාල් අතිරික්තයක් තිබෙනවා කිව්වා. හාල් මෙච්චර වගා කරලා තිබෙනවා කිව්වා. 68%ක් නාඩු කිව්වා. එනිසා නාඩු අර්බුදයක් එන්නේ නැහැ කිව්වා. කෘෂිකර්ම අමාත්‍යාංශය සතුව පැවති දත්ත එයයි. නමුත් හාල් අර්බුදයක් එයි කියලා එහෙන් මෙහෙන් අපට තොරතුරු ලැබුණා. එනිසා සියලු තොග රැස් කරන්නන්ගෙන් වාර්තා ලබාගන්නා ලෙසට අප පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබා දුන්නා. ඒ තොරතුරුවලට අනුව දින 18කට ප්‍රමාණවත් නාඩු පවතින බව කිව්වා. හාල් මෙටි්‍රක් ටොන් 72,000ක් ආනයනය කරන්න වෙයි කිව්වා. නාඩු සහල් මෙටි්‍රක් ටොන් 72,000ක් ආනයනය කරන්න අපි සැලසුම් සකස් කළා. නමුත් සහල් ගේනවා හිඟයි, ගේනවා හිඟයි. අන්තිමට බලන විට මෙටි්‍රක් ටොන් 1,67,000ක් ආනයනය කළා. ඒ කියන්නේ හිඟයි කිව්ව ප්‍රමාණයට වඩා දෙගුණයක් ආනයනය කළා. මේ සහල් අතිරික්තයක් තිබෙන කිව්ව රටේ. ප්‍රශ්නය මොකක්ද? ආණ්ඩුවක් සතුව සහල් සංචිතවල දත්ත නැහැ. කොපමණ වී වගා කරනවාද? කොපමණ පරිභෝජනයක් වෙනවාද? කොපමණ ප්‍රමාණයක් හිඟ වෙයිද? මොන මාසෙද හිඟ වෙන්නේ? දත්ත නැහැ. ඒවාට තමයි ආණ්ඩු කියන්නේ. මේ අය හැමදාම කළේ හාල් හිඟයක් එන විට තම ගජමිතුරන්ට හාල් ආනයනය කරන්න ඉඩ දීලා කොමිස් ගන්නවා. සැලැස්මක් නැති රටක්, ඉබාගාතේ යන රටක්. අපට මෝල් හිමියන් සමඟ රණ්ඩු කරන්න පුළුවන්. මෝල් හිමියන් සමඟ රණ්ඩු කරලා මේක පාලනය කරන්න පුළුවන්, නමුත් රජය සතුවත් යම් ප්‍රමාණයක් තිබිය යුතුයි. අපි ගාව ඇටයක්වත් නැහැ. මෙටි්‍රක් ටොන් ලක්ෂ ගණන් ගබඩා කළ හැකි ගබඩා දිරාපත් වෙලා.
ඊළඟට විශේෂයෙන්ම අපේ රැකී රක්ෂාවල අර්බුදයක් තියෙනවා. අපි අර තොග ගණන් රස්සා දෙන සංස්කෘතියට යන්නේ නෑ. අපි දැනට ඉදිරිපත් කර තිබෙනවා ඒ ඒ ආයතනවලට අත්‍යවශ්‍ය පුරප්පාඩු කියන්න කියලා. ඒ අත්‍යවශ්‍ය පුරප්පාඩු අපි මේ එළඹෙන අයවැයෙන් පුරවන්න බලාපොරොත්තු වෙනවා. ගුරු පුරප්පාඩු තිබෙනවා. තක්සේරුකරුවන්ගේ පුරප්පාඩු තිබෙනවා. රේගුවේ පුරප්පාඩු තිබෙනවා. පොලිසියේ විසි එක්දාහක් තිබෙනවා. නවදාහක් බඳවා ගන්න අපි අවසර අරන් තිබෙනවා. දෙදහක් අපි මේ වසරේ බඳවා ගන්නවා. මොකද ටේ්‍රනිංවලටත් ඉඩ තියෙන්න ඕන. ඒ අනුව තරුණ තරුණියන්ට අපි රැකියා අවස්ථා නිර්මාණය කරනවා ආණ්ඩුවේ පුරප්පාඩු ඇතුව. එහෙම නැතුව කාර්යයක් නැති රස්සා අපි හදන්නේ නෑ.
එලියේ ආර්ථිකය ගොඩ නඟනවා. එළියේ ආර්ථිකය
ගොඩ නඟන්න සියල්ල සකස් කරමින් තිබෙනවා. ඩොලරය 300ට යටින් තියා ගෙන ඉන්නවා. මේ පෙබරවාරි මාසයේ සිට වාහන වෙළෙඳපොල විවෘත කරනවා. අවුරුදු පහක් වාහන වෙළෙඳපොළ වහලා තිබුණේ. විවෘත කරන කොට ඉතාමත් සංයමයෙන් විවෘත කළ යුතුයි. එකවර වාහන විශාල තොගයක් ගලා ගෙන ආවොත් ආර්ථිකය නැවත අර්බුදයකට යනවා. වහලා තිබ්බොත් ඒකත් හොඳ නෑ. ඒ නිසා වාහන වෙළෙඳපොළ විවෘත කළ යුතුයි. හැබැයි අර්බුදයක් ඇති නොවන ආකාරයෙන්. ඊට අවශ්‍ය වන සැලසුම් අපි හදලා තිබෙනවා. ඒ නිසා ලබන පෙබරවාරි 01 වෙනිදා සිට වාහන ආනයනයට තිබෙන බාධා සීමා අපි ඉවත් කරනවා. ක්‍රමානුකූලව. ආර්ථිකයේ ස්ථාවරභාවයන් අපි නිර්මාණය කරමින් යනවා.
එතකොට කට්ටිය කියනවා සහෝදරයා ඔය ඔක්කොම හරි හොරෙක් දෙන්නෙක් දාන්න බැරිද කියලා. අදත් ආරංචියි එක්කෙනෙක් රිමාන්ඩ් වෙනවා. රිමාන්ඩ් වෙලා මදි. පරීක්ෂණ පවත්වන තෙක් රිමාන්ඩ් භාරයට යනවා. ආයෙ සති දෙක තුනකින් ඇප දෙනවා. ඒ පරීක්ෂණ අවධිය. හැබැයි හරිම අවධිය මොකක්ද? නඩුවක් ගොනු කරලා අධිකරණයෙන් වරදකරු විය යුතුයි. ඒක තමයි හරිම ක්‍රමවේදය. නඩුවක් ගොනු කරන්න නම් හොඳ පරීක්ෂණයක් කෙරෙන්න ඕන. පරීක්ෂණ කරන්නේ මොකේද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව. මේ වගේ මේ පරීක්ෂණ කළ යුතුයි. අපට ඕන වුණා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරණ තොරතුරු ගැන දන්න පරීක්ෂණ ගැන දන්න නිලධාරීන් ටික ගේන්න. දැන් යම් ප්‍රමාණයක් අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දක්ෂ හැකියාව තිබෙන අවංක නිලධාරීන්ගෙන් නිසි පරිදි ස්ථානගත කර තිබෙනවා. ඔවුන්ගෙන් දැන් වැඩ ටික පටන් අරගෙන තිබෙනවා.
ඊළඟට අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව. ඒකේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉල්ලා අස් වුණා. නඩුවක් හේතු කොට ගෙන. නැවත වැඩ බලන අධ්‍යක්ෂවරයෙක් පත් කළා. වැඩ බලන අධ්‍යක්ෂවරයෙක්ගේ තනතුරක් ඒකේ තියෙනවද කියලා ප්‍රශ්නයක් ආවා. ඒ නිසා එයා හරහා නඩු දාන්න බැහැ. නඩුව විසි වෙනවා. වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් නෑ කියලා නඩුව ගත්තොත්. ඒ නිසා අපට අලුත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් පත් කර ගන්න ඕන කම තිබුණා. මම හිතනවා මේ සතියේ ඉදන් වැඩ පටන් ගනී. නයා කෑ ෆයිල් පවා උඩට එනවා. අද මම කියලා යන්නෙ පරීක්ෂණ කරන්න ඕන. මේ පරීක්ෂණ ඔක්කොම නීතිපති දෙපාර්තමේන්තුවේ හිර වෙනවා. මේවා අධ්‍යයනය කරන්න ඕන. නඩු පවරන්න චෝදනා ගොනු කරන්න ඕන. විශාල කාර්යභාරයක්. මේ ටික මේ වසරේම ඉවර වෙනවා නම්, නීතිපති දෙපාර්තමේන්තුවට මේ අමාරුව නැහැ. මේ තියෙන්නෙ වසර 15 – 20ක් තිස්සේ ගොඩගැසුණු නඩු. ආණ්ඩු මේවා කරන්න දුන්නෙ නැහැ. කාර්ය මණ්ඩලයක් ඉන්නෙ මේ වසරට ආ නඩු මේ වසරේදීම නඩු ගොනු කරන්න. එක්කෙනෙක් ගාව ෆයිල් 100 – 200ක් විතර තියෙනවා. ඉතිං කොහොමද අධ්‍යයනය කරලා නඩු පවරන්නෙ? දුෂ්කරයි. මේ ආයතන අකර්මණ්‍ය කරලා තියෙන්නෙ. ආයතන කඩා වැටුණාම ෆයිල් ටික හිර වෙනවා. දැන් ඒ ෆයිල් විවෘත කරන්න පටන් ගත්තාම ඒ නිලධාරීන් දුෂ්කරතාවට පත් වෙනවා. නමුත් දැන් ඔවුන් ජාතික වශයෙන් වැදගත් ෆයිල් විවෘත කරලා, නඩු පවරන්න එකඟතාව පළ කර තිබෙනවා. බොහෝ විට මේ මාසය අග වන විට නඩු කිහිපයක් පවරයි. පෙබරවාරිවල තව නඩු කිහිපයක් පවරයි. අපි නඩු දානවා.
පළමුව අප වංචා දූෂණයට තිත තියලා තියෙනවා. දෙවැනුව වංචා දූෂණයේ යෙදුණු අයගේ දේපළ පවරා ගැනීමට කටයුතු කරනවා. ඒ ගැන සැකයක් තියා ගන්න එපා. අප රටේ පාතාලය, කුඩු ව්‍යාප්ත වෙමින් තිබෙනවා. පොලිස්පතිතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීමකින් ලංකාවේ විශාලතම කුඩු තොග අල්ලමින් සිටිනවා. අද හමුදා කඳවුරුවල තිබෙන ආයුධ පවා එළියට ඇවිත් තියෙනවා. ඉතා භයංකර තත්ත්වයක්. එක්තරා හමුදා කඳවුරුවක ටී-56 ආයුධ 73ක් පාතාලය ගාවට ඇවිත් තියෙනවා. දැනට 38ක් අත්අඩංගුවට අරන් තියෙනවා. තව 35ක් හොයමින් සිටිනවා. එහෙමයි වෙලා තියෙන්නෙ. ඉතා කීර්තිමත් හමුදාවක් අපට සිටිනවා. හමුදාවේ ගෞරවය ආරක්ෂා කරන විශාල පිරිසක් සිටිනවා. ඒ පිරිසක් සිටින අතර, හමුදාවේ ආයුධ පාතාලයට ඇවිත් තියෙනවා. හමුදාවේ කිහිප දෙනෙක් සිටිනවා කුලියට වෙඩි තියලා ආයෙත් කඳවුරට යන. දැනට 13 දෙනෙක් අත්අඩංගුවට අරන් තිබෙනවා. මේවා අපරාධ. අප විශ්වාස කරන්නේ කොහොමද? දේශපාලන රැකවරණ සහිතව හමුදාවේ ආයුධ පාතාලයට එනවා නම් විශ්වාස කරන්නෙ කොහොමද?
මේක අපරාධ රාජ්‍යයක්. අපරාධ රාජ්‍යයක් උඩ අපි ඉන්නෙ. අපි මේක එකින් එක පිරිසිදු කරනවා. පාතාලයට, අපරාධ රාජ්‍යයකට ඉඩකඩ තියන්න අපි ඉඩ දෙන්නේ නැහැ. මේවා අපි කරන්නෙ නැතිනම් වෙන කවුරුත් කරන්නෙ නැහැ. පාතාලයට නැටවෙන දේශපාලනයක් අප රටේ තිබුණා. නිදැල්ලේ මේවා වර්ධනය වීමට ඉඩ දුන්නා. මේ මාසයේ අග වන විට පොලිස් නිලධාරීන් ගණනාවක් තම ජීවිත තර්ජන නොතකා මේ මෙහෙයුමේ සිටිනවා. මම ඔවුන්ට උපහාර පුදනවා වගේම උසස්වීම් ලබා දෙන්නත් කටයුතු කරනවා. අපට හොඳ රාජ්‍යයක් අවශ්‍ය නැද්ද?
මෙරට ප්‍රබලතම ආණ්ඩුකරණ දේශපාලන හැරවුම අප අරන් තිබෙනවා. හැරවුම ගන්න කොට සමහරු අඬනවා, සමහර අයට රිදෙනවා. මේ දවස්වල ටිකක් ඇඬුම් වැඩි වෙලා. මම නැවත වතාවක් කියනවා, ඔවුන්ට දශක ගණනාවක් අඬන්න සිදු වෙනවා. එනිසා පස්සෙ අඬන්න කඳුළු තියා ගන්න. දැන්මම අඬලා ඉවර කරන්න එපා.
විදුලි බිල ප්‍රශ්නයේදී, සාමාන්‍යයෙන් විදුලි බිල තීරණය කරන්නෙ මහජන උපයෝගිතා කොමිසමයි. විදුලිබල මණ්ඩලය තමන් සතුව තියෙන දත්ත මත, ඔවුන් ඔවුන්ගේ යෝජනාව ඉදිරිපත් කරනවා. විදුලිබල මණ්ඩලය තමන්ගේ ගාණ කීම වැරදියි. ඇයි? එයාම නිෂ්පාදකයා, එයාම විකුණන කෙනා, එයාට ඕන විදියට මිල තීරණය කරන්න පුළුවන්. විදුලි බල මණ්ඩලය තමන්ගේ දත්ත මත වාර්තාවක් හදලා දෙනවා මෙන්න මේ දත්ත මත අපට විදුලි බිල වැඩිකළ නෙහැකි කියලා. මහජන උපයෝගීතා කොමිසම. මා විසින් ඉතාම ස්වාධීන, එම ක්ෂේත්‍රය පිළිබඳ අත්දැකීමක් තිබෙන කණ්ඩායමක් මහජන උපයෝගීතා කොමිසමට පත් කළා. දැන් මොකද වෙන්නේ. විදුලි බල මණ්ඩලය තමන්ගේ කථාව කියනවා, මහජන උපයෝගිතා කොමිසම ඒක පරීක්ෂා කරනවා. පරීක්ෂා කරලා බලලා කියනවා ඕගොල්ලෝ කියන එක ටිකක් වැරදියි, මෙන්න මෙච්චර ප්‍රමාණයකින් අඩු කරන්න පුළුවන් කියලා. ඒක ඉතාමත් හොඳ විනිවිදභාවයෙන් කළේ. නැත්නම් වෙනදා අඩු කරනවා කියලා කියන්නෙත් විදුලි බල මණ්ඩලය, වැඩි කරනවා කියලා කියන්නෙත් විදුලිබල මණ්ඩලය. දැන් එහෙම නෙවෙයි, විදුලි බල මණ්ඩලය තමන්ගේ යෝජනාව ගේනවා, මේකයි තත්ත්වය අපිට අඩු කරන්න පුළුවන්ද, බැරිද කියලා. මහජන උපයෝගිතා කොමිසම මා විසින් පත් කරලා තිබෙනවා ඔවුන් ඔවුන්ගේ වාර්තාව බලලා මේ අය කියන එක හරිද වැරදිද කියලා කියනවා. ඔවුන් වාර්තාව බලලා කිව්වා අඩු කළ හැකියි කියලා. ඒ අනුව සාමාන්‍ය අගය ගත්තොත් 20%කින් අඩු වෙලා තිබෙනවා. යුනිට් 0 සිට 30 දක්වා පාවිච්චි කරන අයගෙන් 30%කින් අඩු වෙලා තිබෙනවා. හෝටල්වලට සහ කර්මාන්තවලට 30%කින් අඩු වී තිබෙනවා. අපි තමුන්නාන්සේලාට කිව්වා කෙටි කාලයක් තුළ 1/3කින් විදුලි බලය අඩු කරනවා කියලා. අපි එය කරලා තිබෙනවා. දැන් කට්ටිය කියනවා ඔවුන්ලු කළේ. ඔවුන්ට විදුලි බිල අඩු කරන එක කරන්න පුළුවන්ද, මේ මනස්ගාත. මා විසින් පත් කළ කොමිසන් සභාව විසින් අධ්‍යයනය කරලා එය කරලා තිබෙනවා.
හැබැයි අපි දන්නවා එයින් විදුලිබල මණ්ඩලයට යම් දුෂ්කරතාවක් තිබෙනවා. මා මේ සතියේ විදුලිබල මණ්ඩලයේ නිලධාරින් සියලුදෙනා කැඳවා තිබෙනවා. මේ තත්ත්වයට අනුව අපි වියදම් කළමනාකරණය කර ගන්නේ කොහොමද කියලා දැන් සැලසුම් හදනවා. මොකද විදුලි බල මණ්ඩලය වැටෙන්න දෙන්න බැහැ. දැනටමත් බිලියන 181ක ණයක් තිබෙනවා. ඒකට පොළිය ගෙවන්න ඕන. ඒ නිසා අර්බුදයක තිබෙන්නේ. විදුලි බල මණ්ඩලය අර්බුදයට ගියොත් නැවත කඩා වැටීමට
ලක් වෙනවා. විදුලිබල මණ්ඩලය අර්බුදයට ලක් නොවි, විදුලි බිල පාලනය කර ගන්නේ කොහොමද කියලා, නැවත වියදම් සීමා කර ගන්නේ කොහොමද කියලා අපි මේ සතියේ විදුලි බල මණ්ඩලය සමග සාකච්ඡා කරලා මේ අඩු කිරීම ස්ථාවර කරනවා.
ඒ වගේම තෙල් පිළිබඳව කටයුතු කිරීමට තව පොඩි කාලයක් යයි. ඒකේ බද්දක් තිබෙනවා. ඒ බදු මුදලේ විශාල ප්‍රමාණයක් යන්නේ ඒ ණය ගෙවීමට. තෙල් සංස්ථාව සතුව තිබු ණය ඔක්කොම භාණ්ඩාගාරයට අරන් තියෙනවා. දැන් තෙල් සංස්ථාව ණය නෑ. තෙල් සංස්ථාවේ ණය ගත්තොත් සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 03ක් වගේ ප්‍රමාණයක්. ඒ ණය ඔක්කොම භාණ්ඩාගාරයට පවරගෙන තිබෙනවා. ඒ අනුව විකුණන සෑම තෙල් ලීටරයකටම ණය ගෙවන්න ගාණක් දාලා තිබෙනවා. දැන් තෙල් සංස්ථාව ණය නැහැ. හැබැයි තෙල් සංස්ථාවෙන් විකුණන හැම තෙල් ලීටරයකටම ණය ගෙවන්න භාණ්ඩාගාරයට දිය යුතු ගණනක් තිබෙනවා. අපිට එය නැති කරගන්න වෙන්නේ ණය ගෙවලා ඉවර වුණහම. අපි දැන් සැලසුමක් හදලා තියෙනවා, ණය ගෙවීමේ කාලය වැඩි කරලා සහනයක් ගන්න පුළුවන්ද කියලා. අපි මුදල් අමාත්‍යාංශය, තෙල් සංස්ථාව, මහජන බැංකුව සහ ලංකා බැංකුව සමඟ සාකච්ඡා කරලා මේක අඩු කරන්න පුළුවන්ද කියලා බලනවා.
රටේ යටිතල පහසුකම් සංවර්ධන කරමින්, ආර්ථිකය ඉදිරියට ගෙන එමින්, නීතියේ ස්ථාවරත්වය තහවුරු කරමින් ඉදිරියට යන රාජ්‍යයක් අපි ගොඩනඟනවා. මෙම රාජ්‍ය ගොඩනැගීමේදී විශාලම ශක්තිය ලබා දුන්නේ ඔබයි. අපි සියලුදෙනා එක්ව මෙම වෙනස ඇති නොකරන්න තවමත් පැරණි පන්නයේ රාජ්‍යයක් තමයි අපි ඉදිරියේ තිබෙන්නේ. අපි සියලුදෙනා එක්ව මෙම වෙනස ඇති කිරීම සඳහා මැදිහත් නොවන්න තාමත් පරණ දේශපාලනයක් අපේ රටේ තිබෙන්නේ. ඒ වගේම හොරකම්වලින් පිරුණු දේශපාලනයක්, මහජනතාවට වඩා උඩින් ඉන්න දේශපාලකයින්, මහජනතාවගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් විනාශ කරන දේශපාලනයක් මේ රටේ තිබෙන්නේ. ඒ දේශපාලන ක්‍රමය මුළුමනින්ම තුරන් කර පූර්ණ වශයෙන් ආණ්ඩුවට මාස දෙකක් ආසන්න වෙලා තිබෙනවා. මේ මාස දෙක තුළ අපි ලොකු ගමනක් ගිහින් තිබෙනවා. අපි ශක්තිමත්ව මේ ගමන ඉදිරියට ගෙන යමු. ඒ වෙනුවෙන් එක්වන ලෙස සියලුදෙනාට ආරාධනා කරනවා
කමල් බෝගොඩ, කළුතර – සුනිල් කත්‍රිආරච්චි