චීන සිංහල රජ පවුල සහ ගැටබරු දෙවියන් ගැන අප‍්‍රකට තොරතුරු

772

හයවන පරාක‍්‍රමබාහු රජු ලංකාව එක්සේසත් කොට කෝට්ටේ රාජධානිය මුල් කොට වසර පනස් හතරක් රාජ්‍යත්වයේ සිටි බව ඉතිහාස මූලාශ‍්‍රවල සඳහන්ය. ඔහුගේ මව වූයේ ගිරිවංශික සුනේත‍්‍රා දේවියයි. ගම්පළ වීරබාහුත් සමග සටන් කොට පැරදී චෝල දේශයට පලා ගිය ලැමණි වීර අලකේශ්වර ඇයගේ ස්වාමියා වෙයි. ගිරිවංශික සම්බන්ධය නිසා ලම්භකර්ණයන්ද මේ යුගයේ අලකේශ්වර නාමය ගත්හ. මේ අලකේශ්වර පරපුර නොහොත් අලගක්කෝනාර පරපුර ලංකාවේ ආරම්භ වන්නේ දසවැනි ශතවර්ෂයේ දී පමණි. දෙවනි කාශ්‍යප රජුගේ පුත් මාන කුමරුගේ දරු පරපුර වත්මන් කේරළයේ නොහොත් අතීත පල්ලව දේශයේ රජ පරපුර සමග කටයුතු කොට නැවත ලංකාවට පැමිණීමත් සමග ප‍්‍රභූ පවුලක් ලෙසට අලකේශ්වර පරපුර නැවතත් මතු වූ බව කිව යුතුයි. ගිරිවංශික අලකේශ්වර පරපුර බලයෙන්ද ධනයෙන්ද අග තැන්පත්ව වණිග්වංශ ශිඛාමණී යනුවෙන් විරුද නාමයක්ද දරා ඇත.

 දළදා වැඩමවූ දාඨාවංශික කීරවැල්ල පරපුරේ සුප‍්‍රකට කුමාරිකාවක් වන ස්වර්ණ මාණික්‍ය කුමරිය සයවන පරාක‍්‍රමබාහු රජුගේ අග බිසවයි. මේ අගබිසව නොබෝ කාලයකින් දැඩි සේ ගිලන් වන අතර බිසවට අසාධ්‍ය බව දැන ගෙන රජු ප‍්‍රතිකාර පිණිස ඉන්දියාවෙන් බමුණන් ගෙන්වා යාග හෝම කොටත් සනීප නොවන බව තේරුම් ගෙන මවුකිරිවලින් සමන්විත බෙහෙත් ඔරුවක දමා ප‍්‍රතිකාර කළ බව සඳහන්ය. නමුත් අවාසනාවකට මේ බිසව ඉතා ඉක්මනින්ම මියගියේය. අග බිසව මියයද්දී රජුට සිටියේ ලෝකනාථා උලකුඩය දේවිය නමින් වූ දුවණියක් පමණි. පුතෙක් හිටියේ නැත. කීරවැල්ලේ කුමරියගේ නැ`ගණියගේ දරුවන් වන සපුමල් කුමරුත් අම්බුළුගල කුමරුත් රජ වාසලේ ඇති දැඩි වන්නේ රජුගේ පුත් තනතුරේ තබාගෙනය.

චීන සිංහල රජ පවුල සහ ගැටබරු දෙවියන් ගැන අප‍්‍රකට තොරතුරු

කලක් ගත වුණ අතර රජු නැවතත් කුමරියක් ගැන ආශාවෙන් පසු වූයේ තමන්ගෙන් පසු රාජ්‍ය උරුමයට පුත‍්‍රයෙකු නැති නිසාවෙනි. රන්මැණිකේ කීරවැල්ලට තවත් නැ`ගණියක් සිටි අතර ඇය දිවි ගෙවූයේ පස්යොදුන් කෝරලයේ බව මූලාශ‍්‍ර දක්වයි. මධුරා නොහොත් මිහිරි නමින් හැඳින්වූ මේ කුමරිය නිසි වයසට පත්වූ පසු රජ වාසලට කැටුව විත් සිය බිසව බවට පත් කරගත් බවට සාක්ෂී කීපයක් පවතී. රජුත් මේ කුමරියත් කෙළි දෙලෙන් ගත කළ තැන් එමට වෙයි. එකක් නම් ඇතුල් කෝට්ටේ රන්පොකුණයි. වර්තමානයේ මේ තැන් කඩා ගෙවල් සාදා ඇත. අනෙක් ස්ථානය නම් වත්මන් ආනන්ද ශාස්ත‍්‍රාල භූමියේ තිබෙන භූගත කුටියයි. කෙසේ වුවත් මිහිරි දේවිය රජුගෙන් ඈත් කරන්නට තරම් සමත් බලයක් සයවන පරාක‍්‍රමබාහු රජුගේ කෝලිය වංශික බිසව නිසා රජ වාසලේ ඇති විය. මිහිරි දේවියට දරුවෙක් ලැබෙන්නට සිටි මොහොතේ ඇයට මාළිගයෙන් පිටමං වන්නට සිදු වූයේ මේ කුමන්ත‍්‍රණයේ ප‍්‍රතිඵලයක් ලෙසටයි.

 මිහිරි බිසව තමන්ගේ ඥාතීන් ජීවත්වන රයිගම අසල කෙසෙල් හේනාවට එන ගමනේදී සතුරන් ඇයට වස දෙන්නට තැත් කළහ. වත්මන් හොරණ බැල්ලපිටියේදී කුමරිය මරණයට පත්කිරීමට වස යෙදූ කිරි ආහාර සකස් කොට තිබුණි. නමුත් මේ බැව් දැනගත් නන්දා නම් දාසියක් මිහිරි දේවියට එම ආහාර නොදී තමන් අනුභව කොට මියයන අතර පසුව බැල්ලක් වී ඉපද වස දෙන්නට තැත් කළ පිරිස සපා කෑ බව ප‍්‍රවාද ගතය. බැල්ලපිටිය වූයේ එලෙසයි.

 මේ තත්ත්වය නිසා මිහිරි දේවිය කෙසෙල් හේනාවෙත් නොනැවතී පස්යොදුන් කෝරළයේ ගිරි දුර්ග අතර සැඟවී සිට සිය කුළුඳුල් දරුවා ප‍්‍රසූත කර ඇත. ඒ 1433 දී පමණය. දරුවා ලොකු මහත් වුණ පසු පිරිමි දරුවකු ඉපදුණ බවට රජුට ආරංචි විය. මේ ඉපැදුණු කුමරා තමයි. සුදුමල් බණ්ඩාර නොහොත් ශ‍්‍රී වර්ධන දඹදෙණියේ ශ‍්‍රී වර්ධන ප‍්‍රතිරාජ අමාත්‍යවරයාද මේ පරපුරේ බැවින් මේ දරුවාටත් ඒ නම ලැබුණු බව දැක්වේ. ලොකු මහත් කරගත් දරුවාට රජු ප‍්‍රභූරාජ පදවිය නොහොත් ප‍්‍රතිරාජ පදවිය පිරිනමන අතර පස්යොදුන් කෝරළය පාලනය කිරීමටද අවසර ලබා දී ඇත. මේ කාලයේ යාපනයේ ආර්ය චක‍්‍රවර්තීවරුන්ට විරුද්ධව සටන් වැදීමට සපුමල් කුමරු පිටත්ව යන අතර මේ ගමනට ශ‍්‍රී වර්ධන කුමරුත් එක් වුණි. ඒ ඔහුට වසර දාසයක් පිරී තිබෙන මොහොතේදීය. යන්නට ප‍්‍රථම කඩුව කොපුවෙන් ගෙන මහ පොළවේ ඇන සිය මවු ඉදිරියේ සපථ කළේ මේ කවිය කියා බව ප‍්‍රවාදගතය.

 දහසක් පටුනු ගම් දිනු මහ බාහු පැරකුම් – යාපා පටුන ගෙන දෙමි සිරිවඩන පුතුය මම්
 හස්ති ලතා තීර්ථය නොහොත් පස්යොදුන් කෝරලයේ අත්වැල්තොට ආසන්නයේ මිරිහාන කන්දෙන් අල්වා ගත් ගිරි නම් හස්තියා පෙරටු කොට ගත් සිරිවඞ්ඩන කුමරුත් සපුමල් කුමරුත් මේ සටන ජය ගත්හ. සපුමල් කුමරුට සේනානායක සපුමල් කියාත් ශ‍්‍රී වර්ධනයන්ට සමරවීර කියාත් රජ්ජුරුවන් ගෙන් තාන්න මාන්න ලැබුණු අතර යුද ජයග‍්‍රහණය සමරා ගංගොඩවිල පෙදෙසේ විජයාරාමය නමින් වෙහෙරක් කරවූ බවද පැවසෙයි. ශ‍්‍රී සංඝබෝධි රඝුනාථ මාපා යනුවෙන් නල්ලූර් කෝවිල් සෙල්ලිපියේ දැක්වෙන්නේ ද මෙතුමාය.

 සපුමල් කුමරු සහ ශ‍්‍රී වර්ධන කුමරු විවාහ වූයේ එකම පවුලකිනි. ඒ කීරවැල් රාජවංශික පවුලකිනි. ලොකු මැණිකා (කළු මැණිකා) සහ ධන මැණිකා (රත්නාවලී) නම් වූ කුමරියන් බව දැක්වෙයි. 1459 දී ශ‍්‍රී වර්ධන කුමරු චීනය බලා දූත ගමනක යෙදෙන අතර එහි ස්වල්ප කාලක් දිවි ගෙවමින් සිට චීන ගුවැන්ෂි රජුගේ පර්සියානු බිසවගේ දියණිය සමග විවාහ වූ බව පැවසෙයි. චීනයේ ෂී රාජ පරපූර (ශ‍්‍රී) ඇරඹෙන්නේ එතැන් සිටය. ඉන්පසු සයවන පරාක‍්‍රමබාහු රජු මියයෑමෙන් පසු ආපසු ලංකාවට පැමිණි බව පැහැදිලිය. සයවන පරාක‍්‍රමබාහු රජු මියයෑමෙන් පසු සපුමල් කුමරු උලකුඩය දේවියගේ පුත් දෙවන ජයවීර පරාජයට පත්කර සයවන බුවනෙකබා නමින් රජ විය. ශ‍්‍රී වර්ධන කුමරු ප‍්‍රතිරාජ පදිවිය දරමින් පස්යොදුන් කෝරළය පාලනය කළේය. නමුත් මේ කාලයේ රටට එරෙහිව තිබූ මුක්කර බලය නිසා රජු උතුරේ කරවයන්ට සහ ද්‍රවිඩ වෙළෙඳ ශ්‍රේණිවලට තොටමුණු පාලනය කරන්න බලතල දුන් බව දැක්වෙයි. ශ‍්‍රී වර්ධන කුමරු රටට එරෙහිව තිබෙන මේ විජාතික බලය ගැන කලකිරී රජුට කරුණු සැළ කළත් පලක් වූයේ නැත. පසුව තොටගමුවේ රාහුල හිමි මහන්තේ ඒකානායක කූරගම ඉමියා සමග එක් වී පස්යොදුන කළු ගඟ සිට වලවේ ගඟ තෙක් රජුට විරුද්ධව කැරලි ගැසුමට ශ‍්‍රී වර්ධන කුමරු සමත් වන්නේ යැයි රාජාවලිය දක්වා ඇත. සිංහල සංගේදම නැතිනම් සිංහල පෙරළිය නමින් මේ කැරැුල්ල හඳුන්වා දී ඇත. මේ සටනින් ශ‍්‍රී වර්ධන කුමරු පරාජයට පත් වී දඟ ගෙයි ලන බවද දැක්වේ. පසු කාලයේදී රජු තමන්ගේ පුත‍්‍රයා රැුක බලා ගැනීම පිණිස ශ‍්‍රී වර්ධන කුමරු පත්කොට නිදහස් කළ බවද දැක්වෙයි. ධන මැණිකා නොහොත් රත්නාවලී බිසව තම පුත‍්‍රයා සමග කෙටි කලක් රාජ්‍ය විචාල අතර මේ කාලයේ දී ඇති ඔරුවල සන්නසේ සඳහන්ව ඇත්තේ ශ‍්‍රී පරාක‍්‍රමබාහු වශයෙනි. ශ‍්‍රී යනු ශ‍්‍රී වර්ධන යන්නයි.

 පස්යොදුන් කෝරලයේ ගණේ උඩ පවතින සෙල් ලිපියකද මේ ශ‍්‍රී අකුර පැහැදිලිව දැක්වෙයි. අම්බුළුගල කුමරු මෙම පත්වීමට එරෙහි වන අතර සපුමල්ගේ පුත‍්‍රයා මරා රජ වූ බව රාජාවලියේ දැක්වෙයි. මෙම සටනේදී ශ‍්‍රී වර්ධන කුමරු අම්බුළුගල කුමරුට එරෙහිව සටන් වදින අතර කැලණියේ හීන් කෙන්ද වෙලේදී වැටෙනවා කියල තමයි රාජාවලිය වැනි මූලාශ‍්‍රවල දක්වා ඇත්තේ. ඒත් ඔහු මියගියේ නැත. නැවත චීනයට පිටත්ව ගිය ශ‍්‍රී වර්ධන කුමරු චීන රජ පවුලේ ආශිර්වාදයත් සමග තනතුරු දරමින් ජීවත් වී එහිදී මියගිය බව චීන රාජ සභා වාර්තා දක්වා තිබේ. වර්තමාන චීන රජ පවුලේ (ෂී) ආරම්භය සනිටුන් වන්නේ මේ කැකුලන්දොළ ශ‍්‍රී වර්ධන ප‍්‍රතිරාජයාගෙන්.

 චීන මූලාශ‍්‍ර අනුව මේ කුමරු හැඳින්වෙන්නේ කොලිශංසල ෂිලි-පචිලාජ (කැකුළන්දොළ ශ‍්‍රී ප‍්‍රතිරාජ) වශයෙන්. සුදු මල් බණ්ඩාර නොහොත් ශ‍්‍රී වර්ධන කුමරු ද පසුකාලයේ දේවත්වයට පත් වී තිබේ.

 චීන කොමියුනිස්ට් පක්ෂය බලයට පත් වූ පසු රජ පවුලේ කොටසක් තායිවානයට ගොස් ඇත. ෂ ලේපා යනුවෙන් තායිවානයේ සිටින කුමරු ඒ පරපුරේ කෙනෙක්. තවත් කොටසක් චීනයේ නවතිනවා.

 පසුගිය කාලය තුළ කීප වරක්ම ලංකාවට පැමිණි සූ ෂී යෙන් ඉ කුමරිය අයත් වන්නේ චීනයේ ජීවත් වූ රජ පවුලේ කෙනෙක් විදියටයි. ශ‍්‍රී වර්ධන කුමරුට දරුවන් තිදෙනයි. එයින් එක් කෙනෙක් තමයි ගැටබරු දෙවියන් ලෙසට වර්තමානයේ පිදුම් ලබන දේව රජ්ජුරු බණ්ඩාර. මේ කුමරු බස්නාහිර රජ්ජුරු බණ්ඩාර යනුවෙන්ද හැඳින්වේ. තම පියා චීනයට ගිය පසු පවතින රජයට විරුද්ධව නැතිනම් අටවන වීර පරාක‍්‍රමබාහුට විරුද්ධව දෙවනි සිංහල සංගය කළ බවට රජ්ජුරු බණ්ඩාර යාදින්නේ මෙලෙස සඳහන්ව ඇත.

 ‘පස්වාන් දහසකට මතු බුදුවන දේවයන් වහන්ස පළමුවෙන් අවසරයි දෙවනුවත් අවසරයි. තෙවනුවත් අවසරයි. මා අතින් මේ මුන් අතින් සිදු වුන දැන වැරදි නොදැන වැරදි දහසක් වරදට එක වාරෙට දහස් වාරයක් සමා අවසරයි දේවයන් වහන්ස. ඔබ වහන්සේ සිංහල රාජාවලියේ රාජ කුමාර පන්නේ ගෙවා ගැටවර වියට එළඹ රාජ තේජසින් බැබලී බැබළී දිලිසි දිලිසී රන් ඔටුන්න හිස පළන්`දාන රන් දුන්න සලිත කරගෙන රන් හීය සලිත කරවාගෙන දරුණු රීරි යක්ෂයා ඇතුළු යක්ෂ යක්ෂණියන් දහස් ගණනක් වහල් මෙහෙවරට අරගෙන ගිනිගත් සැඩ හිරු සේ ගිනි ජාලාවක් පරිද්දෙන් සතුරන් මැදට පැන ගෙන හ`ඩගහන තරමට හාමුදුරුවනේ අහස ගුගුරුවා ජය ඝෝෂා කරමින් කුළු ගවයන් පිරිස් මැදට ලා ගෙන රණ මොණරුන් රණ ඉත්තෑවුන් පන්ති ගෙන්වාලා ඉටි හොරේ හත් පොළකට කඩාපුපුරුවාලා කළුගල් කෝට්ට දහ අටක් කඩා ඉහිරුවාලා පරසතුරන්ට පහර පිට පහර දී දී හිස් ලූ ලූ අත ලූහු බන්දවා සිංහල සංගයෙන් ජයගෙන හතුරු වුන දිය ගන්නා ළිඳේ කළු පණුවන් ලවා ගොන්ගල් කන්දේ අකාලයේ සී සානවා දැක ගවයත් න`ගුලත් මිනිහත් ගල් වෙන්න වරම් දී අයුක්තියට අසාධාරණයට එරෙහි වෙලා මහත් වූ තේජානුභාවයෙන් වැඩ සිටි බව සැබෑ වී නම් සත්‍යවාදී වී නම් දින නැති නඩු නැති දේවයන් වහන්ස සමා අවසරයි.

 රන් දොර වෙසෙනා රන් ඔටුණු හිස දරාපු වීර වික‍්‍රමාන්විත සිද්ධ නෙළුගල බස්නාහිර රජ්ජුරු බණ්ඩාර පාත හාමුදුරුවනේ ඔබ වහන්සේ රාජ චන්ද්‍ර පරවේණියට ඌරු මුත්තට මාළිගා තැන්නේ පුරාන රාජ මාළිගාවට එළමන්දෙණියේ රාජකීය ගබඩාගමට ගැටබරුවට සිත්තම් ගල්ලෙනට දම්මුල්ලට ගල් ඇටුඹේ පුරාණ දේවාලයට රන්මල් කන්දට පොළතුගොඩ දේවායට දෙවිනුවරට කළුතර පස්යොදුනට පළි මඩම් ගණ කෝවිල් පනස් එකකට යහතින් දිවැස් කරුණා හෙළා වදාරණ හාන්දුරුනේ.

 අද වැනි දවසේ මේ පුරාණ දේව මාළිගාවට දිවැස් කරුණා හෙළා වදාරණ ප‍්‍රස්තාවට මා කීවා නාහා අරින්නෙපා රජ්ජුරුබණ්ඩාර හාන්දුනේ පිට කන් හෙළන්න එපා දෙවියන් සසර උපන්දා සිට අද වන තුරා අප රැස් කළ පිනුත් අරගෙන (කාරණාව) පාළොස්වක පායන පුන් සඳ ම`ඩල වගේ සෞම්‍ය ගුණයෙන් අග තැන්පත් වෙමින් ද රෝග උවදුරු වදුරු වසංගත නසනා ජීවක කෝමාර භච්ච නම් වෛද්‍යවරයා මෙන්මද පිනට පිහිට වෙනවැයි පින් ගන්නවැයි රැකී රක්ෂා බත බුලත ගොවිතැන් බත් සරුසාර කරදෙනවැයි හතුරන්ට අච්චු දී මකාලනවැයි රෝග උවදුරු දුරු කොට දෙනවැයි පවුල් පෙළවාසියම ආරක්ෂා කර දෙනවයි ඔබ කීර්ති පස්වාන් දහසකට ආයුබෝ වේවා ආයු බෝ වේවා.

 බස්නාහිර රජ්ජු බණ්ඩාර දෙවියන්ට පින් අනුමෝදන් කිරීම සඳහා පුරාණයේ පටන් භාවිතා වූ ගාථාවක්ද මෙසේ සඳහන් කළ හැකිය.

 ආධිත්‍ය වංශ අතිජාත ගුණාතිරේකෝ – රාජාති පුත‍්‍ර සිරිවර්ධන නාමධාරී

 බණ්ඩාර රජ්ජුරු මහත් බල තේජවන්තෝ -පුඤ්ඤානුමෝදතු මහත් ඵල වර්ධනාය.

 ශ‍්‍රීවර්ධන කුමරුගේ දරු පරම්පරාව නොහොත් දේව රජ්ජුරු බණ්ඩාරයන්ගේ පරම්පරාව මාතර දීගල වලව්වේ ජීවත්ව සිට ඇත. වැඩිමහල් පුත‍්‍රයා වන මහ රජ්ජුරු බණ්ඩාරයන්ගේ පරම්පරාව අගලවත්තේ ලියනගෙදර ජීවත්ව සිට ඇත. මේ පිරිසගෙන් පැවත පැමිණී අය පසුව කෝට්ටේ රාජධානියට නැවත පැමිණ වර්තමානය දක්වාම දිවි ගෙවන අතර මෙම ලිපියට අදළ වැදගත්ම තොරතුරු ලැබෙන්නේ වසන්ත සිරිවර්ධන මහතාගේ දීගල පුරාණය නම් කෘතියෙන් බව කිව යුතුයි.

advertistmentadvertistment
advertistmentadvertistment