චූලෝදර – මහෝදර දමනය කළ මහා කරුණාව

234

බුදුන්වහන්සේ චූලෝධර මහෝධර අතර ඇති වීමට ගිය මහා සටන වළක්වා ලමින් ධර්මය දේශනා කරමින් ඔවුන් සුමගට ගැනීමට කටයුතු කරන ලදී. බුදුරජාණන් වහන්සේ සමාදානය කළ යුද්ධය මෙය පමණක් නොවේ. රෝහිණි ගඟෙහි ජලය බෙදා ගැනීම මුල් කරගෙන හට ගැනීමට ගිය යුද්ධය නතර කර ශාක්‍ය කෝලිය වංශ දෙක අතර සමගිය ඇති කරන ලද්දේ බුදුරජාණන් වහන්සේ විසිනි. ලොව පහළ වූ ආගමික ශාස්තෘවරුන්ගෙන් යුද්ධය සමාදානය කළ එකම ශාස්තෘවරයා වන්නේ බුදුරජාණන් වහන්සේය.

බක් පුර පසළොස්වක පොහොය ශාසන ඉතිහාසය සුවිශේෂී සිද්ධි රාශියක් සිදු වූ පොහොය දවසකි. බක් පුර පසළොස්වක පොහොය යෙදී තිබෙන්නේ වසරේ භාග්‍යවන්තම මාසය වන අප්‍රේල් මාසයේය.

බක් පුර පසළොස්වක පොහොය ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට වැදගත් කරුණු කාරණා රාශියක් පවතින මාසයකි. සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය ඒ අතර ප්‍රධාන තැනක් ගනී. ජනතාවට සිංහල හා හින්දු අලුත් අවුරුද්දත් සමග සාමය සතුට සෞභාග්‍යය පිරි නව වසරක් උදාවේ. සිංහල අලුත් අවුරුද්ද ළඟ ළඟ එන බව හැඟීම් බරව අපට පවසන්නේ කොවුළාගේ කොවුල් නාදයෙනි. මේ මාසය තුළ විශේෂයෙන් අවට පරිසරය අලුත් වෙමින් පවතී. විශේෂයෙන් වෘක්ෂලතාවල පරණ පත් හලා නව පත් දලුලමින් මල් ඵල බරින් යුතු වන්නේ අප්‍රේල් මාසය තුළය. ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ කෘෂිකර්මාන්තයයි. කෘෂිකර්මාන්තයේ යෙදෙන ගෝවීන් තම අස්වනු නෙළා ගන්නා මාසය ද බක් මාසයයි. විශේෂයෙන් ගොවි ජනතාව තමන් ලබා ගන්නා වී ඇස්වැන්න පරිභෝජනය කරන්නට පළමුව තුණුරුවන් උදෙසා පූජා කරයි. එම සහලින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත කිරි ආහාර පුද පූජා පවත්වයි. ඒ අනුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී පසුගියදා රජයේ අනුග්‍රහය ඇතිව පනස් හත් වන වරටත් ජාතික අලුත් සහල් මංගල්‍යය සිදු කරනු ලැබීය. එසේම ගම්බද ජනතාව තම වෙහෙර විහාරස්ථානවල කිරි ආහාර පුද පූජා පවත්වනු ලබයි.

අපේ හෙළ චාරිත්‍ර වාරිත්‍ර සිරිත් විරිත් හා අවුරුදු ජන ක්‍රීඩා රැසක් පවතී. කෙසේ වෙතත් අද ජන සමාජයෙන් ඒවා ගිලිහී යන්නට නොදී නැවත වතාවක් නව පනක් දෙමින් සිංහල අලුත් අවුරුද්ද මහත් ඉහළින් පසුගියදා සමරනු ලැබිණ. මෙම වාසනාවන්ත පුණ්‍යවන්ත මාසයේම බක් පොහොය යෙදී තිබේ.

බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලංකාවේ නාගදීපයට වැඩම කරනු ලැබුයේ බක් පුර පසළොස්වක පොහොය දිනයි. බුද්ධත්වයෙන් පස් වෙනි වර්ෂයෙහි සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවසන බුදුරජාණන් වහන්සේට චූලෝදර මහෝදර යන නා රජුන් දෙදෙනා අතර මිණි පළඟක් නිසා ඇති වූ සටනක් වෙනුවෙන් ඒ කෙරෙහි කරුණාවෙන් යුතුව බක් පුර පසළොස්වක පොහෝ දින පෙරවරුවේ නාගදීපයට වැඩම කළ සේක.

සෘද්ධි බලයෙන් අහස් කුසින් යුද බිමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ මහා ඝන අන්ධකාරයක් මවා නාගයන් බිය ගන්වා දමනය කළ බව ඉතිහාසයේ සඳහන් වේ.

තථාගතයන් වහන්සේ චූලෝදර, මහෝදර යන නා රජුන් දෙදෙනාට හා එම දෙපිරිසේ සිටි බොහෝ දෙනකු සමගි කරවමින් ශ්‍රී ධර්මස්කන්ධය දේශනා කළහ. වෛරිභවයේ පවතින දෝෂ හා සමගි බවේ ඇති වටිනාකම හා අනුසස් පෙන්වා දුන්හ. එම ධර්මය ශ්‍රවණය කිරීමෙන් පසු යුද වැදී සිටි නා රජුන් දෙදෙනා මහත් සතුටට පත් වූහ. පසුව යුද්ධයට හේතුවූ මිණි පළඟ තථාගතයන් වහන්සේට පූජා කළහ. බුදුරජාණන් වහන්සේට පූජා කළ මැණික් පුටුව ඔවුන්ට ලබා දී එය එම ස්ථානයේම තැන්පත් කරන ලෙස උන්වහන්සේ අවසර ලබා දුන්හ. එහිදී එම මිණි පළඟ නිධන් කර නාගදීප චෛත්‍යය ඉදිකිරීම සිදුව තිබේ.

බුදුන් වහන්සේගේ මහා කරුණා ගුණය පිළිබිඹු වන අවස්ථාවක් ලෙස මෙය පෙන්වා දිය හැක. බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩම කරනු ලබන්නේ සහෝදරයන් දෙපිරිසක් අතර ඇති වූ කෝලාහලයක් මර්දනය කිරීම සඳහාය. එකල්හි උන්වහන්සේ චූලෝධර මහෝධර අතර ඇති වීමට ගිය මහා සටන වළක්වා ලමින් ධර්මය දේශනා කරමින් ඔවුන් සුමගට ගැනීමට කටයුතු කරන ලදී.

බුදුරජාණන් වහන්සේ සමාදානය කළ යුද්ධය මෙය පමණක් නොවේ. රෝහිණි ගඟෙහි ජලය බෙදා ගැනීම මුල් කරගෙන හට ගැනීමට ගිය යුද්ධය නතර කර ශාක්‍ය කෝලිය වංශ දෙක අතර සමගිය ඇති කරන ලද්දේ බුදුරජාණන් වහන්සේ විසිනි. ලොව පහළ වූ ආගමික ශාස්තෘවරුන්ගෙන් යුද්ධය සමාදානය කළ එකම ශාස්තෘවරයා වන්නේ බුදුරජාණන් වහන්සේය.

මෙම උතුම් පොහෝ දිනයේ අපගේ ජීවිතවලට වැදගත් පාඩමක් ලබාගත යුතුව පවතී. වර්තමානයේ අපගේ පවුල් තුළ කාර්යාල තුළ සමාජයේ අසමගිකම් බොහොමයක් දක්නට ලැබේ. පුද්ගලයන් සහ නොයෙක් කණ්ඩායම් අතරත් තම පවුල් තුළත් ගෙවල් දොරවල්, කාර්යාල තුළත් අසමගිකම් ගැටුම්කාරීත්වයන් දක්නට ලැබේ. පවුල් තුළ දෙමව්පියන් දූ දරුවන් හඳුනන්නේ නෑ. සහෝදර සහෝදරියන් හඳුනන්නේ නෑ. නොයෙක් අඩදඹරකම් දක්නට ලැබේ. කාර්යාල තුළ ප්‍රධානියා හා සේවකයන් අතර නොයෙක් මත ගැටුම් පවතී. අප රටේද තිස් වසරක කාලයක් ත්‍රස්තවාදී යුද්ධයක් පැවතිණ. ඉන් ජීවිත හා දේපළ රැසක් අපට අහිමි වීය. බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය අපගේ ජීවිතවලට ළඟා කර ගනිමින් කරුණාව මෛත්‍රි සිත් පෙරදැරිව ජීවත්විය යුතුව තිබේ. එසේ වූයේ නම් මෙවන් තත්ත්වයක් කිසිවිටෙක ඇති නොවේ.

බුදුරජාණන් වහන්සේ ධම්ම පදය කෝධ වග්ගයේ උත්තරා දේවිය අරඹයා මෙසේ වදාළහ.

අක්කෝධේන ජිනේ කෝධං – අසාධුන් සාධුනා ජිනේ
ජිනේ කදරියං දානේන – සච්චේන අලිකවාදිනං

ක්‍රෝධය ජය ගන්නට තිබෙන්නේ ක්‍රෝධ නොකිරීමෙන්මයි. යහපත ජය ගන්නට තිබෙන්නේ යහපතෙහි යෙදීමෙන්මයි. ලෝභකම ජය ගන්නට තිබෙන්නේ දන් දීමෙන්මයි. බොරු කියන පුද්ගලයා ජයගන්නට තිබෙන්නේ සත්‍යය කතා කිරීමෙන්මයි.

අද ලෝකයේ රටවල් අතර වුවද යුදමය තත්ත්වයන් ඇතිව තිබෙන්නේ ද සමගි සම්පන්නව කටයුතු නොකිරීමේ හේතු නිසාවෙනි. බුදුන් වහන්සේ එදා දේශනා කළ ධර්මය නිසි පරිදි පිළිපදිනවා නම් ලෝකයේ රටවල් වුවද යුදමය තත්ත්වයන්වලට පෙළඹෙන්නේ නෑ. බුදුදහම පිළිපදිනවා නම් ලෝකෙට ඉන් හොඳ පණිවිඩයක් ලබා දී තිබේ.

තවද මෙහිදී සිදුවූ සුවිශේෂී කරුණක් වන්නේ මහෝදර නා රජුගේ මාමණ්ඩියවූ මනි අක්කිත නා රජු තම බෑණාට උදව් කිරීම සඳහා කැළණියේ සිට නාගදීපයට පැමිණීමයි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනයේදී ධර්මය ශ්‍රවණය කර පැහැදී සිටි මණි අක්කිත නා රජු තමාගේ වාස භූමියවූ කැලණි පුරවරයට වැඩම කරවන ලෙස බුදුරජාණන් වහන්සේට එහිදී ආරාධනා කළේය.

ලොව්තුරා බුදුන් වහන්සේ සුද්ධෝදන පිය රජතුමා ඇතුළු ඥාති වර්ගයා නිවන් අවබෝධ කරලීම උදෙසා විසි දහසක මහා සංඝරත්නය පිරිවරා මැදින් පුර පසළොස්වක පොහෝදා කිඹුල්වත් නුවරට වැඩම කළහ. එහිදී පිය සංග්‍රහ, ඥාති සංග්‍රහ, රාහුල කුමරු පැවිදි කිරීම, නන්ද කුමරු පැවිදි කිරීම, යසෝදරා දේවියට ධර්මය දේශනා කිරීම ආදී සියලු කටයුතු නිමා කර බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවර සිට රජගහ නුවර දක්වා නැවත වැඩම කරනු ලැබුවේ බක්පුර පසළොස්වක පොහොය දවසේය.

සිදුහත් බෝසතාණන් වහන්සේ සතර පෙරනිමිති අතර මහල්ලකුගේ දර්ශනය දුටුවේ ද අද වැනි දවසක වීම ද විශේෂත්වයකි.

අසමගිකම්, වෛරය, ක්‍රෝධය නිසා කිසිම කෙනෙක් දියුණුවට පත්වන්නේ නෑ. එම නිසා කෘතවේදීත්වය, සමගිය සාමදානය අපගේ ජීවිතවලට ළංකර ගැනීමෙන් ජීවිතය ජයගත හැකි අයුරු බුදු දහමින් පෙන්වා දී තිබේ. මෙහිදී බුදුරජාණන් වහන්සේ ධම්ම පදය සඳහන් වන මේ දේශනා ඉතා වැදගත් වේ.

“නහී වේරේන වේරානි – සම්මන්තීධ කුදාචනං
අ වේරේන ච සම්මන්ති – ඒස ධම්මෝ සනත්තනෝ”

වෛර කිරීමෙන් වෛරය නොසන්සිඳෙයි. වෛර නොකිරීමෙන් වෛරය සන්සිඳේ. මෙය ලොව සනාතන දහමකි’ යන්න මෙමගින් පෙන්වා දී තිබේ.

බුදුරජාණන් වහන්සේ වසර 2500කට පෙර දේශනා කළ මේ දේශනාව වර්තමාන සමාජයට කෙතරම් ගැළපේ ද යන්න මනාව වැටහේ.

මේ අවස්ථාවේදී අපි අවෛරී සිතින් යුක්තව සෑම සත්වයෙක් කෙරෙහි දයාවෙන් අනුකම්පාවෙන් මෛත්‍රියෙන් යුතුව කටයුතු කළ යුතු ය.

මෙම උතුම් පොහෝ දිනයේ සිද්ධස්ථාන වෙත යමින් දාන, සීල, භාවනා ඇතුළු ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් කටයුතු කරන ලෙසත් යහපත් ගති පැවතුම් අපගේ ජීවිතවලට හුරු පුරුදු කර ගනිමින් සමාජයට රටට වැඩදායක පුරවැසියෙක් වීමට අධිෂ්ඨාන කරගත යුතුය.

චූලෝදර - මහෝදර දමනය කළ මහා කරුණාව

අනුරාධපුර ඓතිහාසික ලංකාරාමාධිකාරි
උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක
රැළපනාවේ ධම්මජෝතී නාහිමි

advertistmentadvertistment
advertistmentadvertistment