ප්‍රමිතියෙන් තොර ඖෂධ රෝගීන්ට ලබාදී රුපියල් කෝටි ගණනින් මුදල් ඉපැයූ බවට චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් නව දෙනාගේ වත්කම් සහ දේපළ ගැන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් අරඹා තිබේ.
ඒ අනුව හිටපු සෞඛ්‍ය ඇමැති සහ නිලධාරීන්ගේ මෙන්ම ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ බැංකු ගිණුම්, දේපළ සහ වත්කම් සෙවීමේ විමර්ශන කටයුතු මේ වන විට අරඹා තිබේ.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඇති නීතිවිරෝධී වත්කම් දේපළ විමර්ශන ඒකකය මඟින් මෙම විමර්ශනය දියත් කළ බව එහි ආරංචි මාර්ග පවසයි.
මෙම ඖෂධ වංචාව සිදුවූ කාල සීමාව තුළ හිටපු ඇමැති ඇතුළු නිලධාරීන් අට දෙනාගේ ඉපැයීම් හා දේපළ වත්කම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන බව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවැසීය.
හේමන්ත රන්දුණු