චෝදනා සනාථ කළ හැකි සාක්‍ෂි හෙළි වූවොත් ඩයනා උසාවි ගෙනඒම සීඅයිඩී වගකීමක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්

190

ආගමන විගමන පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇතැයි චෝදනා එල්ලවී ඇති රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා තම අධිකරණය මෙම අවස්ථාවේදී වරෙන්තු නියෝගයක් නිකුත් නොකරන නමුත් විමර්ශනවලදී ඉදිරිපත් වන තොරතුරු අනුව එකී චෝදනා සනාථ කළ හැකි සාක්‍ෂි අනාවරණය වන්නේ නම් ඇයව අධිකරණය හමුවට පැමිණවීම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ රාජකාරි වගකීමක් වන්නේ යැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (24 දා) විවෘත අධිකරණය හමුවේ පැවසීය.

නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවටත් එකී විමර්ශන මේ දක්වා අවසන් වී නොමැති බවටත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුව කරුණු දක්වා ඇති බැවින්, ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් නොකරන බව ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

රාජ්‍ය අමාත්‍යවරිය, ආගමන විගමන පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇති බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ පළමු බී වාර්තාවෙන්ම පෙන්වාදී ඇතත් මේ දක්වා ඇය අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන නොමැති බැවින් ඒ සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස පැමිණිලිකාර ඕෂල හේරත් මහතා වෙනුවෙන් හා අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා තිබිණි. ඒ සම්බන්ධයෙන් නියෝගය ඊයේ නිකුත් කළ අතර එම සැකකාරිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගෙන කරුණු වාර්තා කරන ලෙසට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිස්නා වර්ණකුලසූරිය මහත්මියත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් සහකාර පොලිස් අධිකාරි නීතිඥ චානක ද සිල්වා මහතා ඇතුළු නිලධාරි මණ්ඩලයකුත් පෙනී සිටි අතර නීතිඥ කැලුම් කුමාරසිංහ මහතා සමග නීතිඥ උදාර මුහන්දිරම්ගේ මහතා පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක


advertistmentadvertistment