රට ගොඩනැගීමට නම් ඉදිරියේදී ආණ්ඩු මාරු පමණක් නොව පවතින ආර්ථික ප්‍රතිපත්ති ද වෙනස්විය යුතු යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසූවේ දිවුලපිටිය, මැදගමුවේ කොට්ඨාස සභාව පිහිටුවීම වෙනුවෙන් පැවති රැස්වීම අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය.
ඔක්තෝබර් මාසේ 17 දිනට කලින් අපේ රටේ දේශපාලන ඉරණම වෙනස් කරන ජනාධිපති ඡන්දෙ එනවා. ඒක රනිල් වික්‍රමසිංහට නවත්වන්න බැහැ. ඒක තීන්දු කරන්නේ මැතිවරණ කොමිසම. ඒ ගැන ව්‍යවස්ථාවේ පැහැදිලිව දින සඳහන් වෙනවා. ඒකට වංගු ගහන්න වෙට්ටු දාන්න කාටවත් බැහැ. බැසිල්ට ඇමෙරිකාවෙ ඉඳලා ඇවිත් ඒකට වෙට්ටු දාන්න හදනවා. එයා කියනවා ‘ජනාධිපතිවරණය නෙවෙයි පාර්ලිමේන්තු ඡන්දෙ එනවා නම් හොඳයි’, කියලා. එහෙම කියන්නේ එයාට ජනාධිපති ඡන්දෙට දාන්න කවුරුත් නැති නිසා. බැසිල්ට බැහැ, මහින්දටත් බැහැ.
ගෝඨාභයට කොහොමත් බැහැ. බැසිල්ට මිනිස්සු කැමතිත් නැහැ. නාමල් ළපටි වැඩියි. පවුලේ කවුරුත් නැහැ. පවුලෙන් පිට කෙනෙකුට දෙන්න කැමතිත් නැහැ. එහෙම කවුරු දැම්මත් දිනන්නත් බැහැ. මේ ඡන්දෙන් අන්ත පරාජයට පත්වෙනවා.
ජනාධිපති ඡන්දේ අකුළන්න බැහැ. මිනිස්සු තීරණය කරලා ඉවරයි. රනිල්, බැසිල්ගේ යෝජනාවට ප්‍රතිචාර ලෙස කිව්වේ ‘එහෙම නම් පාර්ලිමේන්තුව විසුරුවන්න කැමති 113ක් අරගෙන මට පෙන්වන්න’ කියලා. පාර්ලිමේන්තුවේ ඉන්න 80%ක්ම පාර්ලිමේන්තුව විසුරුවනවාට බයේ ඉන්නේ. ඉන්න අයගෙන් බහුතරයකට ඊළඟ වතාවේ එන්න බැහැ. ඒ නිසා මොන ඡන්දෙටවත් එයාලා කැමති නැහැ. රනිල් මහ මැතිවරණයකට කැමති නැහැ.
මිනුවන්ගොඩින් යූ.එන්.පි.යට එන්න බැහැ. රනිල්ට මහ ඡන්දයේ ජාතික ලැයිස්තුවෙන් තිබූ එකත්, මහ ඡන්දයක් තිබ්බොත් නැතිවෙනවා. යන එන මං නැති වුණාම පොහොට්ටුවේ අය තමන් ළඟට එයි කියල හිතාගෙන රනිල් කල්මරමින් ඉන්නවා.
කවුරුත් පිළිගන්නා කාටත් තේරෙන ඇත්ත තමයි රටේම ජනතාව එක හඬින් කියන්නේ අවුරුදු 76ක් මේ රට පාලනය කළ දූෂිත පාලකයෝ පන්නලා දූෂිත පාලනයට එරෙහිව මේ රටේ දේශපාලන සංස්කෘතිය ගොඩනඟන නිෂ්පාදනය මත මේ රටේ ආර්ථිකය ගොඩනඟන එකම දේශපාලන බලවේගය යූ.එන්.පී, ශ්‍රී.ලංකා හැම පක්ෂයකම හොඳ මිනිස්සු එකතු කර ගත්ත ජාතික ජන බලවේගය, මාලිමාව කියලයි.
මාලිමාවේ අපේක්ෂක අනුර දිසානායක සහෝදරයා මේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරවනවා. ජයග්‍රහණය පිළිබඳව දෙගිඩියාවක් නැහැ. දැන් අපට තිබෙන්නේ ජයග්රහණයෙන් පසුව රට හදන්නේ කොහොමද කියන අභියෝගයයි. රට වැටුණේ ඇයි? රට හදන්න තිබෙන උත්තරය තිබෙන්නෙත් එතනයි. ඒකට මේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ. ඒ කියන්නේ හොරකම, දූෂණය, නාස්තිය නවත්වන එක. මාලිමාවේ අපි බලයට ආපු ගමන් තමුන්නාන්සේලාගේ මහජන ධනය කොල්ලකාපු හොර තක්කඩි ටිකයි, අතළොස්සක් වුණු නිලධාරි ටික හා ව්‍යාපාරිකයෝ ටිකයි චෞර නඩයයි තුන්ගොල්ලෝම එකතු කරලා නීතියෙන් දෙන්න පුළුවන් උපරිම දඬුවම දෙන එක දෙනවාමයි.
ඒකෙන් තමයි අපි රට හදන්න පටන් ගන්නේ. ඒ කිසිවෙකු සමග තිබෙන වෛරයකට නොවෙයි. පෞද්ගලික තරහක් කිසිවෙකු සමග නැහැ. නීතිය ක්‍රියාත්මක කරන්නේ රට හදන්න.
සිංගප්පූරුවේ ලී ක්වාන් යූ රට හදන්න පටන් ගත්තේ එහෙම. සොරකම් කළ අයට දඬුවම් දුන්නා. කිසිවෙක් හොරකම් කරන්න ආවේ නැහැ. සිංගප්පූරුවේ ආර්ථිකය වේගයෙන් ශක්තිමත් වුණා. අපි එහෙම කරමු.
ගෙවල්වල සෙල්ලම්බඩු, විසිතුරු බඩු, ඉඳිකටුව, අල්පෙනෙත්ත සියල්ලම චීනෙන් ගෙනාපුවා. කුස්සියේ ගෑස් කුකර් එක, රයිස් කුකර් එක, පිහිය මේඩ් ඉන් චයිනා. ටොයිලට් එක සෝදන බ්‍රෂ් එක චීනෙන් ගේනවා.