ඡන්දයට බාධා තිබුණා නම් මුලින්ම පාර්ලිමේන්තුව දැනුවත් කර ප්‍රතිපාදන ලබාගත යුතුව තිබුණා

86

පළාත් පාලන මැතිවරණය පැවැත්විය නොහැකි බාධා පවතී නම් ඒ බව මුලින්ම කථානායකවරයා හරහා පාර්ලිමේන්තුව දැනුවත් කර අවශ්‍ය ප්‍රතිපාදන ලබාගත යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඊයේ (22 දා) පැවසීය.

කොමිෂන් සභා පත්කිරීම පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාව මගින් කර තිබෙන බවත්, එම කොමිෂන්වලට ගැටලු පවතී නම් ඒ බව කථානායකවරයා දැනුවත් කර අවශ්‍ය පහසුකම් සලසා ගත යුතු බව ඇතැම් කොමිෂන් සභා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්වචනයන් කර ඇති බවත් අබේවර්ධන මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (22 දා) පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

ව්‍යවස්ථායක සභාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පොලිස්, රාජ්‍ය සේවා කොමිෂන් ඇතුළු කොමිෂන් කිහිපයකට නව සාමාජිකයන් බඳවා ගන්නා තෙක්, සිටින අය කටයුතු කළ යුතු බව සඳහන්ව ඇතැයි ද ඔහු කීවේය. මැතිවරණ කොමිසම ඇතුළු කොමිෂන් කිහිපයක නව සාමාජිකයන් පත්කරන තෙක්, සිටින අයට මැතිවරණ කටයුතු කළ හැකිය යන්න සඳහන්ව ඇතැයි ද ඒ මහතා කීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ‘කළ යුතුය’ සහ ‘කළ හැකිය’ සඳහන් කර ඇත්තේ නිකම්ම නොවන බවත්, කළ හැකිය යන්න සඳහන් කොමිෂන්වලට කළ යුතුය යන්න ඇති කොමිෂන්වල ක්‍රියාපටිපාටිය අනුගමනය කළ නොහැකි බවත් ඔහු කීය. ‘හැකිය’ යන්න සඳහන් වන කොමිෂන්වලට යම් කාර්යයක් කළ නොහැකි නම් ඒ බව කථානායකවරයා දැනුවත් කර අවශ්‍ය පහසුකම් සපුරා ගැනීම කළ යුතු බව ද ඔහු කීය. උදාහරණ ලෙස මැතිවරණ කොමිසමට මැතිවරණය පැවැත්වීමට ඇති බාධක කථානායකවරයා දැනුවත් කර, පොලිසිය අවශ්‍ය නම් පොලිසිය භාර ඇමැතිවරයාගෙන් ද, මුද්‍රණ කටයුතු අවශ්‍ය නම් මුද්‍රණ දෙපාර්තමේන්තුව භාර ඇමැතිවරයාගෙන් ද අවශ්‍ය පහසුකම් සලසා ගැනීම මුලින්ම කළ යුතු බව ද ඔහු කීය.

ඇතැම් පිරිස් විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මුදල් ලැබීමෙන් මෙරට සියලු ප්‍රශ්න විසඳෙනවා ද යන්න ප්‍රශ්න කරන මුත් අයිඑම්එෆ් ණය ලැබීම හරහා රටට අනෙකුත් රටවලින් පිළිගැනීමක් ලැබෙන බවත් ඔහු කීය. ඒ වගේම අපේ රට සිංගප්පූරුවක් කිරීමට ඇතැමුන් කතා කරන බවත් එය සිදුකිරීමට නම් සිංගප්පූරුව අනුගමනය කරන නීතිරීති මෙරට ද ක්‍රියාත්මක වන තත්ත්වයක් ඇති කරගත යුතු බවත් අබේවර්ධන මහතා කීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment