තානායම් හෝටල්වලත් මත්පැන් අලෙවිය තහනම්
ජනාධිපතිවරණය නිමිත්තෙන් සැප්තැම්බර් 21 සහ 22 (ඡන්දය පවත්වන දිනය සහ පසුදින) දිවයින පුරා පිහිටි සියලු සුරාසල් වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා පැවසීය. අද (16දා) සුරාසල් විවෘතව පවතින බවද ඒ මහතා කීය.
මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි සුරාසල් වසා තැබෙන දින දෙක තුළ දිවයින පුරා පිහිටි වයින් ස්ටෝර්ස්, තානායම්, හෝටල් මත්පැන්හල් ඇතුළු මත්පැන් අලෙවි කරන සියලු ස්ථානද වසා තැබීමට කටයුතු කෙරේ.
වසා තැබෙන දින දෙක තුළ නීති විරෝධී මත්පැන් අලෙවිකරන්නන් සහ රජයේ අරක්කු ගබඩා කර නීති විරෝධීව අලෙවි කරන ස්ථාන වටලන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් දිවයින පුරා පිහිටි සුරාබදු ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇත. එවැනි ස්ථාන සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ ‘1913’ හදිසි ඇමතුම් අංකයට හෝ ප්රදේශයේ පිහිටි සුරාබදු ස්ථාන දැනුවත් කිරීමට හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා