ඡන්දය දුන් නොදුන් කවුරුත් දඬුවම් විඳින දේශපාලන අම්බරුවන් පිරිසක් රටකට කළ අපරාධය!

396

මේ වනවිට සමාජ – ආර්ථික හා දේශපාලන අර්බුද විසින් ආණ්ඩුව පමණක් නොව රටේ ජනතාවද බිත්තියට හේත්තු කරනු ලැබ තිබෙන බව තරමක් දැඩි ප්‍රකාශයක් වුවද එසේ කීමට අපට සිදුව තිබේ. ඉන්ධන අර්බුදය එහි හිණිපෙතට නැග තිබීම නිසා ලබන 10 වැනිදා තෙක් ඉන්ධන සැපයීම සිදුකරන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බවද ආණ්ඩුව නිවේදනය කර තිබේ. ඇත්ත වශයෙන්ම රටේ සාමාන්‍ය ක්‍රියාකාරකම් සීමාකිරීම ආරම්භ වූයේ ඉකුත් සතියේදීය. අද වනවිට සිදුව ඇත්තේ එය දීර්ඝ කිරීමක් පමණි. එහි සෘජු ප්‍රතිඵලය රාජ්‍ය ආයතන, පාසල් පමණක් නොව ප්‍රවාහන කටයුතු, ආහාර සැපයුම් වැනි දේවල්ද අත්හිටවීම අඩාල වීම හා යම් ප්‍රමාණයකට රටම අකර්මණ්‍යවීමය. එහි අනිටු විපාක සියල්ලම ජනජීවිත කෙරෙහි බලපෑම් සිදුකරයි. මේ ඉන්ධන අර්බුදය හිටි හැටියේ අහසින් කඩා පාත්වූවක්ද නොවේ. වත්මන් ඇමැති කාංචන අද ඒ වගකීමට උරදී සිටියත් ඊට පෙර ඒ විෂය භාරවූ ඇමැතිවරුන් සිටි බවද කිව යුතුය. කුමක් වුවත් අපේ බලධාරීන්ට බොහෝ දේවල් වැටහෙන්නේද පෙරහැර ගියාට පසුවය. ඉන්පසු පස්ස දාගිය අර සත්තු විශේෂය මෙන් කලබල වී දැඟලීම අපේ ක්‍රමය වී තිබේ.

ඡන්දය දුන් නොදුන් කවුරුත් දඬුවම් විඳින දේශපාලන අම්බරුවන් පිරිසක් රටකට කළ අපරාධය!

කෙසේ වුවද ඉන්ධන අර්බුදයේ සැබෑ හේතුව ආණ්ඩුවට ඒ සඳහා වැය කිරීමට අවශ්‍ය ඩොලර් හිඟ වීමය. එසේම මේ වනවිට බොහෝ ඉන්ධන සමාගම් ලංකාවේ ඇණවුම් භාර නොගන්නා බවක් ද කියති. ආර්ථික වශයෙන් බිඳ වැටුණු රටක් කෙරෙහි ජාත්‍යන්තරයෙහි විශ්වාසය නොමැතිවීමද පුදුමයක් නොවේ. කුමක් වුවත් ඉන්ධන අවුල මුළු රටම අක්‍රීය කරමින්, ජන ජීවිත අර්බුදයට ලක්කරමින් වසංගතයක් සේ පැතිර යන බව සැඟවිය නොහැකිය. කංචන ඇමැතිවරයාට අනුව මේ අර්බුදයට කෙටිකාලීන විසඳුම් නැත. ඔහු ඒ සඳහා වසරක කාලයක් ගත විය හැකි බවට අනතුරු අඟවා තිබේ. එසේ වුවත් ලබන 10 වැනිදායින් පසු ඉන්ධන බෙදාහැරීමේ සීමා තුළ වුවද කිසියම් ක්‍රමවේදයකට ඒ කාර්ය සිදුවන බවද ආණ්ඩුව නිවේදනය කර තිබේ. ඒ මොනවා වුවත් ඉන්ධන හිඟය යනු සමස්ත ජන ජීවිතයම ගින්දර ගොඩකට ඇද දැමීමක් වැන්න.

මේ වනවිට ඉන්ධන මිල සියයට තුන්සියයකින් වැඩිකර තිබෙන බවද සඳහන් කළ යුතුය. එහෙත් ඒ මිලටද ඉන්ධන නැත. ඉන්ධන මිල ගැන විග්‍රහ කරන සමහරුන් දක්වන්නේ ආණ්ඩුවට එයින් පාඩුවක් නැති බවය. ඉන්ධන සඳහා අයකරන බදු මුදල් නිසා තෙල් සංස්ථාවට පාඩුවක් සිදුනොවන බවද ඔවුහු දක්වති. කුමක් වුවත් තෙල් අවුල අද ජනතාව බැඳෙන විනාශයකි. රට යථා තත්ත්වයට පත් කිරීම පහසු දෙයක් නොවන බව කාටත් පෙනී යනු ඇත. කොළඹ හා නගරවල කටයුතු පමණක් නොව ඈත ගම්, දනව්වලට එහි විපාක විඳීමට සිදුවනු ඇත. රාජ්‍ය ආයතන, පාසල් පමණක් නොව සියල්ලක්ම මේ අර්බුදයේ ගොදුරු බවට පත්වීම වැළැක්විය නොහැක. පොදු ප්‍රවාහන සේවය එහෙම පිටින්ම නතර වී තිබේ. දුම්රියක් හෝ කීපයක් තිබුණත් හෙට අනිද්දා වන විට ඒවායේ වහළවල් උඩට නැඟීමට මගීන්ට සිදුවනු ඇත. ලංගම ගැන කතා කිරීමද නිෂ්ඵලය. පෞද්ගලික බස් ගාස්තුද වැඩිවේ. දැන් තිබෙන ගාස්තුව අනුව බස් හෝල්ට් එකක් යෑමටත් රුපියල් තිහක් තිස් දෙකක් ගෙවිය යුතුය. එය රු.40 ක් වුවහොත් ජනතාවට දෙවියන්ගේම පිහිටය.

සෞඛ්‍ය සේවය අනතුරේය. වෛiවරුන්ගේ අනතුරු ඇඟවීම් සෞඛ්‍ය ඇමැති කුප්පන්නක් වුවත් ඒවා මුසා බස් නොවේ. දොස්තරවරුන් ඉන්ධන පෝළිම්වල සිටින විට සැත්කම් හා වෙනත් ප්‍රතිකාර සියල්ල නවතා ගැබිනි අම්මලාටද සිය නිවෙස්වල දරු ප්‍රසූතිය සිදුකර ගන්නා ලෙසද යෝජනා කෙරේ. කළහැකි වුවත් නොහැකි වුවත් අද සුව සේවය රටට දෙන සංඥා බිහිසුණුය. නේවාසික

රෝගීන්ට ආහාර සැපයීමද අසීරු වී තිබේ. මේ සියල්ලටම මුල ඉන්ධන හිඟයයි. එනිසා එදා මහින්ද පොළව සිප ගනිමින් පැවසූ පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මව්බිම කතාව වෙනුවට අද රටටම කීමට සිදුව ඇත්තේ පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් ඉන්ධන යනුවෙනි. ඉන්ධන පෝළිම්වල ගින්දර උඩට එන ආකාරයද අද රට මුහුණ දී සිටින අර්බුදයේම අඳුරු පැතිකඩකි. පිහි ඇනුම්, ගුටි කෙළි ඒ පෝළිම්වල අප්‍රමාණව සිදුවේ. ඒ මදිවාට පොලිසිය සමගද ගැටුම්ය.

පසුගිය දිනක හමුදා ලුතිනන්වරයෙක් පොලිස් රාළහාමි කෙනෙකුට තඩි බෑවේය. ඒ ජරමර අස්සේ පාතාල මැරයෝද ඉන්ධන පිරවුම්හල් පාලනයට එක්ව සිටිති. කුමක් වුවත් වසරකින් මෙහා ඉවරයක් නොවන ඉන්ධන අර්බුදයක් ප්‍රකාශයට පත්ව තිබෙද්දී වුවද ඉන්ධන පෝළිම් නතර වී නැති බවද පෙනේ. ඇත්ත වශයෙන්ම මේ කිසිවක් විසඳීමට අද පාලකයන්ට නොහැකිය. ජනතාවගේ විඳවීම් කලකිරීම්, කුපිතවීම් උත්සන්න වෙමින් ද තිබේ. මේ කිසිවකට මෙරටේ ජනතාව වගකිව යුතු නැත. ඔවුන් කළ එකම වරද මේ පාලකයන්ට ඡන්දය දීම පමණි. අද ඡන්දය දුන්, නොදුන් කවුරුත් පොදුවේ දුක් විඳිති. පිහිටක් නැති, සරණක් නැති ජනතාවක්, වැනසී යන රටක් පමණක් අපට දැකගත හැකිය. තණකොළ කැපීමට කිතුලට ගිය මිනිසා මෙන් කටට ආවක් කියා ඇමැතිවරුන්ට ගැළවිය හැකිද? ඇමැතිකම, මන්ත්‍රීකම රස්සාවක් වුවත්, එයින් මහජනයාගේ ප්‍රශ්න මගහරින්නට ඉඩක් නැත. එනිසා රට පාලනය කරන නායකයන්ට ඒ වගකීමෙන් නිදහස් විය නොහැකිය.

මේ ආණ්ඩුවේ නායකයන්ගේ නොහැකියාව, අසාර්ථකත්වය දවසින් දවස තහවුරු වුවත් ඔවුහු බලය අත් හරිතියි සිතිය නොහැක. මොන දහම් ගැටයක් ගසා හෝ නිල බල රැකගත යුතු මානසිකත්වයක මැති ඇමැතිවරු ද සිටිති. තව කොපමණ කාලයක් මේ අයුරින් ගෙවිය හැකිද? ගාලුමුවදොර අරගලය දියවී යනු ඇතැයි සිතන අයද සිටිති. එහෙත් දැන් එහි ස්වරූපය දැඩිය. ගෘහණියන් සමඟ මවුවරුද වීථි බැස සිටිති. පෝළිම්වල ජනතාවගේ මුවින් පිටවන්නේ අදහස්, විවේචන පමණක් නොව ගින්දර යැයි සිතේ. ඒවා ඒ තරමටම ආවේගශීලීය. කෝපාවිශ්ඨ වූ ජනතාව පෙන්වා දෙන්නේ පාලකයන් විසින් රටට කරන ලද විනාශයෙන් බිඳක් හා ඔවුන් තුළ කැකෑරෙන පිළිකුල හා වෛරයන්ය. මේ ආණ්ඩුව බලයට පත්කිරීමට මුල්වූ බොහෝ දෙනෙක් අද ආණ්ඩුවේ නිර්දය විවේචකයන් බවට පත්ව සිටිති. ප්‍රජාතන්ත්‍රවාදයේ හරය තුළ ඇත්තේද බුදුන් වදාල බහුජන හිත පිණිස හා බහුජන සැප පිණිස කැපවූ යන අර්ථයයි. එහෙත් මේ වනවිට ජනතාව අබියස හෙළිදරව් වී තිබෙන්නේ පරාර්ථය වෙනුවට යථාර්ථයක් සත්‍යය වෙනුවට බොරුව හා වංචාවත් යුක්තිය හා සාධාරණත්වය වෙනුවට දූෂණය, භීෂණය හා වංචාවත් සමාජ ගතවී තිබෙන ආකාරයයි. යුක්ති ධර්මයේ හිරු එළිය මුවාකළ දේශපාලන පවුල් ගස් සමාජයම අඳුරෙහි ගිල්වා තිබෙන ආකාරය අද මුළුමහත් ජනතාවටම දැකගත හැකිවී තිබේ. ඒ අධම හා නීච දේශපාලන තක්කඩියන්ට එක්වූ අමන රාජ්‍ය නිලධාරි තන්ත්‍රයක්ද මේ රට ප්‍රපාතයට ඇද දමමින් සුවසේ වැජඹුණු ආකාරයද දැන් හෙළිවී තිබේ. එහෙත් ඒ හොර නඩය අදත් නිරුපද්‍රිතව සිටිති. පොදු ජනයා සසුම් හෙලද්දී ඔවුහු සඳලුතලවල සාද සුවයෙන් උදම් වෙති.

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පමණක් නොව රාජ්‍ය පාලනය ඇතුළු සමස්ත ව්‍යුහයම බරපතළ බිඳවැටීමකට ලක්ව තිබෙන බව අද විවෘත රහසකි. ජනතාවගේ මූලික හා දෛනික අවශ්‍යතාවන් පවා ඉටුකළ නොහැකි පාලන තන්ත්‍රයක අවිධිමත් හැසිරීම් කෙබඳුද යන්න ඒ කිසිදු පුරවැසියකුට අමුතුවෙන් විස්තර කළ යුතුද නැත. ඇතැම් ආයතනවල හා සංස්ථාවල නිලධාරීන් විසින් රටේ ආර්ථිකයට සිදුකරන ලද හානිය, ඇදහිය නොහැකි තරම්ය. පසුගියදා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවෙහිදී (පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව) අනාවරණය වූ විදුලි බල මණ්ඩලය විසින් සිදුකරන ලද දූෂිත, අක්‍රමවත්, අධම හා හිතුවක්කාර ක්‍රියාකාරකම් ගැන වෙනම විමර්ශනයක් කළ යුතුය.

ලංකාවේ බහුතර ජනතාවක් පීඩනයට පත්ව සිටියදී ඒ ජනතා මුදලින් නඩත්තු වූ චෞර ආයතන ලෙස ඒ රාජ්‍ය ආයතනය හැඳින්වීම හැර ඒ එකදු හොරෙක්වත් නීතිය ඉදිරියට ගෙන යා හැකි ඇමැතියෙක්, ආණ්ඩුවක් මේ රටේ නැත. රුපියල් මිලියන 3679 ක අමතර ගෙවීමත් 2020 හා 21 වසර වලදීත් මේ තක්කඩි මහත්හොරුන් ලබාගෙන ඇති බව හෙළිවිය. මේ වර්ගයේ ආයතන ගණනාවක්ම තිබේ. මිලියන ගණනක කජු කෑ වරායේ ඇතුළත කථාවද එයට දෙවැනි නොවේ. මෙයට අමතරව පාඩු ලබමින් තිබෙන ඇතැම් ආයතනවල අධ්‍යක්‍ෂවරු ලක්‍ෂ දහයේ විස්සේ වැටුප් ලබා

ගැනීමටද වාසනාවන්ත වී සිටිති. කෝප් කමිටුවේ මොනවා අනාවරණය වුවත් ඉහත දැක්වූ පරිදි මේ එකෙකුටවත් කිසිදු වචන මාත්‍රයකින් වත් හානියක් නැත. ප්‍රසම්පාදනය, විගණනය ආදියට උඩින් පැන මහජන මුදල් අයථා පරිහරණයට, තම සුඛ විහරණයට ලබාගත හැකිවන ආකාරයට නීතිය නැවූ පාලකයන්ට මේවා ගැන ඇඟිල්ලක් එසවිය නොහැකි බවද රහසක් නොවේ.

මෑතකදී මැල්කම් රංජිත් කාදිනල්තුමා දැඩිව අවධාරණය කළ කරුණක් ද විය. මේ සමාජ, ආර්ථිකය වැනසීමට මුල්වූ දේශපාලනඥයන් පිළිබඳ විමර්ශනයක් සිදුකර, රටට අහිමිවූ මහජන මුදල් අයකරගත යුතු බව උන්වහන්සේ කීහ. මහජන මුදල් බිලියන ගණනින් ගසා කෑ දූෂිත, අධම තක්කඩි පාලනයක ඛේදවාචකයට අද මේ රට මුහුණ දී සිටියි. හොරුන්, දූෂිතයන් නීතියේ රැහැනට හසුකරගත හැකි විධිවිධාන නැති දේශපාලනයක් සමඟ ලංකාව මේ තරමින් හෝ ඉතිරිව තිබීම ආශ්චර්යයක් නොවේද? පාර්ලිමේන්තු සම්ප්‍රදාය අවුල් ජාලයක් බවට පත්කළ ජේ. ආර්. ජයවර්ධනගේ 1978 ව්‍යවස්ථාවට තඩිබෑම හැර අපේ දේශපාලන පක්‍ෂවලට හා නායකයන්ට රටට අවශ්‍ය දේශපාලන න්‍යාය පත්‍රයක් ද සකසා ගත නොහැකි විය. බි්‍රතාන්‍යයන් සකස් කළ නීතිරාමුවත්, ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් හා වටිනාකම් සියල්ලම ඉවත දැමූ තුච්ඡ පාලන තන්ත්‍රයක් අද අප අබියස තිබේ.

1972 දී සම්මත කරන ලද ජනරජ ව්‍යවස්ථාව මෙරටේ නිදහස පිළිබඳව අලුත් ආරම්භයකට පදනම් වූවකි. එම ව්‍යවස්ථාව දෙමළ නායකයන්ට අරුචි වුවද එහි සාධනීය ලක්‍ෂණ ගණනාවක් තිබුණි. එහෙත් 1978 ජයවර්ධන හඳුන්වාදුන් ව්‍යවස්ථාව ඒ කිසිම ප්‍රශ්නයකට හෝ පිළිතුරක් නොවූ බව දෙමළ නායකයෝම කීහ. කුමක් වුවත් ජයවර්ධනගේ විධිවිධාන තමන්ට වුවමනා ලෙස සංශෝධනය කළේ රාජපක්‍ෂවරුන් බවද රහසක් නොවේ. ඔවුන්ගේ දේශපාලන ගමනට වුවමනා පරිදි මාවත සකසා ගැනීමට රාජපක්‍ෂවරු සමත්වූහ. 2010 දීත් 2020 දීත් ව්‍යවස්ථාවට එක්වූ සංශෝධන රාජපක්‍ෂ මනදොල සපුරා ලූ ඒවා බව අද ඒවාට අත් එසවූ අයම පවසති. හෘද සාක්‍ෂියක් තබා කශේරුකාවක් හෝ නොමැති දේශපාලන අම්බරුවන් බහුතරයක් සිටින රටක ඉරණම මෙයට වඩා වෙනස් විය හැකිද?

පාර්ලිමේන්තුවේ 225 ම ගෙදර යා යුතුය යන සටන් පාඨයේ දිදුලන්නේද මේ දූෂිත ක්‍රමය වහා පෙරළා දැමිය යුතු බවය. මුදුනේ සිට පත්ල දක්වාම කුණුවූ දේශපාලනයක් පැලැස්තර වලින් යථා තත්ත්වයට පත්කළ නොහැකිය. ඒ ඇතිවූ ප්‍රජාතන්ත්‍රවාදයේ හා පක්‍ෂ ක්‍රමයේ ගුණාත්මක පරිහානිය කිසිදු බාධාවකින් තොරව ගලා ගියේය. නායකයන්, දූෂණයට යොමු වෙද්දී අනුගාමිකයන්ද හැකි පමණින් දූෂණයට යොමුවීම අහම්බයක් ද නොවේ. ගාලු මුවදොර අරගලය විසින් සමාජගත කරන ලද දූෂණයෙන්, වංචාවෙන් මිදුනු සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතිය කිසිදු බලවේගයකින් යටපත් කළ නොහැකිය. මේ ආණ්ඩුවට රටේ ප්‍රශ්න විසඳිය නොහැකි බව පොහොට්ටුවට වියත් මග නමින් පිරිසක් කැඳවා ඇමැතිවරයකු ද වූ නාලක ගොඩහේවාත් පවසා තිබුණි. ඔහු මෙන්ම රාජපක්‍ෂවරුන්ට අප්‍රමාණ, අනුබල, අනුග්‍රහ දැක්වූ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ද අද පසුතැවෙන්නේ මේ ආණ්ඩුව බලයට රැගෙන ඒමට දායක වූ නිසාය.

සත්තකින්ම මේ පාලනය සිත් පිත් නැති මුරණ්ඩු එකකි. ආණ්ඩුවේ හිතුවක්කාර, ක්‍රියාකාරකම් හා ආර්ථික කළමනාකරණයෙහි දුර්වලකම් අද රටම දන්නා දේවල්ය. හිතුමතයට ඩොලර් නාස්ති කරමින් පෙම් කෙළීමට බිය නොවූ ආණ්ඩුව අද හිඟමනට වැටී ඇති බව ඇතැම් ආර්ථික විශ්ලේශකයෝම දක්වති. රාජපක්‍ෂවරුන්ගේ අභිමතයට මහ බැංකුව හැසිරවූ ආර්ථික බුද්ධියෙන් ද හීන නායකයෝ අද හිස සඟවාගෙන සිටිති. මහ බැංකුව කොල්ල කෑ පාලකයන් ගැන ජනතාව ද දනිති.

ඇත්ත කතාව නම් මේ දේශපාලන චරිත ගැන ජනතාවට විශ්වාසයක් නැත. කංචන ඇමැති තෙල් ගැන කෙතරම් බේගල් ඇද බා තිබේද? තෙල් නැව මුහුදේ යැයි වරක් පවසන ඔහු ඊළඟට කියන්නේ ඒ නැව වෙන පැත්තකට ගිය බවය. ජනතාව පෝළිම් හැර නොගියේත් මේ අච්චාරු කතා නිසාය. දැන් ඔහු කියන්නේ වසරක් ඉවසා වදාරණ ලෙසය.

දේශපාලනඥයෝ සත්‍යයට වඩා බොරුව ප්‍රිය කරති. ඒ බලය සඳහා කරන නසරානි වැඩක් වුවද එයින් ජනතාව මංමුළාවන බව අමුතුවෙන් කිව යුතු නැත. එක බොරුව වැසීමට බොරු වැළක් කීමට සිදුවේ. විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති බොරු කීම නිසා හත්පොලේ ගාගත් අයුරු රටම දනී. දේශපාලනඥයන් මෙන්ම නිලධාරීන්ද බොරු කීමත් බොරු කිරීමත් රටක විනාශයට ප්‍රබල හේතුවකි. රාජ්‍ය ආයතන, බොහොමයක්ම හොර ගුහා බවට පත්කළ රටක, අද ජනතාව විඳවමින් සිටිති. රටම විපතකය. දිනකට කෝටියක් වැයවන බව කියන පාර්ලිමේන්තුවටත් මෙතෙක් රටට සාධනීය සැලැස්මක් ඉදිරිපත් කිරීමට නොහැකිවී තිබේ. එහි හැසිරීම ජනතාව නොඉවසති. පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදයේ කේන්ද්‍රීය ආයතනය වුවද මේ රටේ පාර්ලිමේන්තුව එබදු බුහුමනකට සුදුසුදැයි දේශපාලන විචාරකයෝම ප්‍රශ්න කරති. එහි ජනතා නියෝජනය ගැනද විවේචන තිබේ. දූෂිත ප්‍රභූවරුන්ට, වංචනික ධනපතියන්ට පක්‍ෂවල නූගත් රස්තියාදුකාර පාදඩයන්ට ලේසියෙන්ම රිංගාගත හැකි ස්ථානයක් බවට අපේ පාර්ලිමේන්තුව පත්වෙමින් නොතිබේද? එහි සිටින 225 ම ගෙදර යා යුතුය යන සටන් පාඨය අද ඉදිරිපත්ව තිබෙන්නේද මේ පරිහානිය නිසාය.

ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුවේ විපක්‍ෂ, මේ ආණ්ඩුවට චෝදනා කරන්නේද ජනමතයට පටහැනිව අටවාගත් පාලනයක් අද ඇතිවී තිබෙන බව පවසමින්ය. මේ ආණ්ඩුවේ අගමැතිටද, ජනමතයක් නැතැයි ඔවුහු කියති. එසේම ස.ජ.බ. හා ශ්‍රී.ල.නි.ප යෙන් බිලිබා ගත් කීපදෙනකුට කප්පම් වශයෙන් ඇමැතිධුර පිරිනමා ඇතැයිද විපක්‍ෂය චෝදනා කරති. ආණ්ඩුවට ජනතා විශ්වාසයක් මෙන්ම ජාත්‍යන්තර පිළිගැනීමක් ද නැති බව වෙනත් සමාජ දේශපාලන විචාරකයෝද සඳහන් කරති. එබදු පාලනයකින් රටකට ලැබෙන සුගතියක් නැත. මේ රට උගතුන්ගෙන් (ආණ්ඩුවේ වියත් මග නොවේ) විද්වතුන්ගෙන්, විශේෂඥයන්ගෙන් හිඟ රටක් ද නොවේ. ඔවුන් පසුබස්වා හොරුන් තක්කඩියන් කරළියට පැමිණ සිටින බව සැබෑවකි. එහෙත් දැන්වත් මේ අර්බුදයට විසඳුම් සොයා ගැනීමට ඉහත දැක්වූ විද්වත්, බුද්ධිමත් හා අවංක, අව්‍යාජ පිරිස්වල සහාය ලබාගත යුතුය. රාජ්‍ය සේවය හා ජනතා නියෝජනය ද පිරිසිදු විය යුතුය. ඉන්ධන, විදුලිය, ගෑස් මෙන්ම ඖෂධ, පොහොර සැපයීම රජයේ වගකීමකි. එසේ නොවුවහොත් මේ රට අරාජික වනු නිසැකය. විශේෂඥයෝ එති යති ආණ්ඩුවද එසේය. එහෙත් මේ රට හැර වෙනත් බිම් අඟලක් පුරවැසිකමක් නැති අපේ ජනතාවට මේ රට ඉතිරි කර තැබිය යුතුය. එය බැරිනම් ඔවුහු ගෙදර යා යුතු වෙති.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment