ඡන්දෙකට ගියොත් බින්දුවට දැවී යයිද?

343

අන්ද මන්ද දේශපාලනය සහ පුංචි ඡන්දයට වංගු ගැහීම!

මේ දිනවල සමාජ දේශපාලන ක්‍ෂෙත්‍රවල දැඩි අවධානයට මෙන්ම සංවාදයටද තුඩු දුන් සිදුවීම් කීපයක්ම ඇත. 21 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අහිමි කරන ලද ද්විත්ව පුරවැසියන් සඳහා වූ මන්ත්‍රී වරම සම්බන්ධයෙන් බොහෝ වාද විවාද මෙන්ම දේශපාලන සදාචාරය හා බැඳුණු සංවාද රැසක්ම මතු වී තිබේ. තවත් සුවිශේෂ සිදුවීමක් වූයේ දේශපාලන අනුග්‍රහයකින් හා සල්ලිකාර නඩයක සහභාගිත්වයෙන් යාල අභය භූමි පරිශ්‍රයෙහි වු මුග්ධ වාහන සංදර්ශනයයි. මෙයට අමතරව තිහගොඩ පොලිසියේ නිලධාරියකු විසින් පාසල් සිසුවකුගේ හිසට පිස්තෝලයකින් වෙඩි තැබීමද මහත් සමාජ ආන්දෝලනයකට හේතු වී තිබේ. එසේම පළාත් පාලන මැතිවරණය හෙවත් පුංචි ඡන්දය කල් දැමීම සඳහා ආණ්ඩුව විවිධ උපක්‍රම යොදමින් සිටින බවට විපක්‍ෂයේ සියල්ලන් විසින්ම එල්ල කරනු ලබන චෝදනාපත්‍රයක්ද ඇත. මේ සිදුවීම් සියල්ල යහපත් සමාජයක ලකුණු නොවන බව ඉඳුරා පැහැදිලිය. එමෙන්ම ඒවා මගින් සමාජයට නිකුත් කරනු ලබන අනතුරුදායක සංඥාවන්ද නොතකා හැරිය නොහැකි බව අපගේ අදහසය. අදූරදර්ශී හා අපරිණත දේශපාලන හා ආර්ථික කළමනාකරණයක ගොදුරු බවට පත්ව සිටින සමාජයක් හා එහි ප්‍රබුද්ධ පුරවැසියෝත් මෙබඳු ක්‍රියාකාරකම් නිසා දැඩි අපේක්‍ෂාභංගත්වයකටද පත්වෙති. යහපත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකදී මෙබඳු නොසැලකීම්, වගකීම් විරහිත හැසිරීම් ඉතා විරලය. එහෙත් අපට තිබෙන කුප්‍රකට කීර්තිය මේ සියලු අපචාර හා බිඳවැටීම් නොවේද? ආණ්ඩුවේ වැඩ පිළිබඳව ජනතා කැමැත්ත 10% ක් වැනි අවම ප්‍රතිශතයක තිබෙන්නේද මේ වර්ගයේ සිදුවීම් නිබඳව වාර්තා වීම නිසා නොවේද?

21 වන සංශෝධනයෙහි ඇතුළත් වූ ද්විත්ව පුරවැසියන්ට මහජන මන්ත්‍රීවරයකු ලෙස ක්‍රියා කිරීමට නොහැකිවීමේ වගන්තිය නිසා වර්තමාන පාර්ලිමේන්තුවේ කීපදෙනෙකුටම සිය මන්ත්‍රීධුර අහෝසි වන බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ පැහැදිලිවම සඳහන් කළ කරුණකි. එය නීතියක් වීමත් සමගම එබඳු ජනතා නියෝජිතයන්ට මන්ත්‍රීධුරය අහෝසිවීම ස්වභාවික කරුණකි. එහෙත් ප්‍රශ්නය වන්නේ එම ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් හඳුනා ගැනීමට ක්‍රමයක් නොමැති වීමය. එය නීතියේ දුබලතාවක් විය හැකිය. එහෙත් එබඳු ගෞරවනීය භූමිකාවක් නියෝජනය කරන ව්‍යවස්ථාදායක මණ්ඩලයක කිසිවෙක් නීත්‍යානුකූල නොවන ආකාරයකින් සිටීම බරපතළ ගැටලුවක් මෙන්ම සදාචාර විරෝධී ක්‍රියාවක්ද වේ. මන්ද යත් ඔවුන් තවදුරටත් පාර්ලිමේන්තුවේ රැඳී සිටින්නේ සිය හෘදය සාක්‍ෂියටද වංචා කරමින් හා චේතනාන්විතවද වරදක් කරමින් වීම නිසාය. රටේ ව්‍යවස්ථාදායක තීන්දු තීරණ ගන්නා වරප්‍රසාද සහිත අග්‍ර මණ්ඩලයක කිසිවකුට එසේ අසුන් ගැනීමට ඉඩක් නැත. එහෙත් මේ උත්තරීතර ආයතනයේ එබඳු ක්‍රියාකාරකම් සිදු වන්නේ නම් එවන් රටක දේශපාලන සංස්කෘතිය ගැන කවර කතාද?

මෙම ද්විත්ව පුරවැසි ප්‍රශ්නයෙහි තවත් බරපතළ අක්‍රමිකතාවක්ද වේ. එනම් මේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ මහ මැතිවරණයට ඉදිරිපත්වීමේදී ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රී වරම් ලබාගැනීමට හිමිකමක් නොතිබීමය. 2020 අගෝස්තුවේ පැවැති මහ මැතිවරණය සම්බන්ධයෙන් බලපෑවේ එවක තිබුණු 19 වැනි ව්‍යවස්ථාවේ විධිවිධානයන්ය. ඒ අනුව එදා මැතිවරණයට ඉදිරිපත් වීමේදී ද්විත්ව පුරවැසිභාවය හෙළිනොකර නැතහොත් එය වංචනික අයුරින් වසන් කර තම සිවිල් තත්ත්වය ලබාදීමක් එහිදී සිදුවී තිබිය යුතුය. එය චේතනාත්විතව දැන දැනම කළ වංචාවකි. කූට මෙහෙයුමකි.

ඡන්දෙකට ගියොත් බින්දුවට දැවී යයිද?

මෙරටේ පවතින මැතිවරණ නීතිරීති අනුවද කිසියම් අපේක්‍ෂයකු විසින් දක්වනු ලබන තොරතුරුවල සත්‍ය අසත්‍යභාවය විමර්ශනය කිරීමක් සිදු නොවේ. ඒ දුබලතාව තම වාසියට යොදා ගන්නා චෞර මානසිකත්වය ගැන විමසා බැලෙන නීතියක් නැතිවීම හොරුන්ට විවර කළ දොරටුවක් වැන්න. මැතිවරණ කොමසාරිස්වරයාට වුවද ඒ සිවිල් තත්ත්වය ගැන ප්‍රශ්න කිරීමට ඉඩක් නැති බව කියති.

මේ නිසා 19 වැනි ව්‍යවස්ථාව අනුව වංචනික ලෙස පත්වූ අයට අනතුරුව සම්මත වූ 20 වැනි සංශෝධනය කදිම ආවරණයක් විය. එහෙත් ඉහත දැක්වූ පරිදිම මේ අශෝභන, දූෂිත, වංචනික මෙහෙයුම සිදු කළ අයට හිමිවන දඬුවමක් නැත. වරප්‍රසාද ප්‍රතිලාභ විඳිමින් ජනතා මුදල් වංචනිකව ලබා ගත් මේ ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරුන් දඬුවම් ලැබිය යුතු නොවෙත්ද? මේ ශ්‍රී ලංකාවේ දේශපාලනයේ කුණුවීමේ පරිමානය යැයි අපට අපේ හිත් රවටා ගත හැකිද? ව්‍යවස්ථාදායක සභාවේ ගෞරවනීය සාමාජිකයන්ගේ දේශපාලන සදාචාරය කුමක්ද? එය වංචනිකයන්ගේ තිප්පොලක් වී තිබේද? පොදු ජනතාවගේ ඇස්වලට වැලි ගසා මේ උතුම් සබා ගැබට පිවිසීමට ඔවුන්ට ඉඩ දිය යුතුද යනාදී ප්‍රශ්න ගණනාවක් මෙහිදී මතු කළ හැකිය. කුමක් වුවත් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන නොතකා තවදුරටත් නීති විරෝධී අයුරින් එම පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට කිසිවකුට ඉඩක් නොතැබිය යුතු බව අපගේ ප්‍රබල යෝජනාවය. එනිසා තවදුරටත් වංචාකාරී ලෙස එහි රැඳී සිටින කවරෙකුට වුවත් සමාවක් නොදිය යුතු බවද සඳහන් කළ යුතුය. මේ සටකපට හොර තඩියෝ කවරහුදැයි රටට හෙළි කිරීම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනඥයන්ගේද වගකීමක් බව අපට සිතේ. එමෙන්ම 21 වැනි සංශෝධනය මගින් අපේක්‍ෂා කරන සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය අනුව අභිනව දේශපාලන සංස්කෘතියක් ගොඩනගා ගැනීම සඳහා මැදිහත්වන මහජන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව ජනතාවගේ ගෞරවයට මෙන්ම විශ්වසනීයත්වයට පත්වන්නේද එයින් රටට ලැබෙන පරමාදර්ශ අනුවය.

මේ රටේ සිදුවන බොහෝ අවිධිමත්, අනීතික හා දූෂිත අක්‍රමිකතා සම්බන්ධයෙන්ද දේශපාලඥයන්ට ඇඟිලි දික්වීම හා සෘජුව චෝදනා නැගීමේ ප්‍රවණතාවක්ද ඇත. එය ප්‍රවණතාවක් ලෙස හැඳින්විය හැකි යහපත් සාධනීය තත්ත්වයක් නම් නොවේ. ඇත්ත වසයෙන්ම ඒ වු කලී අපේ සමාජ සාරධර්ම, මානව හිමිකම් ඇතුළු සියල්ල විනාශ මුඛයට ඇදගෙන යන දුෂ්ට, මුග්ධ ප්‍රවාහයකි. නොබෝදා යාල වන උයන සම්බන්ධයෙන් ජනමාධ්‍ය වාර්තා කළ පාදඩ ක්‍රියාන්විතය එක් පසෙකින් දේශපාලන බලයත් අනෙක් පසින් මුදල් හා අධිපතිවාදී මුග්ධ මානසිකත්වයෙහි විලාසයත් එක් වූ දුර්දාන්ත මෙහෙයුමක් වැන්න. දේශපාලන බලයෙන් හා මුදලින් යටපත් කළ නොහැකි වූ ඒ අමන කුලප්පුව නීතිය ඉදිරියට ගෙන යා හැකි වූයේ පරිසරවේදීන් ඒ වෙනුවෙන් සෘජුව පෙනී සිටීම නිසාය. ඒ බලපෑම් නොවන්නට වනජීවී ඇමැතිතුමාගේ අභිමතය පරිදි සියල්ල අවසන් වීමටද ඉඩ තිබුණු බව පරිසරවේදීහු සඳහන් කරති. මේ වන විට ඇමැති ඥාති පුත්‍රයා ඇතුළු යාල කුලප්පු නඩයේ කීප දෙනෙක්ම නීතිය ඉදිරියට රැගෙන යෑමටද හැකිවී තිබීම මොන අතින් බැලුවත් ජයග්‍රහණයක් වැන්න.

රටේ ජාතික සම්පත් තම හිතුමතයට යොදා ගැනීමේ අවසරයක් ඇතැයි ඇතැම් දේශපාලනඥයන් පමණක් නොව ඔවුන්ගේ පුත්තුද කල්පනා කරති. ඇතැම් දේශපාලඥයන්ගේ පුතුන්ගේ පෙම් හුටපට නිසා සිදුවන අලකලංචිවලටද රජයේ වාහන, පමණක් නොව ආරක්ෂාවද ලැබෙන අවස්ථා දුලබ නැත. අද මේ රට මුහුණ දී සිටින ආර්ථික අර්බුද, ආහාර අහේනිය මේ බොහෝ දේශපාලන පවුල් ඒකකවලට පමණක් නොව වෙළෙඳපොළ ආර්ථිකයේ අයුතු ලාභ නෙලාගත් වසල වෙළඳ පන්තියටද නොදැනෙන බව රහසක් නොවේ. යාල පරිශ්‍රයෙහි යකා නැටූ පිශාචයන්ගේ රිය පෙළත් ඇතැම් මී හරක් පුතුන්ගේ ප්‍රීති නාදයත් සමාජ මාධ්‍යවල සටහන්ව තිබුණි. යාල වනසතුන් බිය ගන්වමින් අති සුපිරි වාහනවලින් එදා මොනතරම් ඉන්ධන (පෙට්‍රල් හා ඩීසල්) ප්‍රමාණයක් මේ කුලප්පුවට පුච්චා දමන්නට ඇද්ද? එදා වේල හොයාගන්නා ත්‍රීරෝදයකට සලාකයට ඉන්ධන දෙන පසුබිමක් තුළ මේ මුග්ධ සංදර්ශන රිය පෙළ සඳහා එබඳු ඉන්ධන සීමාවන් නොවීය. මෙය රට ගිනිගත් අතරතුරේ මුග්ධ කෙළි සෙල්ලම් කරන අමනයන්ගේ වැඩක් නොවේදැයි කිව නොහැකිද? එක් පුවත්පතකින් ප්‍රශ්න කර තිබුණේත් යාල කැලේ යකා නැටූ මදාවි පුත්තු කවරහුදැයි කියාය. රටේ නීතිය වනජීවී ආඥාපනත් ගිනි තපින්ට දැයි මෙහිදී ඒ සියලු බලධාරීන්ගෙන් ඇසිය යුතුම සාධාරණ ප්‍රශ්නයකි. මෙබඳු සුවිශේෂ වනජීවී කලාපයකට ඔරොත්තු නොදෙන වාහන පෙළපාලියක් සඳහා අවසර ලබා දුන් මීගවයා කවරෙක්දැයි ඇසිය යුතුය. පරිසරවේදීන් චෝදනා කරන්නේද වරප්‍රසාද සහිත පිරිසකට මෙබඳු හිතුවක්කාර අමන හැසිරීමකට ඉඩ ලබාදී ඇත්තේ දේශපාලන හා මුදල් බලය නිසා බවය. මේ සඳහා වැය කළ ලක්‍ෂ ගණන් මුදල් ගැනද මාධ්‍ය වාර්තා කර තිබුණි. එදා වේල සරිකර ගන්නා දුප්පතුන්ගේ සීනි ටිකටත් බදු ගන්නා රටක මේ අයට නිදහසේ ලක්‍ෂ ගණන් වීසි කිරීමට හැකි වූයේ කෙසේද යන්නත් ප්‍රශ්නයකි. ඒ සියල්ල වරප්‍රසාද සහිත ජීවිතවලට හිමිවූ දේවල් යැයි අපට සිතීමට නොහැකිය. කුමක් වුවත් දේශපාලනයත්, මුදලුත් සමාජයක විශේෂ වරප්‍රසාද හිමිවිය යුතු සාධක නොවන බව සඳහන් කළ යුතුය.

මෙසේ දේශපාලනයේ දුෂ්ට විපාක ලෙස මානව සමාජය පීඩාවට පත් වෙද්දී නීතිය සුරකින පොලිසිය ගැනද බරපතළ චෝදනා පත්‍රයක් ඉදිරිපත් වී තිබේ. එහි ආසන්න නිමිත්ත දින කීපයකට පෙර තිහගොඩ පොලිසියේ නිලධාරියකු විසින් කරන ලද වෙඩි තැබීමකි. මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ 15 හැවිරිදි වියෙහි සිටින පාසල් සිසුවකුටය. මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් සපයන ලද චිත්‍රය මෙන්ම එයට මුහුණ දුන් දරුවාගේ පාර්ශවයේ චිත්‍රයද එකිනෙකට වෙනස්ය. සාමාන්‍යයෙන් පොලිසිය මෙබඳු අවස්ථා පිළිබඳ භාවිතයට ගන්නා පිටපතක් අනුව කතා කරන බව කව්රුත් දනිති. ගිනිඅවිය ඉබේ පත්තු වීම, වැරදිකරුවන් ලෙස දැක්වෙන අය පොලිසිය සමග පොර බැදීම ආදී වසයෙන් ලැයිස්තුවක්ම මෙහිදී ඉදිරිපත් වේ. තවත් බොහෝවිට වෙඩි වදින්නේ ස්ථානීය පරීක්‍ෂාවලට ගිය අවස්ථාවේදීය.

පොලිසිය පිළිබඳ පොදුවේ ජනතාවට තිබෙන්නේ විකෘති චිත්‍රයක් වුවත් පොලිසිය කරන රාජකාරිය බැරෑරුම් බව අප පිළිගත යුතුය. එසේම පොලිසියේද යහපත් හා සංවේදී අය සිටිති. මහමග වීසිකර දමා ගිය බිළිඳු දරුවකුට තම දෙනතේ කිරි බිඳුවක් දුන් විශිෂ්ට පොලිස් මව්වරුන් ගැනද අපට වාර්තා වී තිබේ. එහෙත් පොලිස් සේවය නරකාදියක් වූයේ දේශපාලන අත පෙවීම් නිසා බවද අපි දනිමු. පොලිස්පතිවරයා වරක් ප්‍රකාශ කළේ ගම්වල පොලිසිවලට ස්ථානාධිපතිවරුන් පත් කිරීමේදී මන්ත්‍රීවරයා මැදිහත් වන බවය. ප්‍රභූ ආරක්‍ෂාව නමින් සිදුවන වහල් මෙහෙයුම පොලිසියට සිය රාජකාරිය තිත්ත කරවන බවද කියනු ලැබේ. ඒවා අපට තේරුම් ගත හැකිය. එහෙත් කිසිදු වග විභාගයක් වගකීමක් නොමැතිව ඇතැම් පොලිස් නිලධාරීන් ක්‍රියා කරන ආකාරය දැන් බොහෝ විට සමාජ මාධ්‍යවල සජීවී ආකාරයෙන්ම අපට දැක ගත හැකිය.

තිහගොඩ පාසල් සිසුවාට තැබූ වෙඩිල්ල ගැන බොහෝ විවරණ සිදුවී ඇත. මානව හිමිකම් කොමිසම මෙන්ම හිටපු ඇමැති ඩලස්, රාජ්‍ය ඇමැති ගීතා ඇතුළු කීප දෙනෙක්ම මේ ක්‍රියාව පිළිබඳ කනස්සල පළ කර ඇත. මෙම වෙඩිල්ල ඒ නිලධාරියාගේ අමන කමත් හිත්පිත් නැතිකමත් නිසා වූ බව සිදුවීමෙන් කුපිතව පොලිසිය වැටලූ අයගේ චෝදනාව විය. දැන් ඒ පොලිස් නිලධාරියාට එරෙහිව විමර්ශන සිදු වන අතර ඔහු රිමාන්ඩ් භාරයට පත්කර සිටියි. ඒ කුමක් වුවත් මෙබඳු ක්‍රියා කිසිවකුට අනුමත කළ නොහැක. ඉහ නිකට පැසුණු නිලධාරියකුට මෙබඳු ක්‍රියාවක් කළ හැක්කේ විකල් මනසකින් පමණි. එසේම පොලිසියේ මෙබඳුම වගකීම් විරහිත වෙඩි තැබීම් නිසා මෙයට පෙර බස් රියක ගමන් කළ කතකටද දිවි අහිමි විය. අලුතින් පත්වීමට නියමිත පොලිස් කොමිසමටවත් මේ පොලිසියට හිසක් ලබාදිය හැකිවේවායි පැතීම හැර වෙන කිව යුතු දෙයක් නැත.

මේ සියල්ලටත් වඩා බැරෑරුම් චෝදනාවක්ද ආණ්ඩුවට ඉදිරිපත්ව තිබේ. ඒ පළාත් පාලන ඡන්දය කල්දැමීමට ආණ්ඩුවට වුවමනා බවට කෙරෙන මුළු විපක්‍ෂයම නගන චෝදනාවකි. මෙරටේ දේශපාලනයේ සමාරම්භය ප්‍රාදේශීය ඡන්දයයි. ඒවායේ කෙරෙන නොසන්ඩාල වැඩ දූෂණ අක්‍රමිකතා කොපමණ වුවත් එය ගම් මට්ටමේ ජනමතය පිළිබිඹු කරන්නකි. ආණ්ඩුවට එයට සංශෝධන ගෙන ඒමට සිහිවන්නේ ඡන්දයට කාලවකවානු නියම කිරීමෙන් පසුවද?

මේ ඡන්ද ක්‍රමය හා ජනතා නියෝජනය එහෙම පිටින්ම වෙනස් විය යුතු බව සැබෑවකි. ඒ සඳහා ආණ්ඩුවට අවංක වුවමනාවක් තිබුණි නම් එය කල් ඇතිව කළ යුතු විය. මේ සම්බන්ධව අගමැති දිනේෂ්ගේ ප්‍රධානත්වයෙන් කමිටු දෙකක්ම පත් කර තිබුණි. එහෙත් ඒවායින් වැඩක් වී ඇති බවක් නොපෙනේ. ඩලස් මන්ත්‍රීතුමා කියන්නාක් මෙන් මේ ආණ්ඩුව ඡන්දවලට බියද? මහජනයා ඉදිරියට යෑමට පැකිලෙන්නෙහිද? යන ප්‍රශ්න අපටද තිබේ. ඇත්තටම මේ සූදානම ඒ ඡන්දය කල්දමා තම නම්බුව රැක ගැනීමටද? ආණ්ඩුවට තමන්ට ලැබෙන ජනතා ප්‍රතිචාරය ගැන අවබෝධයක් තිබෙන නිසා මේ ඡන්දයට වංගු ගැහීමට ඔව්හු සූදානම් වෙත්ද? කුමක් වුවත් එය ප්‍රජාතන්ත්‍රවාදය නොතකා බලය වෙනුවෙන් කෙරෙන අලජ්ජී වැඩකි.

මේ වන විට පොහොට්ටුව ඇතුලේ දේශපාලනය අන්දමන්ද වී තිබුණත් ඔවුන් කියන්නේද තම පක්‍ෂය ඕනෑම ඡන්දයකට සූදානම් බවය. ජනාධිපති රනිල් මේ ඡන්ද ක්‍රමය ගැන විමසා බැලීමට ජනමත විමසුමකට යෑමටු වුවද සූදානම් බව කියා තිබේ. එසේ නම් ඡන්ද භීතිය කාගේද? මේ ඡන්දයකට සුදුසු නැති වාතාවරණයක් බව කියන අයත් මේ ආණ්ඩුවේම සිටිති. ඔවුන්ගේ මතය අනුව ජනතාව ඡන්ද ඉල්ලන්නේද නැත. එය සැබෑවකි. එහෙත් රටක ජනතාව යනු ගුවන් විදුලියේ අසන්නන්ගේ ඉල්ලීම් මෙන්ම ඡන්ද ඉල්ලන පිරිසක් නොවෙති. නිසි කලට නිසි ලෙස ඡන්ද පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක අනිවාර්ය ලක්‍ෂණයකි. අනික් අතට වසර 44 ක් ගෙවී ගොස් තිබියදීත් රටට උචිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට අසමත්වූ මේ දේශපාලන නායකයන්ගෙන් ජනතාව අපේක්‍ෂා කරන මැතිවරණ ක්‍රමයක් රටට ලැබෙනු ඇතැයි කෙසේ සිතන්නද? මිහින්තල රාජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන නාහිමියන් පවසන්නේ නම් මේ ආණ්ඩුව ගැන ජනතාවට විශ්වාසයක් නැති බවත් මේ පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාම මේ රට බංකොලොත් සෝමාලියාවක් කර තිබෙන බවත්ය. එය සහතික ඇත්තය. එහෙත් අපට රටක් සහ ජනතාවට හෙටක් වුවමනාය. ඒ සඳහා අලුත් මහ ජනවරමක් ලබාගැනීම හැර වෙන මගක්ද නැත.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment