මැතිවරණ පැමිණිලි ඉහළට, පැමිණිලි 717ක්
ජනාධිපතිවරණ සටන තුළ සමබිමක් නැහැ, වරදාන වරප්‍රසාද, පොරොන්දු ඉහළට
ජාතික කොඩියත් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගෙන
ජනාධිපතිවරණ උණුසුමෙන් මුළු රටම ගිනියම් වෙමින් ඇත්තේය. ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 39 දෙනකු තරග බිමට පිවිස සිටිති. මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසන ආකාරයට ජනාධිපතිවරණය සඳහා තරගවදින අපේක්ෂකයන්ගෙන් සියයට අනූවක් ඉදිරිපත් වී ඇත්තේ ජනාධිපතිවරණය ජයගැනීමේ අපේක්ෂාවෙන් නොව තම පුද්ගලික අභිමතයන් ඉටුකර ගැනීම සඳහා ප්‍රවේශයක් ලබා ගැනීම සඳහාය. තානාපති තනතුරු ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික තනතුරු ලබා ගැනීම, විදේශීය රටවලදී ඉහළ පිළිගැනීමක් ලබා ගැනීම, ආණ්ඩුකාරධුර හෝ සංස්ථා සභාපතිධුර ලබාගැනීම, ඉදිරි මැතිවරණ සඳහා තරග වැදීමට ජනපදනමක් සකස්කර ගැනීමේ අරමුණින් මොවුන් ජනාධිපතිවරණ සටනට පිවිස තිබේ. ඒ විතරක් නොව පිළිගත් දේශපාලන පක්ෂවලට ඇතුල්වී එම පක්ෂවල නිලතල ලබා ගැනීම, මාධ්‍යවලට වෙන්කරනු ලබන ගුවන් කාලය යොදාගනිමින් වෙනත් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම යන අරමුණෙන් මොවුන් ජනාධිපතිවරණයට තරග කරති.
කෙසේ වුවද රටේ නායකයා තෝරා ගැනීම සඳහා කතිරකරුවන් එක්කෝටි, හෑත්තෑ එක්ලක්ෂ, හතළිස්දහස්, තුන්සිය පනස්හතර දෙනකුට (17,140,354) අවස්ථාව හිමිවී ඇත. මේ වනවිටත් ජනාධිපතිවරණය සඳහා තරග කරනු ලබන දේශපාලන පක්ෂවල අපේක්ෂකයන් හා ස්වාධීන අපේක්ෂකයන් මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භකොට ඇත්තේය. මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරති. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මත්පැන් බලපත්‍ර, මුදල් සහ විවිධ වරදාන වරප්‍රසාද ලබාදී ආණ්ඩු පක්ෂයට එක්කරගනු ලබන බවට විපක්ෂයේ මන්ත්‍රීවරු චෝදනා කරති. කෙසේ වුවද රටේ නායකයා තෝරාගැනීම සඳහා පැවැත්වෙන ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ මැතිවරණයක් විය යුතුය. ජනාධිපතිවරණය සඳහා තරග කරනු ලබන සියලුම අපේක්ෂකයන්ට සමබිමක් තුළ මැතිවරණ සටන දියත් කිරීමට අවස්ථාව හිමිවිය යුතුය. ඒ සඳහා අවශ්‍ය වටපිටාව සකස්කිරීම මැතිවරණ කොමිසම් සභාවේ වගකීමකි. ජනාධිපතිවරණය නැමති ක්‍රීඩාපිටිය තුළ තරග කරනු ලබන සියලුම අපේක්ෂකයන්ට සම අවස්ථා තිබිය යුතුය. ක්‍රීඩාපිටිය තුළදී ඇතැම් අපේක්ෂකයන්ට කකුල් මාට්ටු දමා සිදුකරන නීති විරෝධී ක්‍රියාවන් නතර කිරීම මැතිවරණ කොමිසම් සභාවේ
වගකීමකි.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා බලපානු ලබන කරුණු කිහිපයකි. ඡන්දයේ රහස්‍ය බව ආරක්ෂා වීම, පුද්ගල ඡන්දය (කැමැත්ත) වෙනත් විවිධ ක්‍රම මගින් වෙනස් වීමට හෝ විකෘති වීමට ඉඩ නො තැබීම, දේශපාලන පක්ෂවල පැවැත්ම, මාධ්‍ය නිදහස, සියලු දෙනාට සමාන ඉඩ ප්‍රස්ථා පැවතීම හා වෙනස්කම්වලට භාජනය නොවීම හා නීතියේ ආධිපත්‍යය, හා ස්වාධීන අධිකරණ ක්‍රියාවලිය මේ සඳහා අවශ්‍ය වේ. විශේෂයෙන්ම නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කිරීම සඳහා සෑම අපේක්ෂකයකුටම සම තරගබිමක් නිර්මාණය කිරීම සඳහා රාජ්‍ය දේපළ මැතිවරණ අවභාවිතා කිරීම වැළැක්වීමට කටයුතු කළයුතුය. ඒ විතරක් නොව මැතිවරණ ක්‍රියාවලිය සඳහා විදේශ රාජ්‍ය හෝ සංවිධාන මැදිහත්වීම වැළැක්වීම ද කළයුතුය. මැතිවරණ වියදම් නියාමන පනත බලාත්මක වී ඇති නිසා මේ සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට මැතිවරණ කොමිසමට බලය ලැබී ඇත.
මේ වනවිට මැතිවරණ කොමිසම් සභාව වෙත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි 717ක් ලැබී ඇත. දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 352කි. ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 365කි. වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ රාජ්‍ය නිලධාරි පත්වීම් හා මාරුවීම් සම්බන්ධයෙනි.
එහෙත් සියලුම මැතිවරණ නීති පමණක් නොව සදාචාරයේ මූලික සීමාවන්ද අලජ්ජි ලෙස උල්ලංඝනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් ඇතුළ එජාප නායකයන් රාජ්‍ය දේපළ, රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් මැතිවරණ ව්‍යාපාරය සිදුකරගෙන යන බව ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා චෝදනා කරන්නේය. කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලබන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳ අනුර කුමාර දිසානායක මහතා මෙසේ කීවේය.
මැතිවරණ කොමිසම ඉතා පැහැදිලිව මැතිවරණ නිර්නායක ඉදිරිපත් කරලා තියෙනවා. ජනාධිපතිවරයා ඒ නිර්නායක කිසිවක් සැලකිල්ලට භාජනය නොකරමින් රජයේ මුදල් හා මහජන දේපළ යොදා ගනිමින් මැතිවරණ කටයුතු කරගෙන යනවා. හරින් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර යන දෙදෙනාගේ මන්ත්‍රීධුර අහෝසි වුණා, එහෙත් ජනාධිපතිවරයා සිදුකළේ ඔවුන් දැරූ අමාත්‍යාංශවලම උපදේශක තනතුරු ලබාදී වරදාන වරප්‍රසාද ලබාදීමයි. නව පත්වීම් ලබාදෙන්න එපා කියා මැතිවරණ කොමිසම විසින් චක්‍රලේඛ නිකුත් කොට තියෙනවා. එජාපය මුළුමුණින්ම යැපෙන්නේ රජයෙන් මැතිවරණයට ඒ සියලු දේනා යොදවා සිටිනවා. රුවන් විජයවර්ධන, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, ආශු මාරසිංහ යන සියලු දෙනා උපදේශකයන් නවීන් දිසානායක ආණ්ඩුකාරවරයෙක්, එජාප නායකයන් සියලු දෙනා රාජ්‍ය දේපළ රාජ්‍ය වාහන විශාල ලෙස මැතිවරණ කටයුතු සඳහා යොදාගනිමින් රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් ඉන්නවා. විපක්ෂ නායක කාර්යාලය සමගිජන බලවේගයේ පක්ෂ කාර්යාලයක් බවට පත්කරගෙන තියෙනවා. ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ කීවා වගේ ලෝකයා හමුවේ ප්‍රජතන්ත්‍රවාදය ගැන නීතිය රැකීම ගැන කතාකරන ඔවුන් ඡන්ද ව්‍යාපාරයේ යෙදෙන්නේ මහජන මුදල් හාධනය අවභාවිතා කරමින් අපේ මැතිවරණ සංවිධාන නිරීක්ෂකයන් මේ සම්බන්ධව අවස්ථා ගණනාවකදී මැතිවරණ කොමිසමට පැමිණිලි කොට තියෙනවා යැයි අනුර කුමාර දිසානයක මහතා සඳහන් කරන්නේය.
මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජාතික ධජ, ආගමික ධජ, ආගමික සංකේත, ප්‍රදර්ශනය නොකළ යුතු බවට මැතිවරණ කොමිසම් සභාව විසින් සියලුම ජනාධිපති ධුර, අපේක්ෂකයන්, බලයලත් නියෝජිතයන්, ඡන්ද නියෝජිතයන් වෙත දන්වා තිබේ. එවන් පසුබිමක් තුළ සර්වජන බලයේ ජනාධිපති ධුර අපේක්ෂකවරයා ජාතික ධජය මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගෙන තිබුණි. ජාතික ධජය මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගත්තොත් නීතිය ක්‍රියාත්මක කරන බවත්, ඉදිරියේදී ජාතික ගීය පවා පක්ෂයේ ගීතය බවට පත්වනු ඇති බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කොළඹදී පැවති මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් සඳහන් කළේය.
“ජාතික කොඩියේ අභිමානය අද බල්ලට ගිහින් තිබෙනවා. ඒක නිසා ජාතික කොඩිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා මැතිවරණ ව්‍යාපාරය සඳහා යොදා ගන්න එපා. දැන් ක්‍රිකට් තරගාවලදී ජාතික ධජය ඇඟ වටා ඔතා ගෙන එක අතකින් මත්පැන් බෝතලයක් අල්ලාගෙන නටනවා”යැයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී සඳහන් කළේය.
එහෙත් ජනාධිපති ධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේදී පැවැති මංගල ප්‍රචාරක රැළියේදී සිය ආධාරකරුවන් ජාතික කොඩි වනමින් මෙම මැතිවරණ ප්‍රචාරක රැළිය සඳහා සහභාගිවී සිටින අයුරු දැකගත හැකිවිය. ඒ විතරක් නොව මේ දිනවල ඇතැම් රජයේ දේශපාලනඥයන් තම ආධාරකරුවන් දහස් ගණනින් හෝටල්වලට කැඳවා මධුවිත හා රස භොජුන්වලින් සංග්‍රහ කරති. ඒ විතරක් නොව අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කරමින් රජයේ සේවකයන් ඇතුළු පොදු මහජනතාවට විවිධ වරදාන වරප්‍රසාද ලබාදීමට කටයුතු කරති. සැබවින්ම මෙම කටයුතු ඡන්ද දායකයන්ට මානසික අල්ලස් ලබාදීමක් වැනිය. රජයට මේ සියල්ල මතක් වී ඇත්තේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමත් සමගය. කෙසේ වුවද මැතිවරණ කොමිසම් සභාවේ සෘජු තීන්දු තීරණ නිසා රජයට අවශ්‍ය ආකාරයට ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ නිකුත් කරනු ලැබූ චක්‍රලේඛ ක්‍රියාත්මක කිරීමට නොහැකි විය.
සියලුම විශ්‍රාමිකයන් වෙත රුපියල් 3000ක විශේෂ අන්තර්කාලීන දීමනාවක් සැප්තැම්බර් මස සිට ක්‍රියාත්මක වන පරිදි ගෙවීම සඳහා 2024.07.24 වැනිදින පැවති අමාත්‍ය මණ්ඩල විශේෂ රැස්වීමේදී තීරණය කරනු ලැබීය. මෙම චක්‍ර ලේඛය මහා භාණ්ඩාගාරයේ එකඟතාවය ඇතිව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ අත්සනින් නිකුත්කොට තිබුණි. මේ පිළිබඳ මැතිවරණ කොමිසම් සභාවට ලද පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ කොමිසම් සභාව විසින් මෙකී දීමනාව ඔක්තෝබර් මාසයේ සිට ගෙවන ලෙස නියෝග කරනු ලැබීය.
ඒ විතරක් නොව අමාත්‍ය මණ්ඩල කාර්යාලය මගින් නිකුත්කොට ඇති මාධ්‍ය නිවේදනයට අනුව 2025 වර්ෂය පාදක වසර ලෙස සලකා ජීවන වියදම් දීමනා සඳහා සිදුකර ඇති විවිධ ගැළපීම් හා මේ වන විටත් එක් කොට ඇති දීමනා සියල්ල ඒකාබද්ධ කොට සියලුම රජයේ සේවකයන් සඳහා (සෑම වසර 03කට වරක් සංශෝධනය කිරීමට යටත්ව) ජීවන වියදම් දීමනාව ලෙස මාසිකව රුපියල් 25000ක දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත. එමෙන්ම රාජ්‍ය සේවයේ අවම ආරම්භක මාසික වැටුප සියයට 24ක අවම ප්‍රතිශතයකින් වැඩිකොට ජීවන වියදම් දීමනාව සමග දළ වැටුප රුපියල් 55000ක් ලෙස ගෙන අනිකුත් සියලුම තනතුරු සඳහා මූලික වැටුප ඒ අනුව ගැළපීමට ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබුණි. ජනාධිපති මැතිවරණයත් සමග රජය මේ සිදුකිරීමට යන්නේ රජයේ සේවකයන් ගොනාට ඇන්දවීමේ කටයුත්තක් බවට රාජ්‍ය වෘත්තිය සමිති චෝදනා කරති.
මීට මාස කිහිපයකට පමණ ඉහතදී විධායක නොවන රාජ්‍ය සේවකයන් විසින් රුපියල් විසිදහසක දීමනාවක් ඉල්ලා වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ අවස්ථාවේ ඉල්ලා සිටින වැටුප් වැඩිකිරීම සඳහා දැනට පනවා තිබෙන වැට බද්ද සියයට 20, 21 අතර අගයකට ඉහළ නැංවීමට කටයුතු කළ යුතුව ඇති බැව් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ප්‍රකාශ කොට තිබුණි. දැනට රාජ්‍ය සේවකයන්ට රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් ලබා දුනහොත් දැනට පවතින වියදමට අමතරව වාර්ෂිකව තවත් රුපියල් බිලියන 140ක් පමණ මුදලක් අවශ්‍ය වන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කොට තිබූ අතර, රුපියල් විසිදහසක දීමනාවක් ලබා දුනහොත් රුපියල් බිලියන 280ක මුදලක් අවශ්‍ය වන බවද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කොට තිබුණි. එසේනම් හිටිහැටියේම රජයේ සේවකයන් පිළිබඳ සත්ත්ව කරුණාවක් රජයට පහළ වූයේ ඇයි? මේ රජය මගින් සිදුකිරීමට යන්නේ රාජ්‍ය සේවකයන් සඳහා යම්කිසි ආකාරයේ මානසික අල්ලසක් ලබාදීමටය. ඒ විතරක් නොව ගුරු විදුහල්පතිවරුන් විසින් තමන්ට ලැබිය යුතු හිඟ වැටුප් මුදල් ලබාදෙන ලෙස ඉල්ලා විරෝධතාවයක් සිදුකළ අවස්ථාවේ රජය ඒ සඳහා පිළිතුරු ලබා දුන්නේ ගුරු විදුහල්පතිවරුන්ට කඳුළු ගෑස් හා බැටන් ප්‍රහාර එල්ලකරමිනි. මෙය රජයේ තවත් ඡන්ද ගුණ්ඩුවක් බව ඉතා පැහැදිලිය.
ඒ විතරක් නොව 2025 වර්ෂයට අදාළ අයවැය සකස් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය මගින් අමාත්‍ය හා දෙපාර්තමේන්තු මගින් තවමත් අයවැය යෝජනා පවා ලබාගෙන නොතිබුණි. එවන් පසුබිමක් තුළ ජීවන වියදම් දීමනාව රුපියල් 25000කින් වැඩිකරන්නේ කෙසේද යන්න පිළිබඳ වෘත්තිය සමිති රජයෙන් ප්‍රශ්න කරති.
ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ගාල්ලේදී පැවති උත්සවයකදී මේ සම්බන්ධයෙන් කීවේ මෙවැනි කතාවකි.
රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා, විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් ගෙවීමට, සමෘද්ධි සහනාධාර දෙන්න, පොලී මුදල් ගෙවන්න, මංමාවත්, ජල බස්නා යෝජනා ක්‍රම හදන්න, විදුලිය දෙන්න 2025 වර්ෂය සඳහා අයැවය ලේඛණයක් ඉදිරිපත් කළ යුතුයි. ඇයවැය ලේඛනය හදනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 5018 හා රුපියල් මිලියන 1500ක් මදිවෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් පොරොන්දු වෙලා තියෙනවා ඩොලර් මිලියන 663ක්, ඩොලර් මිලියන 700ක් අයවැය ලේඛනය හදන්න දෙනවා. ලෝක බැංකුව ඩොලර් මිලියන 400ක් දෙනවා. ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 300ක් දෙනවා. ණය ගෙවන්නේ නැති නිසා ඩොලර් මිලියන 3655ක ණය සහනයක් ලැබෙනවා. මේ ටික නැතිවුවහොත් එතනින් එහාට සති දෙකක්වත් මාසයක්වත් ලංකාව පවතින්නේ නැහැ. කඩාගෙන වැටෙනවා යැයිද ඇමැතිවරයා කීවේය.
මේ ජනාධිපතිවරණය නිසා මෙරට ගොවි ජනතාවට ලැබී ඇති තවත් සහනයකි. වී වගාව සහ වෙනත් වගාවන් සඳහා උපරිම වශයෙන් වගා කරනු ලබන හෙක්ටයාරයක් දෙකක් සඳහා රුපියල් 15000 බැගින් මූල්‍ය සහනාධාරයක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ලබාදීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත. 2024/25 මහ කන්නයේදී කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන වී සහ අනෙකුත් ක්ෂේත්‍ර භෝග සඳහා ගොවීන් වෙත පොහොර සහනාධාරයක් ලබා දීම මඟින් රටෙහි ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමටත්, බෝග ඵලදායිතාව ඉහළ නැංවීමටත් හැකියාව පවතින බව නිරීක්ෂණය කර ඇති බවද අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කොට ඇති යෝජනාවේ සඳහන් වේ. ඒ අනුව, 2024/25 මහ කන්නය සඳහා රජයේ පොහොර සමාගම වන ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් හා පුද්ගලික අංශය මඟින් පොහොර ආනයනය කර ගොවීන් වෙත තරගකාරී මිලකට අලෙවි කිරීමටත් කටයුතු යොදනු ලබන මෙකී යෝජනාවේ සඳහන් වේ.
මාස 06ක කාලසීමාවක් සඳහා ඉන්ධන වශයෙන් ඩීසල් භාවිත කරන ධීවර යාත්‍රා හිමිකරුවන්ට ඩීසල් ලීටරයකට රුපියල් 25/-ක් බැගින් සහ භූමිතෙල් ඉන්ධන වශයෙන් භාවිත කරන ධීවරයන්ට දිනකට භූමිතෙල් ලීටර 15ක් බැගින් මාසිකව උපරිම දින 25ක් සඳහා භූමිතෙල් ලීටරයකට රුපියල් 25/- බැගින් “ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ දීමනාවක්” ලබා දීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා සහ ධීවර අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කොට ඇත.
කොවිඩ් – 19 වසංගත තත්ත්වය හා ඉන් අනතුරුව ඇති වූ ආර්ථික අර්බුදයත්, ඉන්ධන මිල අධික ලෙස ඉහළ යෑමත් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය සඳහා අතිශය අහිතකර බලපෑමක් ඇති වී තිබේ. ධීවර යාත්‍රා හිමිකරුවන්ට යාත්‍රා දියත් කිරීම සඳහා ඉන්ධන වෙනුවෙන් විශාල කාරක ප්‍රාග්ධනයක් වැය කිරීමට සිදු වන අතර, එමඟින් ධීවර කර්මාන්තයට යාත්‍රා යෙදවීම සීමා වී ඇත. එබැවින්, ධීවර කර්මාන්තය සඳහා භාවිත කරනු ලබන ඉන්ධන වෙනුවෙන් සහනයක් ලබා දීම තුළින් එකී කර්මාන්තය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබී ඇති බව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට ඇති මෙකී යෝජනාවේ සඳහන් වේ.
පසුගිය කාලයේ දී මෙරට ධීවර කාර්මිකයන් ඉන්ධන සහනාධාරයක් ලබාදෙන ලෙස ඉල්ලා දැවැන්ත විරෝධතාවයන් පත්වනු ලැබීය. එහෙත් පාලකයන් ඒ පිළිබඳ තුට්ටුවකටවත් ගණන් ගත්තේ නැත. ජනාධිපති මැතිවරණය නිසාවෙන් ධීවර කාර්මිකයන්ටද යම්කිසි සහනයක් ලැබී ඇත. ඒ විතරක් නොව කිලෝ 50ක තේ පොහොර මිටියක් රුපියල් 4000ක මිලකට ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත.
මැතිවරණ කොමිසම් සභාව විසින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනයට අනුව ඡන්ද විමසීම් කාලසීමාව තුළදී රජයේ ඉඩම් බේදාදීම, ඉඩම් කච්චේරි පැවැත්වීම, රජයේ ඉඩම් ඔප්පු හෝ නිවාස අයිතිය පැවරීමේ ඔප්පු ප්‍රදානය කිරීම, වැවිලිකර්මාන්ත සඳහා හෝ වගාකටයුතු සඳහා සහනාධාර පොහොර කෘෂි උපකරණ ක්‍රීඩා භාණ්ඩ ලබාදීම ආදි වැඩසටහන් ආරම්භ කිරීම අත්හිටුවිය යුතුය. එහෙත් රජය විසින් මැතිවරණ නීති පිළිබඳ තුට්ටුවකටවත් මායිම් නොකරමින් කටයුතු කරන බවට විපක්ෂය චෝදනා කරති. ඒ විතරක් නොව මැතිවරණ කාලසීමාව තුළදී කිසියම් ආකාරයක බඳවා ගැනීම්, පත්වීම් හා උසස්වීම්, මැතිවරණ කොමිසම් සභාවේ පූර්ව අනුමැතියකින් තොරව සිදුනොකළ යුතු බවට සඳහන්ව ඇත. එහෙත් ජනාධිපතිවරයා විසින් මැතිවරණ නීති උල්ලංගණය කරමින් රාජ්‍ය හා කැබිනට් නොවන ඇමැතිවරයකු පත්කොට ඇත.
සැබවින්ම ජනාධිපතිවරණය පැවැත්විය යුත්තේ සියලු ජනාධිපති අපේක්ෂකයන්ට සාධාරණත්වය ඉටුවන පරිදි සම බිමක් තුළය. එහෙත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කිරීම සඳහා එවැනි සම බිමක් නිර්මාණය වීමේ තත්ත්වයක් දක්නට නැත.
ලලිත් චාමින්ද