ඡන්ද ව්‍යාපාරය සාධාරණ වනු ඇතැයි විශ්වාසයක් නෑ – මාලිමාවේ ඡන්ද ප්‍රචාරක කටයුතු 17 දා අරඹනවා

1635

මැතිවරණ ව්‍යාපාරය සාධාරණ එකක් වේවි යැයි විශ්වාස නොකරන බව ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (13 දා) පැවසීය.

ආණ්ඩුව මෙන්ම ප්‍රධාන විපක්ෂය ද රාජ්‍ය සම්පත් මැතිවරණය සඳහා යොදාගනිමින් ඇති බව සඳහන් කළ ඒ මහතා රාජ්‍ය මාධ්‍ය මෙන්ම ඇතැම් පෞද්ගලික මාධ්‍යය ද තෝරාගත් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරමින් සිටින බව කියා සිටියේය. එසේ වුවද ජයග්‍රහණයට අවැසි සියලු සාධක සම්පූර්ණ කරගත් මැතිවරණ ව්‍යාපාරය බවට ජාතික ජන බලවේගයේ මැතිවරණ ව්‍යාපාරය පත්ව ඇතැයි කී ඒ මහතා මැතිවරණ ප්‍රචාරක කටයුතු ලබන 17 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් කීවේය.

එදින තංගල්ල, මාතර සහ ගාල්ල නගරවලදී මහා ජන රැලි තුනක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව පැවසූ අනුර කුමාර දිසානායක මහතා එසේම උතුරු නැගෙනහිර පළාත් ඇතුළත්ව රට පුරා සෑම ආසනයක් පුරා මහජන හමු සහ රැස්වීම් ද, ගම් සහ නගර මට්ටමින් කුඩා ජන හමු ද පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇති බව කීවේය.

හෙට (15 දා) සිට නිවාස මට්ටමින් මැතිවරණ ප්‍රචාර කටයුතු සිදු කෙරෙන බවත් මේ වන විට රට පුරා නිවාස සියයට පනහක් ආවරණය කර ඇති බවත් අනුර කුමාර දිසානායක මහතා කීය. මෙහිදී ජාතික ජන බලවේගය මූලික ප්‍රතිපත්තීන් සහ වැඩපිළිවෙළ ජනතාව අතරට ගෙන යෑම සඳහා මුද්‍රිත පුවත්පතක් ලබාදීමට කටයුතු කෙරෙන බව පැවසූ හෙතෙම ලංකාවේ ප්‍රබලතම මැතිවරණ ව්‍යාපාරය මෙය බවද පැවසීය.

ලබන 26 වැනිදා ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට බලාපොරොත්තු වන බවත් සිය බලවේගය සටනට අවතීර්ණ වන්නේ සංවිධානාත්මක ශක්තිමත් ජනතා බලයක්, යාන්ත්‍රණයක්, වැඩපිළිවෙළක් සහ රට ගොඩ නැඟිය හැකි ශක්තිමත් කණ්ඩායමක් සමග යැයි ද ඔහු කියා සිටියේය.

අනෙකුත් පක්ෂ මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමට කටයුතු කරද්දී ජාතික ජන බලවේගය රට නගන වැඩපිළිවෙළ ජනතාව අතරට ගෙනයන බවත්, සිය බලවේගය තුළ රට විනාශ කළ කිසිවකු නොමැති බවත් අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

අනුර කුමාර දිසානායක මහතා ඊයේ එම අදහස් පළ කළේ බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment