ජංගම දුරකථනය රැගෙන හොරා පලායද්දී කොන්දොස්තරයි – රියැදුරුයි අහක බලාගෙන සිටියා

724

සිසුවිය හඬා වැළපෙමින් කියයි

අත්අඩංගුවට ගත් සැකකරු වසර හතක් සිරගතව සිට පැමිණි අයෙක්

අනුරාධපුර තාක්ෂණ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියකගේ අධ්‍යාපන තොරතුරු රැසක් ඇතුළත් කර තිබූ ජංගම දුරකථනයක් රැගෙන පලා ගොස් සැඟව සිටි අවිවාහක පුද්ගලයකු 10 වැනිදා අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර මාතලේ හන්දිය සමගිපුර ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි අවිවාහකයෙකි.

අනුරාධපුර පුස්තකාලය ඉදිරිපිට බස් නැවතුම්පලේ සිටියදී දුරකථනය උදුරා ගෙන සැකකරු බසයකට නැග ඇති අතර පසුව, එම සිසුවියද දිව ගොස් එම බස් රථයට නැග ගත් අවස්ථාවේදී සැකකරු යළි බස් රථයේ ඉදිරිපස දොරෙන් බැස, නැවත දිව ගොස් ඇතැයිද පොලිසිය කියයි. මෙම අවස්ථාවේදී තමන් කෑ ගැසූ බවත්, බසයේ රියැදුරා හෝ කොන්දොස්තරවරයා එම සොරා අල්ලා ගැනීමට කිසිදු උත්සාහයක් නොගෙන අහක බලාගෙන සිටි බව එම සිසුවිය හඬා වැළපෙමින් ප්‍රකාශ කළ බව පොලිසිය සඳහන් කළේය. පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී, සැකකරු බස්රථ තුළදී සොරකම් කරන ලද තවත් ජංගම දුරකථන දෙකක් සොයා ගැනීමට හැකිවී තිබේ. සැකකරු මීට පෙර පිරිමි පුද්ගලයකුට ලිංගික අපයෝජනයක් සිදුකර වසර හතක් සිරගතව සිටි පැමිණ සිටි අයකු බව අනාවරණය වූ බවද පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (11 දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. අනුරාධපුර මූලස්ථාන පොලීසියේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක දයා චන්ද්‍රසේන, පොලිස් සැරයන් අනුර, පොලිස් කො. පියරත්න ඇතුළු නිලධාරීහු මෙම වැටලීම සිදු කර සැකකරු අත්අඩංගුවට ගත්හ.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment