ජංගම දුරකථන රැගෙන හෝ බීමතින් ඡන්දෙ දාන්න යන්න එපා: කලබල කළොත් ප්‍රතිඵල ශුන්‍යයි

111

යළි ඡන්දය තියා ප්‍රතිඵල එනතෙක් අවසන් ප්‍රතිඵලයත් පමාවෙයි

උදෑසනම ඡන්දය දාන්න

රැකවල් දැඩි වෙයි:
නීතිය තදින්:

පොලිසිය-හමුදාව බුද්ධි අංශ සීරුවෙන්

වැරදි ප්‍රවෘත්තිවලට නොරැවටී අප ගැන විශ්වාසය තබන්න – මැ.කො.ස. ඉල්ලයි

ඡන්ද විමසීමට බාධාවක් වන ආකාරයට හෙට (21දා) දිනයේදී ඡන්ද මධ්‍යස්ථානවල කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වුවහොත් නිසි පරීක්ෂණයකින් පසුව අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ ප්‍රතිඵල ශුන්‍ය කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.

ශුන්‍ය කරන මැතිවරණ බල ප්‍රදේශයේ නැවත ඡන්ද විමසීමක් සිදුකර ප්‍රතිඵල නිකුත් කරන තෙක් ජනපතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵල ප්‍රමාද කිරීමට සිදුවන බවද ඊයේ (19දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී සභාපතිවරයා පැවසීය.

ඡන්ද විමසීම සිදුවන දිනයේ හා ඊට පසු දිනවල රට පුරා දැඩි ආරක්ෂාවක් යොදන ලෙසත් නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසත් පොලිසියට උපදෙස් දී ඇති බවද අවශ්‍ය වුවහොත් හමුදාව කැඳවීමට වුවද සූදනම් කර ඇති බවද ඒ මහතා කියා සිටියේය.

එම නිසා වැරදි පුවත්වලට හසු නොවී ආරක්ෂක අංශ හා මැතිවරණ කොමිසම කෙරෙහි විශ්වාසය තබන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද රත්නායක මහතා සඳහන් කළේය.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිල වශයෙන් භාවිත කළ හැක්කේ ජාතික හැඳුනුම්පත, වලංගු ගුවන් ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ලබාදී ඇති පූජ්‍ය – පූජක හැඳුනුම්පත, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය, මැතිවරණ කොමිෂන් සභාව මගින් නිකුත් කරන තාවකාලික හැඳුනුම්පත සහ ආබාධිත තැනැත්තන් සඳහා මැතිවරණ කොමිසම නිකුත් කරන හැඳුනුම්පත බවද ඒ මහතා කීය. අපහැදිලි හැඳුනුම්පත්, ආයතනික හැඳුනුම්පත් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු නැතැයි ද හෙතෙම කීය.

මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමේදී හා ගණන් කරන මධ්‍යස්ථානවලට ජංගම දුරකථන රැගෙන යෑම තහනම් බවද එසේ වූවේ පසුගියදා පැවැති තැපැල් ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කර සමාජ මාධ්‍යයට ඡායාරූප යොමු කිරීම නිසා බවද සභාපතිවරයා පැවසීය.

හෙට (21දා) ඡන්දය ප්‍රකාශ කරන දිනයේ ඡන්ද මධ්‍යස්ථානයේ සිට මීටර් 500 ක දුරක ප්‍රදර්ශනය කර ඇති සියලුම ඡන්ද ප්‍රචාරක දැන්වීම්, කටවුට් ඇතුළු ආදිය ඉවත් කළයුතු බවත් ඡන්දයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයකු එම මීටර් 500 තුළ සිටී නම් ඔහුගේ නිවස ඡන්ද ප්‍රචාර කටයුතුවලින් වැළකී සිටිය යුතු බවත් ඒ මහතා කීය.

මේ වනවිට මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය සියලු දෑ සිදුකර අවසන් බවත් මැතිවරණ රාජකාරි සඳහා යොදවා සිටින නිලධාරීන් රාජකාරි සඳහා යොමුවිය යුතු ස්ථාන සහ වේලාවන් සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවත්, ඒ අය වෙනුවෙන් නිකුත් කළ ලිපි වෙනස් කිරීම, අවලංගු කිරීමට මෙතෙක් හැකියාවක් නැති බවත් සභාපතිවරයා කීය.

ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු ඡන්ද පෙට්ටිවල මුද්‍රා තැබීම අපේක්ෂකයන්ගේ නියෝජිතයන් විසින් සිදුකර පොලිතින් ආවරණයක දමා ගණන් කරන මධ්‍යස්ථානයට රැගෙන යන බවත්, ඒවා ප්‍රවාහනය කරන වාහන පිටුපසින් අපේක්ෂකයන්ගේ නියෝජිතයන්ට ගමන් කළ යුතු නම් ඊට පෙර ඒ සඳහා නිසි අවසරයක් ලබාගත යුතු බවත් ඒ මහතා කීය. එක් අපේක්ෂකයකුගේ නියෝජිතයන් දෙදෙනකු ඡන්ද මධ්‍යස්ථානයට යොමු කළ හැකි බවද ඒ මහතා කීය.

ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානයක අපේක්ෂකයකුට නියෝජිතයන් 05 දෙනකු සහ තැපැල් ඡන්දය ගණන් කරන මධ්‍යස්ථානයට නියෝජිතයන් දෙදෙනකු යෙදවීමට අවස්ථාව ලබාදී ඇතැයි කී ඒ මහතා තැපැල් ඡන්ද ගණන් කිරීම සවස 4.15ට පමණ ද අනෙකුත් ඡන්ද ගණන් කිරීම රාත්‍රි 7.00ට පමණ ද සිදුකිරීමට අපේක්ෂා කර තිබෙන බවත් පැවසීය. ප්‍රථම ඡන්ද ප්‍රතිඵලය හෝ අවසන් ඡන්ද ප්‍රතිඵලය ලබාදිය හැකි වේලාව නිශ්චිතව කිව නොහැකි බවත් ගණන් කිරීම් අවසන් කර නිල වාර්තාව මැතිවරණ කොමිසමට ලැබීමෙන් පසු එහිදී ද අධ්‍යයනය කර නිල ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන බවද සභාපතිවරයා කීය. ඡන්ද ගණන් කිරීමෙන් පසු යම් අපේක්ෂකයකු සියයට පනහක් ඉක්මවා ඡන්ද ලබාගෙන සිටින බවට පෙනී ගියහොත් දෙවැනි මනාපය ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ගණන් කරගෙන යෑමේදී සියයට පනහක් නොමැති බවට පෙනී ගියහොත් මනාප ඡන්ද ගණන් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දෙන බවද ඒ මහතා කීය.

ඡන්දපළ සීමාව හෝ මීටර් 500 ඇතුළත ඡන්දය භාවිතා කිරීමට පැමිණි යම් ඡන්ද දායකයකුට ඡන්දය නොදෙන ලෙස පෙලඹවීම, ඡන්ද ආයාචනා කිරීම, යම් ඡන්ද හිමියකුගේ ඡන්ද ඉල්ලීම, යම් අපේක්ෂකයකුට වෙන්කර ඇති ලකුණක්, ඡායාරූපයක්, දැන්වීමක් ඇතුළු ප්‍රචාරය සඳහා තහනම් කර ඇති සියලු දෑ ප්‍රදර්ශනය කිරීම ද තහනම් බව ඒ මහතා කීය.

ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන විට විශාල තිර යොදාගෙන එක්රැස් වෙමින්, රතිඤ්ඤා පත්තු කරමින් රැස්ව සිටීම අයුතු ජනරාශිය ලෙස සලකා විසුරුවා හැරීම හෝ පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම් සිදුවිය හැකි බවද සභාපතිවරයා කීය.

යම් ඡන්ද මධ්‍යස්ථානයක යම් කලහකාරී සිදුවීමක් හෝ වෙනත් අක්‍රමිකතාවයක් සිදුවුවහොත් එම ඡන්ද මධ්‍යස්ථානයේ තේරීම් භාර නිලධාරියා ලබාදෙන වාර්තාව අනුව එම මධ්‍යස්ථානයට අදාළ ප්‍රදේශයේ ඡන්ද ප්‍රකාශ කිරීම තීරණය කරන බවත්, යම් ලෙසකින් එම මධ්‍යස්ථානයේ ඡන්දය අවලංගු (ශුන්‍ය කර) කර නැවත ඡන්දය පැවැත්වීමට සිදුවුවහොත් සමස්ත ඡන්ද ප්‍රතිඵලයම ප්‍රමාද වන බවත් ඒ මහතා කීය. ඡන්ද මධ්‍යස්ථානයට ජංගම දුරකථන රැගෙන ඒම තහනම් මෙන්ම බීමත්ව පැමිණීම ද තහනම් බව ඒ මහතා කීය. තම ඡන්දය භාවිතා කර නිවෙස් වෙත යන ලෙස සෑම පුරවැසියකුගෙන්ම ඉල්ලා සිටින බවත්, එය පොලිසියට මහජන සාමය රැකීමට මහත් උපකාරයක් බවත් ඔහු කීය.

මැතිවරණ සම්බන්ධයෙන් කටකතා, නිල නොවන ප්‍රතිඵල, බොරු ප්‍රචාර පැතිරිය හැකි බවත් ඒවාට හසු නොවී නිල ඡන්ද ප්‍රතිඵල හා නිල ප්‍රකාශ පමණක් විශ්වාස කරන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියේය.

යම් අපේක්ෂකයකුගේ නියෝජිතයකු සිටින ඡන්ද මධ්‍යස්ථානය තුළ නැවත ඡන්ද ගණන් කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සම්බන්ධයෙන් එම මධ්‍යස්ථානයේ තේරීම් භාර නිලධාරියා දැනුවත් කර එය නැවත ගණන් කළ හැකි බවත්, එම මධ්‍යස්ථානයෙන් ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු නැවත ඡන්ද ගණන් කරන ලෙස එහි තේරීම් භාර නිලධාරියාගෙන් ඉල්ලා සිටීමට අපේක්ෂකයාගේ නියෝජිතයාට හැකියාවක් නැති බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මෙහිදී පැවසීය. සමාජ මාධ්‍ය මගින් සිදුකරන මැතිවරණයට බලපාන දේවල් පිළිබඳව මැතිවරණ කොමිසම මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද විමර්ශනය කරමින් සිටින බවද රත්නායක මහතා පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ, ඡන්ද දායකයන් ඡන්ද මධ්‍යස්ථානයට පැමිණීමේදී ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරීන්, ඡන්ද මධ්‍යස්ථානයේ සිටින නිලධාරීන් අපහසුතාවට පත් නොවන ලෙස පැමිණෙන ලෙසයි.

ඡන්දයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 63,000ක් යොදවා සිටින බවත්, අවශ්‍ය වුවහොත් ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගන්නා බවත් ඔහු කීය. ඡන්දය පැවැත්වෙන දින ඡන්ද මධ්‍යස්ථාන අවට ද බුද්ධි නිලධාරීන් යොදවා සිටින බවත් ඔවුන් පළාත් නවය තුළ ස්ථාපිත කර තිබෙන විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානවලට තොරතුරු ලබාදී අවශ්‍ය වුවහොත් ආරක්ෂාව වැඩිකර ගැනීමට කටයුතු කරන බවත් පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පොලිස් මූලස්ථානයේ ද විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙන බවද කියා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment