ජංගම – විපත

537

ජංගම දුරකථනය ආරෝපණය කිරීමට යෑමේදී විදුලි සර වැදීමෙන් පෙර පාසල් සිසුවියක මියගොස් තිබෙන බව වාර්තා වූයේ මග්ගොන ප්‍රදේශයෙනි. මෙය ශෝචනීය පුවතකි. වයස අවුරුදු පහක පෙර පාසල් දැරිය අකාලයේ මියගොස් ඇත. මේ දැරියට ජංගම දුරකථනය දුන්නේ කවරෙකුද? දැන් ළමයි නැළවීමටත් ජංගම දුරකථනය අතට දෙන සමාජයක් බිහිව ඇත. ළමයාගේ කරදරයෙන් බේරීමට හෝ තමන්ගේ වැඩක් පාඩුවේ කර ගැනීම සඳහා දෙමාපිය වැඩිහිටියෝ ජංගම දුරකථනය කුඩා දරුවන්ට ලබා දෙති. මෙය කාලයක් යන විට බරපතළ නරක විපාක ඇති කරවන පුරුද්දකි. විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසන්නේ ජංගම දුරකථන සහ අන්තර්ජාල ක්‍රියාකාරම් සඳහා ඇබ්බැහිවීම තුළින් දරුවන්ගේ මතක ශක්තිය හීනවීමේ අවදානමක් මතුවී ඇති බවයි. දරුවන් පමණ ඉක්මවා එම උපාංග භාවිතය සම්බන්ධයෙන් දෙමව්පියන් දැඩි අවධානයෙන් පසුවිය යුතු බවද මනෝ වෛද්‍යවරයා දැඩිව අවධාරණය කරයි. මෙය දරුවන් සිටින දෙමාපියන් වඩා හොඳින් අවබෝධ කරගත යුතු කාරණයකි. අද වනවිට දරුවන් විශාල ලෙස ඇබ්බැහි වී සිටින මෙම ජංගම දුරකථන සහ ඒ හා බැඳුණු ක්‍රීඩා, කාටූන් සහ අනෙකුත් දෑ හේතුවෙන් ළමා මනස දැඩි ලෙස විකෘති වී තිබෙන බව රහසක් නොවේ. මෙහි බලපෑම දිගුකාලීන වන අතර අවසානයේ දෙමාපියන් හා ගුරුවරුන්ට මේවා වැළැක්වීමට කිසිම ක්‍රියාමාර්ගයක් ගත නොහැකි අවස්ථාවක් උදාවේ. එවිට සිදුවන්නේ අඬාවැටීම පමණකි.

දරුවා මිනිසකු වන්නේත් යක්ෂයකු වන්නේත් අපගේම හැසිරීම් රටාවෙන් බව කිව යුතුය. ඔවුන්ට අධ්‍යාපනයේ නිවැරදි මාවත පෙන්වීම පාසල තුළින් සාර්ථක ලෙස සිදුවන අතර, දෙමාපියන්ගේ වගකීම වන්නේ දරුවන්ගේ අධ්‍යාත්මික ආරෝපණය වර්ධනය කිරීමයි. එහෙත් ජංගම දුරකථනයෙන් එය ඉටු කළ හැකිද? ජංගම දුරකථනයෙන් නිර්මාණාත්මක හැකියාව සම්පූර්ණයෙන් මොටව යයි. කොරෝනා වසංගතය හමුවේ දරුවන්ට ජංගම දුරකථන ලබා දුන්නේ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙනි. එහි වැරැද්දක් නැත. නමුත් සැමවිටම ජංගම දුරකථනය අතේ තබා ගැනීමට ඉඩදිය යුතු නැත. එයින් සිදුවන්නේ ඛේදවාචකයක ආරම්භයයි.

අද ජංගම දුරකථනය නැතිව කිසිවක් කරගත නොහැකි තත්ත්වයක් උදාවී තිබේ. එය අත්‍යවශ්‍ය භාණ්ඩයකි. නමුත් එය දරුවන්ට අතට දීම් කිසිම විටක අනිවාර්ය නැත. දරුවන්ට පාසල් කාලය තුළ ජංගම දුරකථන භාවිත කිරීම තහනම් කළ යුතුව ඇතැයි බ්‍රිතාන්‍ය අධ්‍යාපන ලේකම්වරයා කියා තිබුණේ මීට වසර තුනකට පෙරය. එවක අධ්‍යාපන ලේකම් ගාවින් විලියම්සන් ප්‍රකාශ කර තිබුණේ වසංගත සමයේදී ජංගම දුරකථන භාවිතය නිසා සිසුන්ගේ “විනය සහ පිළිවෙළ” කෙරෙහි අහිතකර බලපෑමක් ඇතිකර තිබෙන බවයි. ජංගම දුරකථනය සයිබර් අවකාශයේ සිදුකෙරෙන හිරිහැර ‘බෝකරන මෙවලමක්’ ලෙස යොදාගත හැකි අතර සමාජ මාධ්‍ය මානසික සෞඛ්‍යයට හානිකර විය හැකි බවත් බ්‍රිතාන්‍ය අධ්‍යාපන ලේකම්වරයා පෙන්වා දී තිබිණි. මෙය පැහැදිලි ඇත්තකි. ලංකාවට වඩා ජංගම දුරකථනය නිසා බොහෝ ප්‍රශ්න එරට ඇතිව තිබෙන බව පැහැදිලිය. නමුත් ලෝකයේ සිදුවන්නේ කුමක්දැයි දැන ඒවායින් අපේ රට ආදර්ශ ගැනීම ඉතා වැදගත්ය. දරුවාගේ හොඳ ම මිතුරා බවට ජංගම දුරකථනය හෝ පරිගණකය පත් වී කිසිසේත් සුදුසු නැත. ඇත්තෙන්ම දරුවන් හුදෙකලා වීම වළක්වා ගැනීමට නම් දෙමාපියන් දරුවන්ගේ හොඳ ම මිතුරා විය යුතුය. මත්පැන් සහ දුම් පානයට ඇබ්බැහි වූවන් තුළ දැකිය හැකි ඇතැම් රෝග ලක්ෂණ, අන්තර්ජාලයට ඇබ්බැහිවූ ළමුන් තුළ ද දැකිය හැකි බව මානසික රෝග පිළිබඳ විශේෂඥවරියක් කියා තිබිණි. එසේ නම් මේ විපත පැහැදිලි නොවේද?

advertistmentadvertistment
advertistmentadvertistment